” මැඩම්…!”
” congratulations දරුවෝ… ඔයාගේ වැඩ නියමයි . සියත්‍ර ඔයා ගැන ගොඩක් පැහැදිලා ඉන්නේ. “
” බොහොම ස්තූතියි මැඩම්.. “
” මං මේ ටිකේම ඉන්විටේශන් දෙන්න එක එක්කෙනා පස්සේ දුවනවා ළමයෝ. ඔයාව මං ගොඩක් විශ්වාස කරලා ඔය පෝස්ට් එකට දැම්මේ. ඔයාට තියෙන්නේ RD foods එකෙන් ෆුල් සපෝට් එක අරන් අපේ රස විමන ගොඩ දාන එක. “
” මං මගේ උපරිමේ කරන්නං මැඩම්…”
” ගුඩ් ගර්ල්.. එහෙනං වැඩ කරගෙන යන්න.. “
” ඕකේ මැඩම්..”
” ආ.. සඳැස්වි , මට තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අපි රෙස්ටුරන්ට් එකේ වැඩ කරන අයට ඕපනින්ග් එක දවසට අඳින්න යුනිෆෝම්ස් ලෑස්ති කළානේ. දැන් ඔයා ඒ යුනිෆෝම් එක එදාට අඳින්න එපා. ඔයා පුලුවන් නං ඒ වෙනුවට සාරි එකක් අඳින්න. “
සඳැස්විගේ උවන වහා අඳුරු වී යන අයුරු ශාක්‍යා ඇස් කොනින් දුටුවාය.
” ඕකේ.. ඩාලින්.. මට වැඩ ගොඩක ඉන්නේ. මං ඔයාට පස්සේ ගන්නං. එහෙනං කිව්ව විදිහට වැඩ ටික කරන්න. සියත්‍ර සර්ගේ වැඩ වෙන විදිහ ශාක්‍යාගෙන් අහගන්න. ඕකේ බායි… ”
” බායි මැඩම්..!”
” මොකෝ උනේ එක පාරට. ?”
දුරකතන ඇමතුම විසන්ධි කර දැමූ සඳැස්විගේ අඳුරු උවන දෙස බැලූ ශාක්‍යා එසේ විමසුවාය .
” ඕපනින්ග් සෙරමනි එකට අඳින්න හැමෝටම යුනිෆෝම්ස් දුන්නනේ. දැන් මැඩම් කියනවා මට අලුත් පෝස්ට් එකක් තියන නිසා සාරි එකක් අඳින්නලු. කැම්පස් එකේ වැඩ වලට අඳින්න සාරි දෙකක් තියනවා. ඒවා හරියන්නෑනේ මේකට. මොනවා කරන්නද මන්දා. ?”
” කරන්න දේවල්ද අනේ නැත්තේ. ෆැක්ට්‍රි එකේ ඩොකියුමන්ට්ස් ටික බලලා අපි දෙන්නා පොඩි ෂොපින් පාරක් දාන්න යං “
” අනේ අක්කේ සර්ගෙන් බැනුම් අහන්න වෙයි . අනිත් එක මේ වෙලාවේ මගේ අතේ..”
” සර් ගාණේ අද ශෝට් ලීව් එකකුත් දීලා පොඩි ගිෆ්ට් එකකුත් දුන්නා. මේ..”
ශාක්‍යා වහා මුදල් පසුම්බිය හැර එහි තිබූ කාඩ්පතක් දිගු කර සඳැස්වි හට පෙන්වූවාය.
” දෙයියනේ එයාටනං පිස්සු…”
සඳැස්වි මුමුණමින් එසේ පැවසුවද ශාක්‍යාට එය හොඳින්ම ඇසුණාය.
” හ්ම්ම්.. හ්ම්ම්… මටත් පේනවා. මේ ලඟකදි ඉඳන් සර්ට මොකාක් හරි පිස්සුවක් හැදිලා.. “
තවත් යමක් පවසන්නට උත්සහ ගත්තද RD කර්මාන්තශාලාවට මෝටර් රථය ඇතුළු වූ බව දුටු ශාක්‍යා වහා ඉදිරිපසට බර වී පිටත බැලුවාය.
” දෙයියනේ.. මේකේ ලොකු !”
එක දිගට පසු වෙමින් යන විසල් ගොඩනැගිලි දෙස බලමින් විමතියෙන් ශාක්‍යා පැවසුවාය.
” දයාරත්න අන්කල් , එච් බ්ලොක් එකට යන්න ඕනේ. “
රියදුරු අසුනට එබී එසේ පැවසූ ශාක්‍යා නැවතත් සඳැස්වි දෙසට හැරුණාය .
ෆැක්ට්‍රි විසිට් එද්දි දවස ගාණේ වෙන වෙනම යන්න ඕනේ බ්ලොක්ස් ගාණ මුලින්ම හදා ගන්නවා. නැතුව මුළු ෆැක්ට්‍රි එකේම එක දවසින් ඇවිදලා ඉවර කරන්න බෑ. “
” හ්ම්ම්… එතකොට දැන් අපි යන්නේ ?”
” ටී සයිට් එකට. එච් බ්ලොක් එකේ. එච් එකේ තමා ටී , කොෆී හදන්නේ. ඒවාවලත් ජාති ගොඩක් තියනවා. ටී සයිට් එක ගත්තොත් ටී ජාති විසි හතරක් මෙහෙ හදනවා. ඒ කියන්නේ සිනමන් ටී , ග්‍රීන් ටී , එතකොට එක එක ෆ්ලේවර්ස් වලින් එන ටී වර්ග. ඒ කියන්නේ බෝවිටියා , රෝස , වද ඒ වගේ. තව තේ කොළ ගෙන්නන පළාත් වලට අනුවත් තේ වෙන් කරනවා. එක එක පළාත් වලින් ගේන තේ කොළ එක එක රසය තියෙන ඒවා. තේ කොළ වල හැඩේ වෙනස්. පාට වෙනස්. තව කොළ වේළද්දි , කුඩු කරද්දි , කෑලි කරද්දි , අඹරද්දි ඒ හැම එකක්ම එකින් එකට වෙනස්. මං දන්න විදිහට නුවර එළියෙන් තමයි හොඳම තේ කොළ ගෙන්නන්නේ. නුවර එළියේ උෂ්ණත්වය අඩු නිසා තේ පඳුරු වැවෙන්නේ හරි හිමීට. තේ කොළෙත් ගොඩක් වෙලාවට පොඩියි. තේ එකේ පාටත් ඔරේන්ජ් කලර් එකක්. අපි bop , op කියන්නේ ගොඩක්ම ඔය නුවර එළියෙන් ගන්න තේ කොළ වලට. එතකොට ඔය රත්නපුර , දෙනියාය , බලංගොඩ , ගාල්ල , මාතර වගේ පැති තියනවනේ ඒ පැති වලට හොඳට ඉර එළිය තියන නිසා තේ පඳුරු ඉක්මනට වැවෙනවා. තේ කොළේ දිගයි. තේ එක තද පාටයි.
ඔය වගේ සෑහෙන්න දේවල් තියනවා නංගි. කොෆී වලත් එහෙමයි. මට හරියටම ගාණ මතක නෑ ඒ උනාට කොෆී ජාතිත් ගොඩක් මෙහෙ ෆැක්ට්‍රි එකේ හදනවා. “
” ඒ කතා ටික නං අහන් ඉන්න හිතෙනවා. “
ඉතා උවමනාවෙන් ශාක්‍යාගේ කතාව අසා සිටි සඳැස්වි උනන්දුවෙන් පැවසුවාය .
” ඉස්සරනං ගොඩක් වෙලාවට ෆැක්ට්‍රි එකට එනවා නංගි. දැන් එවෙන්නෑ. සියත්‍ර සර් හොටෙල් සයිඩ් එකට අත ගැහුව නිසා දැන් ගොඩක් වෙලාවට මගෙ අතින් කෙරෙන්නෙත් ඒවයේ වැඩ. මෙහෙ වැඩ ගොඩක්ම දැන් බලන්නේ අනුජ සර්. “
” පහන්‍යා මැඩම්ගේ හස්බන්ඩ්. ?”
” හ්ම්ම්.. ඔව්. අපි යං. “
තරුණියන් දෙදෙනා මෝටර් රථයෙන් බැස ගත් අතර ශාක්‍යා පසුපස වැටුණු සඳැස්වි නිහඬවම ඈ පසුපසින් කර්මාන්තශාලාවේ විසල් යන්තෝපකරණ හා සේවකයින් මැදින් හාත් පසටම දෑස යොමු කරමින් ගමන් කළාය.
” නංගි , ඔයා මෙතන ඉන්න. මං උඩ ඔෆිස් එකට ගිහින් මැෂින්ස් වල ඩොකියුමන්ට්ස් ටික අරන් එන්නං “
ශාක්‍යා ඉහල මහලට ගමන් කෙරූ අතර වටපිට බලමින් සෙමින් ඇවිදිමින් සඳැස්වි යුහුසුලුව වැඩ කරන සේවකයින් හා යන්ත්‍ර සූත්‍ර දෙස විපරමින් බලා සිටියාය.
” ෆැක්ට්‍රි එකට ගියාද ?”
කෙටි පණිවිඩය ලැබුණේ ඔහුගේ නමින්ය. හදිසි රැස්වීමක් බව පැවසුවාට කෙටි පණිවිඩ එවන්නට වෙලාව තිබේ දැයි සිතමින් ඈ තනිවම සිනාසෙමින් පිළිතුරු බඳින්නට පටන් ගත්තාය.
” ඔව්. ආවා. “
” ඔතන ඩොකියුමන්ට්ස් ටික අරන් ශාක්‍යා එක්ක පොඩ්ඩක් එළියට ගිහින් එන්න. “
” ඒකටද කාඩ් එක දුන්නේ ?”
” ඔයාට දුන්නම ගන්නෑනේ. “
නැවත වාරයක් ඇගේ මුව මත සිනා රැල්ලක් පිපුණාය.
” මට මුකුත් එපා. “
එවර පිළිතුරු වෙනුවට මුලින්ම ලැබුණේ තරහා මුහුණු කිහිපයකි.
” එහෙනං මාත් එක්ක කතා කරන්නත් එපා. “
” අනේ… !”
” අනික මං ඕක දුන්නේ ඔයාගෙ කටින් පිට වෙච්ච වචනයක් නිසා. “
එවර යුවතියගේ දෑස මෙන්ම හදවතද තිගැස්සී ගියේය.
” මං.. මං මොකද්ද කිව්වේ ?”
” ඔය සල්ලි වලට වැඩිය වටින දෙයක් කිව්වා. කවදාවත් කවුරුවත් මට කියලා නැති දෙයක්. මට ඒක ඒ වචනේ තරම්ම වටිනවා. “
එවර තවත් කලබලයට පත් වූ ඇය කෙටි පණිවිඩ ලිවීම පසෙක තබා ඔහු හට ඇමතුමක් ගත්තාය. නමුත් වහා ඔහු ඇමතුම අනෙක් පසින් විසන්ධි කර දැමුවේය .
“I am in a meeting.”
” මං මොකද්ද කිව්වේ කියලා කියන්නකෝ “
නොඉවසිලිමත් වූ ඇයට ඔහු පවසනා කාරණාව දැනගැනීමේ නොතිත් ආශාවක් ඇති විය .
” Don’t you remember?”
” Nooo…”
කදුළු පිරුණු මුහුණක්ද සමඟ ඇය ප්‍රති උත්තර ලීවාය.
” You called me raththarane … That’s more valuable than real gold to me.”
යුවතියගේ දෑස ලැජ්ජාවෙන් පිරුණාය. පිළිතුරක් නොලියූ ඈ නිහඬවම දුරකතන තීරය දෙස බලා සිටියාය.
” Why are you silent ? දැන් මූණ රතු කර ගෙන මොකක්ද කියන්නේ කියලා කල්පනා කරනවද ?”
මොහොතකට පසු ඔහුගෙන් ලැබුණු කෙටි පණිවිඩය දුටු ඇය තිගැස්සී ගියාය.
” කොහොමද දෙයියනේ මාව ඔහොම කියවන්නේ ? “
” දන්නෑ.. . But I feel you. “
අසල තිබූ බහාලුමක් පුරවා තිබූ යමක් සෙමින් පිරිමදින අතරතුර ඈ නැවත තොල් පට සපා ගත්තාය.
” පොඩි වෙලාවක් දෙන්න. I’ll call you. “
ඔහු කාර්‍යබහුල බව තේරුම් ගත් ඈ කෙටි පණිවිඩ තැබීම නතර කළ අතර ශාක්‍යාද නැවත ඈ කරා පැමිණියාය.
තම අත දිගේ හමන සැර සුවඳ කුමක්ද කියා දෑඟිලි නාසයට කර අල්ලා බැලූ සඳැස්වි , මීට සුළු මොහොතකට පෙර තමා නොදැනුවත්වම ඇල්ලූ බහාලුම කෙරෙහි යළි අඩි තැබුවාය.
” ඇයි නංගි මොකද ?
සඳැස්වි කුතුහලාත්මක දෑසකින් ශාක්‍යා දෙස බලා අසල සිටි සේවිකාවකට කතා කළාය.
” මේ මොනවද ?”
” වේළපු ඉඟුරු මිස්. “
” වේළිච්ච ඉඟුරු තමා නංගි. ඔය සුවඳත් එන්නේ “
ශාක්‍යාද සුවඳට ඉව අල්ලමින් එසේ පැවසුවාය.
” මේවා වලින් මොනවද කරන්නේ ?”
” ඉඟුරු තේ එකක් හදනවා. තේ කොළයි , මේ වේළපු ඉඟුරුයි එකට දාලා. “
සඳැස්වි යළි පහත් වී බහාලුම යටටම අත දමා පිරික්සා බැලුවාය.
” ඇයි නංගි මොකද ?”
” යං. “
ශාක්‍යාගේ අතින් අල්ලාගෙන පිටතට පැමිණි සඳැස්වි අසල නතර කර තිබූ මෝටර් රථය වෙතට පය තැබුවාය.
” වේළිච්ච ඉඟුරු වලින් සුවඳක් එන්නෑ අක්කා. යාන්තං දැනුණත් ඔය වගේ සැර සුවඳක් කොහෙත්ම එන්නෑ. අනික ඒවා නිකන් ඉඟුරු නෙමෙයි වෙන ලී කෑලි ටිකක් ඉඟුරු සුවඳ කෙමිකල් එකක ඔබලා වගේ . මගෙ අතත් තාම සුවඳයි . මේ..”
සඳැස්වි දිගු කළ අතට ඉව ඇල්ලූ ශාක්‍යා නැවත ප්‍රශ්නාර්ථයක් සහිතව ඈ දෙස බැලුවාය.


