ආදර මල්වල පාට කියන්නද? – 16

0
215

ඒක නිකන් කවුරු හරි බිම දිගේ බර දෙයක් ඇදගෙන යනවා වගේ සද්දයක්.

 “ග්‍රීස්… ක්‍රීස්…”

ඊට පස්සේ ඇහුණේ පිරිමි කෙනෙක් වේදනාවෙන් කෙඳිරිගාන සද්දයක්. ඒ කටහඬ කවීන්ගේ වගේමයි!

“එපා… මාව… මාව මරන්න එපා…” කවීන්ගෙ වගේ ඒ කටහඬ බයෙන් ගැහෙමින්, කෙඳිරිගාන ඒ  සද්දේ ඒ බිත්තිය අස්සෙන් ආකර්ෂාට මාරම පැහැදිලිව ඇහුණා.

ආකර්ෂා බයටම තමන්ගේ කට අත් දෙකෙන්ම වහගත්තා. කවීන්ගේ ඔෆිස් කාමරේ ඇතුළේ මේ මහ රෑ වෙන්නේ මොකක්ද? මූ කාත් එක්ක හරි මහා භයානක ගේමකට පැටලිලාද? නැත්නම් මේ මහා මන්දිරය ඇතුළේ මූ මිනී මරණවද? කෙල්ල බයටම ඇඳ රෙද්ද අස්සේ ගුලි වුණේ, ඊළඟ තප්පරේ ඒ මරන්න එන එකා තමන්ගේ කාමරේටත් එයිද කියන මරණ බයෙන් ගැහෙමින්!

කාමරේ ඇතුළේ තප්පරෙන් තප්පරේ වෙලාව ගෙවිලා ගියේ මහා කල්ප කාලයක් වගේ. බ්ලැන්කට් එක අස්සේ හිරවෙලා හිටපු ආකර්ෂාගේ මුළු ඇඟම දාඩියෙන් තෙත් වෙලා තිබුණෙ. ඒත් එක හුස්මක් හරි හයියෙන් පිට වුණොත් තමන් ඉන්න තැන අහුවෙයි කියන බයට වගේ කෙල්ල හුස්ම හිර කරගෙන ඇස් තද කරලා පියාගත්තා.

“දෙයියනේ… මං මේ මොන වගේ අපායකටද පය තිබ්බේ?” කෙල්ල හිතින් අඬන්න පටන් ගත්තෙ ඇත්තටම මරණ බය දැනිච්ච හන්දා. බැංකුවට සින්න වෙන්න ගිය මහගෙදරයි, අසනීපෙන් ඉන්න තාත්තවයි බේරගන්න ඕන හින්දා මේ ආපු ගමන තමන්ගේ ජීවිතේ අන්තිම ගමන වෙයිද කියන බය කෙල්ලව වට කරගත්තෙ අන්න එවෙලෙ.. සල්ලි බලයෙන් මුළු ටවුන් එකක්ම හොල්ලන කවීන් වික්‍රමසිංහ කියන මිනිහා පිටිපස්සේ මොනවගේ දරුණු අන්ධකාර රහස් තියෙනවද කියල තමන් ඇත්තටම දන්නෙ නෑ නේද කියන එක, තමන් මෙහෙම මරිමෝඩ ගමනක් ආවෙ ඒ කිසිම දෙයක් ගැන හිතන්නෙ නැතුව නේද කියන එක ගැන ආකර්ෂට පලවෙනි වතාවට හිතුණෙ අන්න එවෙලෙ.

ටික වේලාවකින් ඔෆිස් කාමරේ සද්දේ නතර වුණා.

හැබැයි ඊළඟට ඒ සද්දෙ මතුවෙන්න පටන්ගත්තෙ කොරිඩෝව පැත්තෙන්. ඒක හරි හීන් අඩි සද්දයක්. නිකන් ලී පොළොව උඩ කවුරුහරි රබර් සෙරෙප්පු දාගෙන ඇවිදිනවා වගේ සද්දයක්. කවුරු හරි හෙමින් සැරේ ඇවිදගෙන ඇවිත් තමන් ඉන්න කාමරේ දොර ළඟ නතර වුණා වගේ කෙල්ලට දැනෙද්දි පපුව සීතලවෙලා යනවා වගේ දැනෙද්දි කෙල්ල කරේ රෙද්ද ඔලුවෙ ඉඳන් පොරවගෙන ඇස් දෙක ගිඩි ගිඩි ගාලා වහගත්ත එක. දොරේ අගුල හෙමින් හෙලවෙන සද්දෙත් එක්ක ආකර්ෂාගේ පපුව ගැහෙන වේගෙ සිය දහස් ගුණයකින් වැඩි වුණා. කෙල්ල දෙයියන් බුදුන් මතක් කරගන්න ගමන් රෙද්ද අස්සේ තව තවත් ගුලි වුණා. හැබැයි වාසනාවකට වගේ ඒ අඩි සද්දේ කාමරේඇතුළට ආවේ නැහැ, ආයෙමත් කොරිඩෝවේ ඈතට ඇදිලා ගියා.

මුළු රෑ පුරාම ආකර්ෂා ඇස් දෙක පියාගන්නවත් බැරි අන්ධකාර මර බයකින් තමයි උන්නෙ.

 එහා කාමරෙන්න් ආයෙමත් සද්දයක් ඇහෙයිද කියන බයෙන් ගැහෙමින් හිටපු කෙල්ලට යාන්තමට ඇස් පියාගන්න පුළුවන් උනේ පාන්දර හතරත් පහු වුණාට පස්සෙයි.

නිදි නැති කමට ඇස් රතු වෙලා, මූණ තඩිස්සි වෙලා උන්න කෙල්ල ගැස්සිලා ඇහැරුණේ උදේ හතට විතර කවීන් ඇවිත් දොරට මහා හයියෙන් තට්ටු කරපු සද්දෙට.

“ආකර්ෂා! ඉක්මනට රෙඩි වෙලා එනවා. ආච්චි අම්මා ඔයා එනකම් බලන් ඉන්නෙ!”

කවීන්ගෙ කටහඬ බෙඩ් රූම් එකේ දොර ඉස්සරහින් ඇහෙද්දි ආකර්ෂා එකපාරටම ඇඳෙන් පැනලා වගේ ගිහින් දොර ඇරියා. දොර ඉස්සරහා හිටගෙන හිටපු කවීන් වෙනද වගේම සුපිරියට සූට් එකක් ඇඳලා ටිප්ටොප් එකට හිටියට, මිනිහගේ ඇස් වටේ කළු වෙලා, මූණ මාරම විදිහට සුදුමැලි වෙලා  තිබුණෙ. ඒක හරියට රෑ වෙච්ච මහා දරුණු සීන් එකකට සාක්කි කියනවා වගේ ආකර්ෂාට පෙනුණාට “ඇයි ඒ?” කියලා අහන්න හයියක් කෙල්ලට තිබ්බෙ නෑ. කෙල්ල උන්නෙ ඊයෙ රෑ වෙච්ච දේ එක්ක එක්තරා විදියක බයකින්. අන්න ඒ හන්දමයි කෙල්ල අඩියක් පස්සට තියලා මූ දිහා බැලුවේ නිකන් මිනීමරුවෙක් දිහා බලනවා වගේ.

“තම… තමුසෙගේ ඔෆිස් රූම් එකේ ඊයේ රෑ…” ආකර්ෂා වචන පටලව පටලව අහන්න හදද්දීම කවීන් වටපිට බලලා සනිකව කාමරේ ඇතුළට පැනලා කෙල්ලගේ අතින් තද කරලා අල්ලා ගත්තා. මිනිහගේ අත් දෙක නිකන් අයිස් කැට වගේ සීතල වෙලා තිබ්බා කියලා ආකර්ෂාට තේරුණේ එවෙලෙ.

“මොනවද බබ් බබ් ගාන්නෙ? රෑ වෙච්ච දේවල් දැන් වැඩක් නැහැ. මං මේ කියන දේ විතරක් ඔළුවට ගන්නවා” කවීන් ආකර්ෂාගේ ඇස් දෙක දිහා කෙළින්ම බලලා මාරම තදට කිව්වා.

 “ආච්චි අම්මා පල්ලෙහා ඉන්නවා. එයා ආවේ අපි දෙන්නා ගැන හොයලා බලන්න. දැන් අපි දෙන්නා ඉන්න ඕනේ මාරම ලව් එකෙන් ඉන්න කපල් එකක් වගේ. එක බොරුවක් හරි අහු වුණොත් ඩීල් එකත් ඉවරයි, තමුසෙගේ මහගෙදරත් ඉවරයි. තේරුණාද?”

කවීන්ගේ ඒ ත්‍රෙට් එකට, ඒ වචන ටිකට ආකර්ෂාට මල පැන්නා. “රෑ මරලතෝනි දීලා දැන් මෙතන ඇවිත් මට සද්දේ දානවා… මූට පිස්සුද කොහෙද” කෙල්ලට එහෙම හිතුණත්, මහගෙදර සින්න වෙන්න යන සීන් එක මතක් වෙලා කෙල්ල කට පියාගත්තා. අනික ඉතින් තමන් ආව කාරණාව මහගෙදර බේරගන්න එක මිසක් මෙතන මේ මුන්ගෙ ගෙවල් වල වෙන්නෙ මොනවද කියලා හොයන්න නෙවිනෙ.

අන්න ඒ හන්දා තමයි කෙල්ල ටක් ගාලා මූණ කට හෝදගෙන දත් මැදලා, කවීන් අරගෙන දුන්න අලුත්ම ඇඳුමක් ඇඳලා, ලයිට් මේකප් එකකුත් දාගෙනම කොණ්ඩෙත් කඩලා දාගෙන කවීන් එක්ක පල්ලෙහා සාලෙ දිහාවට බැස්සේ.

දිගු තේක්ක කෑම මේසයේ මුල් පුටුවෙ වාඩි වෙලා ආච්චි අම්මා උන්නා.

මේසය උඩ ලෑස්ති කරලා තිබුණෙ බුෆේ එකක් වගේ බ්‍රෙක් ෆස්ට් එකක්. රත්තරන් පාටින් දිලිසෙන පිඟන් බඩු අස්සේ දුම් දාන කිරි බත්, රතු පාටට දිලිසෙන සැර මාළු ඇඹුල්තියල්, හීනියට ලියපු ලූණු සම්බෝල, සුවඳ හමන ඉඳිආප්ප වගේම පලතුරු වර්ග පිරිලා තිබුණත්, ඒ කිසිම දෙයකින් කෑම රුචියක් ඇති කරවන පාටක් සාලේ තිබුණේ නැහැ. තිබුණේ හුස්ම ගන්නත් බය හිතෙන විදියේ දරුණු ටෙන්ෂන් එකක්.

ආච්චි අම්මාගේ ඇස් දෙක නිකන් එක්ස් රේ එකක් වගේ ආකර්ෂාගේ උඩ ඉඳන් පල්ලෙහාටම යනකම් විපරම් කරලා බැලුවා කියන එක කෙල්ල දැක්කා. කොහොමත් නාකි අම්මන්ඩිට තමන්ව සතේකටවත් දිරෙවන්නෙ නැති විත්තිය ආකර්ෂා ඕල් රෙඩි දැනගෙන උන්න හන්දා කෙල්ල ඒවා නම් ලොකුවට ගණන් ගත්තෙම නෑ.

හැබැයි ඉතින් “වලව්වල කුමාරිහාමිලා නම් ඉතින් තමන්ගේ ෆියන්සේ ඇවිත් තමන්ව ඇහැරවනකම් නිදි කිර කිර ඉන්නෙ නැහැ උදේ කෑම ගන්න එන්න!” කියලා ආච්චි අම්මා තේ කෝප්පෙ මේසය උඩින් තියන ගමන් තමන්ව චාටර් කරලා දාන්න කියද්දි කට පියාගෙන ඉන්නත් කෙල්ලට පුලුවන්කමක් තිබ්බෙ නෑ.

“අනේ කවී මට කියලා තියෙන්නෙ මැරි කරාම ඕන තරමක් නිදාගන්න කියල ආච්චි අම්මි. එයා ආසම නෑනෙ මම ඔයා උදේ පාන්දර ඇහැරගෙන ඉන්නවට. එයා මට නිතරම කියනවා බබී ඔයා ඕන තරම් දවල් වෙනකං නිදාගන්න අයි ඩෝන්ට් මයින්ඩ් කියලා” ආකර්ෂා කියද්දි කවීන්ගෙ විතරක් නෙවෙයි ආච්ච් අම්මාගෙත් කට ඇරුණා.

මුලදි කන කට්ට අවසානෙදි පට්ට කියලා ආච්චි අම්මා දාන දාන බෝලෙට හයේ පාරවල්ම ගහනවා කියලා හිතාගෙන තමයි කෙල්ල ඕන් එහෙම කිව්වෙ!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here