මල් සහ මල්

“මම ඔයාගේ පේජ් එකෙන් ඇඳුමක් ඕඩර් කරේ මගේ යාලුවෙක්ගේ කීමට.එයාගේ ගවුම හරිම නීට් ලස්සනයි.ඒත් ඔයා මේ එවලා තියන ගවුම කිසිම කමකට නෑනේ..”

වට්ස්ඇප් තිරයේ දිස් වුණු ඒ පණිවිඩය දැක්ක මල්ෂා කලබල වුණා.කවදාවත් පාරිභෝගිකයන්ගේ දොස් අහපු නැති තමන්ට මේ වගේ පණිවිඩයක් සැර වැඩියි කියලයි ඇයට හිතුණේ.

“ඔයා ෆේස්බුක් පේජ් එකේ රිප්ලයි නොකරන තැන තමයි මං යාළුවගෙන් ෆෝන් නම්බර් එක ඉල්ලා ගත්තේ..”

ආයේම පැමිණිලිකාරිය කියනවා.

“සමාවෙන්න මිස්.මට ඔයාගේ ඇඳුම බලන්න පුලුවන්ද? ඊටපස්සේ අපි ඔයාට වෙන ඇඳුමක් එවන්නම්..”

මල්ෂා ආචාරශීලීව පිළිතුරු යැව්වා.ඊටත් පස්සේ ආව ඡායාරූපය දිහා ඇය බලාගෙන හිටියේ පුදුමයෙන්.

“මිස්, සමාවෙන්න.මේ ක්‍රොප් ටොප් එකක්නෙ.මේක මගෙන් ගත්ත එකක් නෙවෙයි.මම මහන්නේ ගවුම් විතරයි.”

මල්ෂා වහාම දුරකථන ඇමතුමක් ගත්තේ ප්‍රශ්නය නිරාකරණය කරගන්න හිතාගෙන.

“එහෙම වෙන්න බෑනෙ.”

පැමිණිලිකාරිය කිව්වේ පුදුමයෙන්.බියුටි බයි මල් කියන ෆේස්බුක් පේජ් එකෙන් ඕඩර් කරපු ගවුම තමන්ගේ මිතුරියට බොහොම ලස්සනට තිබුණු නිසා තමන්ටත් ඇඳුමක් ඕඩර් කරන්න ආසාවක් ආවා කියලා ඇය මල්ෂාට පැහැදිලි කළා.ඒත් ඇය ගවුම් අඳින්න කැමැත්තක් නැති නිසා ටොප් එකක් ඕඩර් කරන්න හිතුණු බවත් කියද්දී ඒ ඇණවුම් කරපු පිටුවේ ලින්ක් එක ඉල්ලා ගන්න මල්ෂාට හිතුණා.

ඇයට උතුර දකුණ මාරු වෙන්නේ ඊට පස්සේ!

ඇය අවුරුද්දක් විතර තිස්සේ ඇඳුම් බිස්නස් කරපු ෆේස්බුක් පේජ් එකේ නමින්ම තවත් කෙනෙක් ඇඳුම් ව්‍යාපාරයක් පටන් අරන්.

“මම මේ නමින් බිස්නස් එකක් පටන් අරන් දැන් හුඟක් කල්.අපේ කස්ටමර්ස්ලට අපිව මාරුවෙන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි නේද?”

මල්ෂා අනිත් කෙනාගෙන් ඇහුවේ බොහොම ආචාරශීලීව.

“මගේ නම මල්ෂානි,මේ මම මහන ඇඳුම්.මේ සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් වචනනෙ.මට එහෙම නීති දාන්න ඔයා කවුද? ඔයාට ඕන නම් ෆ්‍රොක්ස් බයි මල් කියලා නම වෙනස් කරගන්න.ඔයා මහන්නෙ ගවුම් විතරනෙ.”

අනිත් පැත්තෙන් ආව රළු පිළිතුරට මල්ෂාට දැනුණේ ලොකු වේදනාවක්.ඇය නිකමට වගේ ඇගේ ඇඳුම් පිටුවේ පරණ පණිවිඩ පරීක්ෂා කළා.මේ මල්ෂානි ඉස්සර ඇයව බොහොම අගය කරපු ඇගේ පාරිභෝගිකයෙක් කියලා මල්ෂාට තේරුණේ ඒ මොහොතේ.

ඉවර කරන්න ඕඩර්ස් බර ගාණක් තිබුණත් මල්ෂාට ඒ දේවල්වලට හිතක් නැහැ.ඇය දවසම ගෙවා දැම්මේ මිනිස්සුන්ට මේ වගේ දේවල් කරන්න පුලුවන්ද කියලා හිතන ගමන්.

“අද නම් බස්වල මාර සෙනඟක්..”

යසිත ගෙට ගොඩ වුණේ එහෙම කියාගෙන.මල්ෂා වෙනද වගේ හිනා වෙලා තේ හදන්න නොගිය එක ගැන යසිතට දැනුණේ කුතුහලයක්.

“ඇයි මල්..ඔයාට සනීප නැද්ද?”.

මල්ෂා එහෙම නෑ කියන්න ඔලුව හෙලෙව්වා.මහන්න ගිය ඇඳුමක විලාසිතාවක් හිතට අල්ලලා නැතුව ඇති.යසිත අනුමාන කළා.ඒත් මල්ෂා වෙනදා වගේ මල් වට්ටියක් වගේ හිනා නොවෙන්න මොකක්ම හරි හේතුවක් තියන බව යසිතට නොතේරුණා නෙවෙයි.

“ඔයා අද මහන්නේ නැද්ද?”

රෑට කෑම කාලා පුටුවකට වෙලා කල්පනා කරන මල්ෂාගෙන් යසිත ඇහුවේ පුදුමයෙන්.මල්ෂා එක මොහොතක් නිකම් ඉන්න කෙනෙක් නෙවෙයි.තමන්ගේ පුංචි ව්‍යාපාරය ගැන ඇයට තියෙන්නේ අහස උස හීන බව යසිත දන්නවා.

“මං ආයේ මහන්නේ නැතුව ඉන්න හිතුවෙ..”

මල්ෂා එහෙම කියද්දී එයාගේ කම්මුලක කඳුළු කැටයක් දිලිසෙන හැටි යසිතට පෙනුණා.

“ඇයි මල්, කස්ටමර් කෙනෙක් මොනව හරි කිව්වද? සමහරු එහෙම තමයි.ඔයාත් නරක ප්‍රතිචාර වුණත් බාර ගන්න.එතකොට තමයි හොඳම ස්ටයිල්ස් හදන්න ඔයාව මෙහෙයවෙන්නේ..”

මල්ෂාගෙන් උපයාගන්න අදහසක් කවදාවත්ම නැති වුණත් ඇය තමන්ගේ සිහිනවලට ඇවිදගෙන යනවට කැමති යසිත මල්ෂාට කිව්වේ ආදරයෙන්.
බිස්නස් එකේ ලාබ පාඩු ගැන අහලා මල්ෂා උපයන මුදල ගැන විමසිලිමත් නොවුණට ඇයගේ ව්‍යවසායිකා සිහිනයට යසිත හුඟක් ආදරේ කළා.

“මගේ පේජ් එකේ නමින්ම තව කෙනෙක් තව පේජ් එකක් පටන් අරන්..”

මල්ෂා හිතේ අමාරුවට හේතුව හෙළි කළා.ඇය අද දවල් වුණු සිදුවීම කියනකොට යසිත ඒ කතාව අහගෙන හිටියේ උපේක්ෂාවෙන්.

“දැන් ඔයා මහන එක නතර කරාම හරිද?”

යසිත එහෙම ඇහුවේ මල්ෂාගේ හිස උරහිසෙන් තියාගන්න ගමන්.

“එතකොට එයා එයාගේ බිස්නස් එක කරයිනෙ.එයා බාගෙට කරන වැඩ පටලන් මිනිස්සු මට බනින්නේ නෑනෙ.ඒ කම්ප්ලේන් එක දැකලා ටික වෙලාවකින් මං දැක්කා තව කෙනෙක් පෝස්ට් එකක් දාලම බැනලා. එතනත් හැමෝම මාත් එක්ක පටලගෙන තිබ්බ..”

යසිත හයියෙන් හිනා වෙන්නේ තමන්ට ද කියලා මල්ෂාට හිතුණේ ඒ කතාව කියලා ඉවර වෙනකොටමයි.

“ඔයා වේගයෙන් දියුණු වෙන කෙනෙක් කියලා දකින ඕන කෙනෙක්ට තේරෙනවා..”

යසිත කියන්නේ මල්ෂාගේ කඳුළු පිහදාන ගමන්.

“ඉතිං, තමන්ටම කියලා බ්‍රෑන්ඩ් එකක් හදා ගන්නවට වඩා ඔයාගෙ ජනප්‍රියකමෙන් තමන්ගෙ පාරක් හදා ගන්න ඒ කොපි කරන නෝනාට හිතෙන්න ඇති..”

එකිනෙකට වෙනස් විලාසිතාවලින් පිරුණු තමන්ගේ පුංචි ව්‍යාපාරය ගැහැනු ළමයි කී දෙනෙකුට සතුට අරන් ආවද කියලා මල්ෂා කල්පනා කළා.ඇත්තටම තමන් හිතනවාටත් වඩා ඒ ගවුම්වලට ගැහැනු ළමයි ආදරෙයි කියලා ඇයට හිතුණා.

“කෙනෙක් අපිව කොපි කරන්නෙ අපි දෙයක් කරන නිසානෙ මල්.එතකොට කොපියන්ට ඉඩ දීලා ඔයා ඔයාව නවත්තා ගත්තම රිදෙන්නෙ ඔයාටත් නෙවෙයි එයාටත් නෙවෙයි කියලා මටනම් හිතෙන්නේ..”

මල්ෂා ඇස් පුදුමයෙන් ලොකු කරගත්තේ යසිතගේ ඒ කතාවට.

“ඒ වගේ දේවල්වලට ඔයා හිත රිද්දා ගත්තම ඔයාගේ වැඩ නැවැත්තුවම ඇත්තටම රිදෙන්නේ ඔයා ඔයාගෙම කියලා ගමනක් යනකම් බලන් ඉන්න මට.ඔයාගේ ලස්සන ගවුම්ම අඳින්න පුරුදු වුණු ගර්ල්ස්ලට..ඔයාට ආදරේ කරන අය තමයි ඒවයින් දුක් වෙන්නෙ.ඉතින් ඔයා ඇයි එහෙම වෙන්න ඉඩ දෙන්නේ..”

මල්ෂා නැගිට්ටේ අලුත් හුස්මක් අරන්.මේවගේ දේවල් වලින් හිත රිද්දා ගන්න තමන්ට කාලයක් ඉතුරු නැහැ කියලා ඇයට හිතුණා.

“මේ මෙටීරියල් එක ලස්සන ගවුමකට හොඳ වෙයි නේද?”

ඇය යසිතගෙන් ඇහුවේ අලුත්ම අදහස් හිතේ පුරවා ගන්න ගමන්.

“ඔයා වගේ ලස්සන ගෑනු ළමයින්ට ලස්සනට තියෙයි.”

යසිත එහෙම කියලා හිනා වෙනකොට මල්ෂාත් ඒ හිනාවට එකතු වුණේ අලුත් බලාපොරොත්තු හිතේ පුරවාගෙන.

More Stories

Don't Miss


Latest Articles