හැමෝටම අවුරුදු

“අවුරුද්දට අපි මොනවද හදන්නේ අම්මා?”

පුංචි අසෙලි එහෙම අහන්න අරන් දැන් දවස් ගාණක් වෙනවා.වෙනදා වගේ අවුරුදු සරු නැති බව පුංචි දූට කියන්න අමාරු නිසා සුලේකා ඒ ප්‍රශ්නය මඟ ඇරියේ “අපි මොනවාහරි හදමුකො දූ” කියන ගමන්.දූ අවුරුදු එනවට ආසයි.දූට අවුරුදු චාරිත්‍ර කියා දෙන්න,එයා එක්ක ගමේ යන්න,තෑගි තෝරන්න සුලේකාත් පුදුම තරම් ආස කළා.

“පුතේ,මේ කාලේ අපේ රටේ මිනිස්සුන්ට සල්ලි නෑ.කොරෝනා ආවට පස්සෙ සමහරුන්ට සල්ලි නැතුව ගියානෙ.රස්සාවලුත් නැති වුණා.අනිත් එක මේ දවස්වල අපේ රටේ ප්‍රශ්නත් වැඩීනෙ.පුතා ටීවි එකෙ දකින්නෙ.”

අසෙලිට ඒ කතා වැඩිය නොතේරුණත් අම්මා කියන දේ හිස වනමින් අහගෙන හිටියා.පුංචි දරුවෙක්ට සහකම්පනය තිබිය යුතුම බව සුලේකා හිතුවා.

“සල්ලි නැති වුණාම මොකද අම්මා වෙන්නේ?”

අසේකා අහනවා.මහා ආර්ථික විද්‍යා පාඩම් පුංචි දරුවෙකුට නොතේරුණත් සල්ලි නැති වුණාම වෙන්න පුලුවන් දේවල් ගැන සුලේකා පුංචි අසෙලිට කියා දුන්නා.

“සල්ලි නැති වුණාම පුතේ ඔයාට ආස දේවල් ගන්න බෑ.ලස්සන ගවුම් ගන්න බෑ.බෝනික්කො ගන්න බෑ.චොකලට් ගන්න බෑ.අයිස්ක්‍රීම් ගන්න බෑ.එච්චර විතරක් නෙවෙයි,සමහර අයට බත් උයන්නවත් බැරි වෙනවා.”

අම්මා එහෙම කියනකොට අසෙලි අම්මා දිහා බැලුවේ පුදුමයෙන් වගේ.ඊටපස්සෙ එයා ඒ ගැන ගොඩක් හිතන්න පටන් ගත්තා.අම්මා කියන විදියට නම් සල්ලි නැතුව මොකුත්ම කරන්න බෑ.

අසෙලි ඊටපස්සෙ එයාගේ බෝනික්කො ඔක්කොටොම ඒ පාඩම ආයේ උගන්වන හැටි සුලේකා අහගෙන හිටියා.පුංචි අය දේවල් ඉක්මනින් ඉගෙන ගන්නවා.

“කෑම විසි කරන්න එපා.හොඳ බබාලා ඔක්කොම කනවා.කෑම විසි කරන්නේ නැහැ නරක ළමයි.”
අසෙලි ඒ පාඩම බෝනික්කන්ට උගන්වන හැටි සුලේකා අහගෙන හිටියේ සැනසීමෙන්.දරුවෝ සහකම්පනය ඉගෙන ගන්න ඕන.

“අම්මා..අද මට රස කෑමක් හදලා.”

අසෙලි ඉල්ලීමට හවස් වරුවේ පුංචි කේක් එකක් හදන ගමන් සුලේකා කල්පනා කළේ දරුවන්ට ආස දෙයක් දෙන්න බැරුව දුක් විඳින මිනිස්සු අපේ රටේ කොච්චර ඇතිද කියල.ඒ හැඟීම සුලේකාට හරිම හිරිහැරයක්.ඇය ඒ ගැන හිතමින්ම කේක් එක බේක් කරන්න පටන් ගත්තා.

“පුතා..අපි මේ පාර අවුරුදු වලට ගොඩාක් කෑම ජාති හදන්නේ නැතුව ඉමු..”

සුලේකා කේක් කෑල්ලක් අසෙලි අතට දෙන ගමන් කිව්වේ ආදරෙන්.අසෙලි ඔළුව වනලා ඒ කතාව පිළිගත්තා.ප්‍රශ්න කිරීමකින් තොරවම ඒ කතාව පිළි ගත්තු පුංචි දූ ගැන සුලේකාට දැනුණේ කියන්න බැරි තරම් ආදරයක්.

“අම්මා..මට ගවුමක් ගන්න සල්ලි කොච්චරක් ඕනද?”

ඊළඟ දවසේ පෙර පාසල් ඇරිලා එනගමන් අසෙලි අහනකොට සුලේකා දූ දිහා බැලුවේ පුදුමයෙන්.දූ ඒ වගේ කතා අහලාම නෑ.ඇහුවත් වන් ටූ තී පෝ කියලා ගනින එයා මුදලේ වටිනාකමක් කොහොමවත් දන්නේ නෑ.

“ලොකු ගාණක් ඕන පුතා.”

අසෙලිව මෝටර් රථයට නංවා ගන්න අතරේ සුලේකා කිව්වේ දූට අලුත් ඇඳුමක් ඕනෑ වෙලා ඇති කියලා හිතමින්.අසෙලි අම්මා දිහා බලාගෙන හිටියේ ආයාචනාත්මක දෑසකින්.

“අම්මා මට ඒ සල්ලි කොළේ දෙනවද?”

අසෙලි අහනවා.සුලේකා දුව දිහා පුදුමයෙන් බලාගෙන හිටියා.ඊට පස්සෙ දූ එක්ක පරිස්සමින් කතා කරන්න පටන් ගත්තා.

“ඇයි පැටියෝ ඔයාට සල්ලි?”

මොන්ටිසෝරිය ගාව අම්මා කෙනෙක් පුංචි බබෙක් එක්ක මුදල් ඉල්ලමින් හිටිය බව සුලේකාට අසෙලි කිව්වේ පුංචි මුහුණ දුකෙන් බෙරි කරගෙන.ඒ පුංචි බබා බඩගින්නේ කියන හැඟීම පුංචි අසෙලිව පීඩාවට පත් කරලා.

“අපි රස කෑම කෑවට ලස්සන ඇඳුම් ඇන්දට ඒ චූටි බබාට ඒ මොකුත් නෑ කියලා ටීච කිව්වා අම්මා.”

අසෙලිට තවත් දරුවෙකුගේ වේදනාව දැනීම ගැන සුලේකාට ඇති වුණේ සතුටක්.ඒ හැඟීමත් එක්ක ඇය දියණියට දිගටම කතා කරන්න පටන් ගත්තා.

“මං කියන්නද? අම්මි මීට පස්සෙ ඔයාට ලන්ච් බොක්ස් දෙකක්ම හදලා දෙන්නම්.”

සුලේකා එහෙම කියනකොට අසෙලිගේ ඇස් දිලිසෙන්න පටන් ගත්තා.අසෙලි අම්මාගෙ ගෙල බදාගෙන හාදුවක් තියලා අම්මා දිහා බලා හිටියේ ආදරයෙන්.

“එතකොට ඒ බබා බඩගින්නෙ ඉන්න එකක් නැද්ද අම්මා?”

එක වේලකින් බඩගින්න නොනිමෙන බව දියණියට කියා දෙන්න සුලේකාට බැහැ.ඒත් ඇය කරන දෙයින් ඒ බඩගින්න ටිකකට හෝ සීමා වෙන බව දියණියට කියා දෙන්න සුලේකාට පුලුවන්.

“අවුරුදු එන්නෙ ආච්චි මම්මා බලන්න ගමේ යන්නද අම්මා?”

අසෙලි එහෙම අහනකොට අසෙලිට කියන්න සුලේකාට වෙනස් කතාවක් තිබුණා.

“අවුරුදු එන්නේ පැටියෝ අපි ගැන අලුතින් හිතන්න.ලස්සන ඇඳුම් ඇඳලා රස කෑම හදලා නෑගම් ගිහිල්ලා අවුරුදු සමරන්න ඕනෑ කියලා එකක් නෑ.අම්මා අවුරුදු චාරිත්‍ර කරන්නෙත් පුතාට ඒවා ඉගෙන ගන්න.පුතා කවදාහරි දවසක ගොඩාක් ඉගෙන ගන්න වෙන රටකට ගිය දවසටත් පුතා ඉපදුණු රටේ තිබුණු ලස්සන දේවල් ගැන ඒ රටේ අයටත් කියන්න පුලුවන් වෙන්න.අපේ රට හරි ලස්සන රටක් කියලා පුතාට තේරුම් ගන්න.”

අම්මා කියන දේවල් ඔක්කොම නොතේරුණත් අසෙලි ඇස් ලොකු කරගෙන අම්මා දිහා බලාගෙන හිටියා.

“ඒත් ඇත්තටම අවුරුදු කියන්නේ අපි ගාව තියන දේවල් ඒවා ඒ තරමට නැති අය එක්ක බෙදා ගත්තම පුතේ.”

සුලේකා එහෙම කියලා අසෙලිගේ ඔලුව අත ගෑවේ ආදරයෙන්.

More Stories

Don't Miss


Latest Articles