මව හා පියාගේ ආරවුල් නිසා මානසික ගැටලුවකට මැදිවූ අහිංසක දියණියක්.

(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.)

දරුවන් ඉදිරිපිට දෙමාපියන් ගැටුම් ඇති කර ගැනීම දරුවන්ව ඇද දමන්නේ සිතා ගත නොහැකි ගැටලුවලටයි.ජේෂ්ඨ මනෝ වෛද්‍ය උපදේශිකා රත්නා මහත්මිය ඇගේ වෘත්තිය ජීවිතය තුළ වඩා හද සසල කළ ප්‍රවෘත්තියක් මේ ආකාරයට අප සමඟ බෙදා ගත්තා.

ලිහිණි අවුරුදු දහ අටක ගැහැනු ළමයෙක්.ඇය රත්නා මහත්මිය හමුවට එන්නේ බොහොම වෙහෙසට පත් වූ මුහුණකින්.ඒ වගේම හරි කලබලයකින්.

“මැඩම්,මම මැඩම්ව හොයාගෙන ආවේ ගොඩක් කල් හිතේ හිර කරගෙන ඉන්න ප්‍රශ්නයක් කියන්න.මට මේක තවදුරටත් දරා ගන්න බෑ..”

ඇයට රිසිලෙස හඬන්නට දී සන්සුන් වීමට ඉඩ දුන් උපදේශිකාව ළිහිණි ගෙන් විමසන්නේ මේ ගැටළුවට හේතුව යි. ලිහිනි බොහොම කලබලයෙන් සහ වේදනාවෙන් රත්නා මහත්මියට හෙළි කරන්නේ අමුතුම ගැටලුවක්.

“මම මේ කියන දේ අහලා මම මහ නරක කෙල්ලෙක් කියල හිතන්න එපා.මට මේක කියන්න කෙනෙක් නෑ.උපදේශනයකින් ජීවිතය ගොඩනඟා ගන්න පුළුවන් කියලා මම දන්නවා.අනේ ඒ නිසා මට උදව් කරන්න.”

උපදේශනය තිබෙන්නේ තනිවම විසඳුම් සෙවිය නොහැකි ගැටලු වලට විසඳුම් සෙවීමට බව රත්නා මහත්මිය මෙම දැරියට පැහැදිලි කරා.

“මට හැම පිරිමි කෙනෙක්ම පෙනෙන්නේ නිරුවතින් ඉන්නවා වගේ.පාරට බැස්සහම දකින ඕනෙම කෙනෙක් ඇඳුම් නැතුව නිරුවතින් ඉන්නවා වගේ මට දැනෙනවා.මේක මානසික රෝගයක් කියලා මට හිතෙනවා.මට මේක කාටවත් කියන්න බැරි මම මහා ජරා කෙල්ලක් කියලා හැමෝම හිතන්න ඉඩ තියෙන හින්ද.”

මෙවැනි කතාවක් අසන ඕනෑම කෙනෙකුට ඇතිවන පළමු සැකය රත්නා මහත්මියටත් පහළ වුණා .ඒ ලිහිනි කුඩා කාලයේ අපයෝජනයට ලක් වන්නට ඉඩ ඇති බවටයි.ඉන් ඇතිවූ දරුණු කැළල ඇයව මෙවැනි තත්ත්වයකට ඇද දමා ඇති බව රත්නා මහත්මියට සැකයක් පහළ වුණා.එම නිසා රත්නා මහත්මිය ලිහිණි සමග ඇගේ ළමා කාලය ගැන සාකච්ඡා කළා.

“මට පොඩි කාලේ එහෙම දෙයක් වෙලා නෑ මිස්.ඒ ගැන මට සහතික කරලා කියන්න පුළුවන්.මට තාම ප්‍රේම සම්බන්ධයක් ඇත්තෙත් නැහැ. ඇත්තටම අවුරුදු දහඅටක් උනාට මං පිරිමි අය සමඟ ළඟ සම්බන්ධතා පවත්වලත් නෑ.බාලිකාවකට යන හින්ද මට ඉන්නේ මිතුරියන් විතරයි හැබැයි ඒ අය එක්කත් මේක බෙදාගන්න මම බයයි.”

එහෙමනම් ලිහිණිට මෙහෙම වෙන්න ඇත්තෙ ඇයි?

ඇගේ කුඩා කාලය ගැන තොරතුරු විමසමින් රත්නා මහත්මිය බොහෝ වෙලාවක් වේලාවක් ගත කරනවා.මේ දියණිය සැබෑවටම අම්මගේ දැඩි රැකවරණය ඇතුව හැදුණු දියණියක්.අපයෝජනයකට ලක් වෙන්න ඇයට කුඩා ඉඩක් වත් නැහැ.නමුත් අම්මා සහ තාත්තා අතර එතරම් ළඟ සම්බන්ධතාවයක් නැති බව ඇගේ කතා අනුව උපදේශිකාවට තහවුරු වෙනවා.

“එතකොට මට අවුරුදු පහක් විතර ඇති.දවසක් තාත්තා හරි ලස්සනට ඇඳගෙන ගෙදරින් එළියට බහින්න හැදුවා.තමුසෙ කොහෙද යන්නෙ කියලා අම්මා තාත්තාගෙන් ඇහුවේ හරි නපුරු හඬකින්.ඒ දෙන්න මම එතන ඉන්නවා කියලවත් නොහිතා බහින්බස් වෙන්න ගත්තා.අන්න එදා හපු කතාවක් මගේ හිතේ තදින්ම තැන්පත් වුණා.”

තමන් යන්නේ වෙනත් කාන්තාවක් මුණ ගැසෙන්න බවත් ඒ සම්බන්ධයෙන් කිසිසේත්ම බිරිඳට නතර කරන්න බැරි බවත් කිසිම හැඩයක් නැති තමන්ගේ බිරිඳට වඩා තමන්ගෙ පෙම්වතියට ආදරය කරන බවත් එදා ලිහිණිගේ තාත්තා අම්මට තදින් පවසලා තියෙනවා.අවුරුදු පහක පුංචි දැරියක් උනාට ලිහිණිගේ හිතේ මේක තදින්ම තැන්පත් වෙලා තියෙනවා.

“එදා අම්මා සහ තාත්තගේ අතර ලොකු රණ්ඩුවක් ඇති වුණා.මේ රණ්ඩුව එයාලා එතැනින් අමතක කළත් මගේ හිතේ හරියට තැන්පත් වුණා.අවුරුදු පහක් වෙනකන් මගේ වීරයා වුණේ තාත්තා .මං අම්මට වඩා හුඟක් ළඟත් තාත්තට.නමුත් එදා සිදුවීමෙන් පස්සේ මම තාත්තගෙන් හරියට ඈත් වුණා.තාත්තා පුංචි මම ඉස්සරහ නිරුවත් වුණා වගේ මට දැනුණේ.”

ඇය අඬමින් එදා ඇයට ඇතිවූ වේදනාව හෙළි කළා.

“මට ඕනේ හොඳට ඉගෙන ගන්න.කවදාවත් කසාදයක් කරගන්න මගේ හිතේ අදහසක් නැහැ.තනියම ජීවත් වෙන්න මම හිතාගෙන ඉන්නවා.ඉතින් හොඳට ඉගෙන ගන්න මේ සිතුවිල්ලෙන් මිදෙන්න මට ඕනේ.මොකද මට කිසිම පිරිමියෙක් ගැන ආසාවක් ඇති නොවුනත් ඔවුන් නිරුවතින් ඉන්න වගේ පෙනෙන එක හරිම කරදරයක්.මම කලින්ම වතාවේ විභාගය ලියන කොට විභාග ශාලාවේ ගුරුවරු මේ ආකාරයට දකින එක ගෙ විභාගයම අවුල් කරන්න හේතුවක් වුණා. “

පොඩි වයස ඉඳලම තාත්තා කෙරෙහි වෛරයෙන් ජීවත් වූ ලිහිණි විනෝදාංශ වලින් තොරයි.මිතුරු ආශ්‍රය සීමිතයි .ඇගේ මේ ගතිගුණ වෙනස් කරන්න උපදේශිකාව ක්‍රියා කළා.ලිහිනිට කියවීමට පොතක් ලබාදීමට උපදේශිකාව කටයුතු කළා.ඊට දින කීපයකට පසු දැරිය රත්නා මහත්මිය අමතන්නේ ඒ විනෝදාංශය ඇයව සෑහෙන වෙනසකට ලක් කළ බව කියන්නටයි.

“මැඩම් මම ඒ පොත හතරපාරක් කියෙව්වා” ඇය එහෙම කිව්වා.

දෙමාපියනි,

ඔබ දරුවන් ඉදිරිපිට ගැටුම් ඇති කර ගන්න පටන් ගත්තොත් මේ විදියට හෙළිදරව් වන හෝ නොවන ගැටළු ඕනෑතරම් දරුවන් තුළ තියෙන්න පුලුවන්.ඒ නිසා කරුණාකරලා දරුවන් ඉදිරිපිට ගැටුම් ඇති කරගන්න එපා. oedipus and electra complex යන නම් වලින් හඳුන්වන මනෝවිද්‍යා සංකල්පයන් හිදී කියවෙනවා දරුවන් කුඩා කාලයේ දෙමාපියන්ට ආදරය කරන අන්දම, ඔවුන් වීරයන් කර ගන්නා අන්දම, ඔවුන් අනුකරණය කරන අන්දම.ඒ නිසා කුඩා දරුවන් ඉදිරිපිට රණ්ඩු නොවී ඔබේ ගැටළු ඔවුන් නැති ස්ථානයක විසඳා ගන්නට ප්‍රවේසම් වෙන්න.

අනිත් කාරණාව දරුවන්ගේ හැසිරීමේ යම් උකටලී බවක් ඔවුන් පැත්තකට වෙලා ඉන්න බවක් පෙනෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න.විමසන්න. දරුවා ඔබට සත්‍ය හෙළි නොකරන්නේ නම් ළමා උපදේශනයක් වෙත ගෙන යන්න.කුඩා කාලයේ ඇති වූ මානසික ගැටලුවක් දිගටම හිතේ තබාගෙන සිටීම ලිහිණිට මෙන් දිගු කාලීන මානසික ගැටළු පිණිස හේතු වෙන්න පුලුවන්.

පොත් කියවා සමාජය ගැන අවබෝධයක් ගත් ලිහිණි ඉන්පසු ගීත ඇසීම,චිත්‍රපටි බැලීම වැනි විනෝදාංශ ද හුරු කරගත්තා.අද ඇය සරසවි සිසුවියක් ලෙස සතුටින් ජීවිතය ගෙවනවා.

Related Articles

Don't Miss


Latest Articles