හොඳම තාත්තා.

හිතට දැනෙන කේන්තිය දරා ගන්න බැරි වෙලාවක පවා භාවනා අඬන්නේ නැතුව ඉන්න උත්සාහ කළා.භාවනාගේ හොඳම මිතුරිය වුණු යුවනිත් ගිම්හානත් හිටියේ කාර්යබහුල වෙලා.

භාවනාගේ දහසයවැනි උපන්දිනයට ගත්තු ඡායාරූප කිහිපයක්ම සමාජ ජාලාවල වේගයෙන් පැතිරිලා!!

සාමාන්‍යයෙන් මෙහෙම දේවල් වෙන්නේ ඇඳුමක වරදක් තිබුණාම.කාගේහරි ඇඳුමක් තමන්ගේ ඇඟේ තියනවා වගේ වේදනාවකින් කෑගහන සුචරිතවත් ගැහැනු සහ පිරිමි ලාංකීය අභිමානය උගන්වන්න පැකිලෙන්නේ නැහැ.

ඒත් එහෙම වුණානම් ඉවසන්න තිබුණා.මේ ඊටවඩා හරිම අප්‍රසන්න කතාවක්.

“මිනිස්සු දන්නෙම මෙහෙම ජරා කතා කියන්න.ඔයා තාත්තාට කෝල් කරාද භාවනා..”

යුවනි අහන්නේ කේන්තියෙන්.

“අංකල් හොඳටම අප්සට් ගිහින් ඇති.”

පේජ් ඇඩ්මින්ලාට මැසේජ් යවලම හති වැටුණු ගිම්හාන ඉන්නේ ඊටත් වඩා කේන්තියෙන්.

භාවනා ඒ ඡායාරූප කිහිපය දිහා ආයෙම බලාගෙන හිටියා.මල්ලිව වඩාගෙන ඉන්න තාත්තා තමන්ට කේක් කෑල්ලක් කවන්නේ මොනතරම් ආදරයකින් ද? අම්මා ඒ දිහා බලාගෙන ඉන්නේ අප්‍රමාණ සැනසීමකින්.

“නාකි වයිෆ් කෙනෙක්ව කසාද බැඳගෙන දුව සෙට් කරගන්න ප්ලෑන් එකක් තියන කොල්ලෙක්..”

ඒ තමයි ඒ ඡායාරූපයට තියෙන තැන.වේගයෙන් පැතිරිලා ගිය ඕපාදූපය!

“ඒ ඔයාගේ තාත්තාද?”

ඒ ප්‍රශ්නේ භාවනාට පුරුදුයි.තාත්තා කියන්නේ ඇඟේ දුවන ලේවල අයිතිකාරයා විතරක් නෙවෙයි ජීවිතේ දරා ගන්න මහ පොළොව වගේ ආදරය කියලා දන්න නිසා භාවනා ඒ ප්‍රශ්නෙට “ඔව්” කියන්නේ හරිම ආඩම්බරකින්.

“ඒ මගේ අම්මගෙ සෙකන්ඩ් මැරේජ් එක.මගේ මල්ලිගෙ තාත්තා.දැන් මගෙත් තාත්තා.”

ඊටත් පස්සේ භාවනා කියන්න පුරුදු වුණා.

“එයා හරි තරුණයිනෙ..”

එහෙම අහන අයත් ඉන්නවා.ඒත් අනුන්ගේ ජීවිතේ අස්සට ඒ තරම් එබෙන අයට උත්තර දෙන්න භාවනාගේ මනාපයක් නෑ.

“තාත්තා!”

අවුරුදු තුන හතරක් කාලයේදී භාවනා තාත්තා කියලා දැනගෙන හිටියේ නිතරම රණ්ඩු කරන මනුස්සයෙක්ව.අම්මා අඬන්නේ තාත්තාගෙන් ගුටිබැට ලැබෙනකොට.භාවනාට ඇඬෙන්නේ අම්මා අඬන නිසා.කාටුන්වල කතන්දර පොත් වල ඉන්න ආදරේ පිරුණු තාත්තලා අයිති ළමයින්ට ඉරිසියා කරන්න භාවනා පුරුදු වුණේ ඊටපස්සේ.

“හැම බබෙකුටම තාත්තා කෙනෙක් ලැබෙන් නෑනෙ දූ..”

අම්මා භාවනාගේ හිත හදන්න පටන් ගත්තා.ඒත් ඒ කතාව ඇත්ත නොවෙන බව අම්මා තීරණය කරනකොට භාවනා තුන වසරේ.

“මං තමයි ඔයාගේ තාත්තා..”

අම්මා එක්ක අලුත් ගෙදර පදිංචියට ආවම භාවනාට තාත්තා කෙනෙක් ලැබුණා.ලස්සන තාත්තා එක්ක ඉස්කෝලේ යන්න,සෙල්ලම් කරන්න, අම්මට හොරෙන් අයිස් ක්‍රීම් කන්න ලැබෙනකොට තාත්තා කියන්නේ නපුරුම නපුරු කෙනෙක් නෙවෙයි ආදරේ පිරුණු කෙනෙක් කියලා භාවනාටත් තේරෙන්න පටන් ගත්තා.මල්ලිගෙ ඉපදීම ඒ ආදරය වෙනස් කරන්න සමත් වුණේ නැහැ.
භාවනාලා ජීවත් වුණේ ආදරය පිරුණු ගෙදරක.

“භාවනා, ඔයාට ඔයාගෙ බාප්පාගෙන් මොකක්හරි කරදරයක් වුණොත් අපිට නොකියා ඉන්න එපා හොඳේ..”

භාවනා නවය වසරේ ඉන්නකොට අල්ලපු ගෙදර ගයාත්‍රි ආන්ටි භාවනාට එහෙම කිව්වේ බය හිතෙන මුහුණක් හදාගෙන.

“අනේ පත්තරවල ටීවී එකේ මොනතරම් ජරා ප්‍රවෘත්ති යනවද? මට ඔයා දකිනකොට දුක හිතෙනවා.”

භාවනා ඒ කතාව අම්මාට කියද්දී අම්මා ඇස්වල කඳුළු පුරවා ගත්තේ කේන්තියට ද දුකට ද පැහැදිලි නෑ.ඉස්සර ඇඬුවට දැන් අම්මා අඬන්නේ නැති නිසා භාවනාට ඒ කඳුළුවලට තේරුමක් කියන්න අපහසු වුණා.

“මගෙ දූ හිතනවද ඔයාගේ තාත්තා..”

අම්මා ඊට පස්සෙ කළේ ඉකි ගහලා අඬන එක.ලෝකය ගැන බොහෝ දේවල් තේරෙන වයසක ඉන්න භාවනා තාත්තාගේ ඇස්වල තියෙන්නේ ආදරේම විතරයි කියලා තේරුම් අරන් ඉවරයි.ඔසප් දවසට කෙඳිරි ගගා ඇඳේ ගුලිවෙනකොට කෝපි හදලා පොවන,ෆිල්ම් බල බල ඉද්දී නින්ද ගියාම උස්සාගෙන ගිහින් ඇඳෙන් තියන,ආදරෙන් තුරුළු කරගත්තට ලකුණු අඩු දවසට ටොක්කක් අනින තාත්තා ගැන ඒ වගේ කතා ඇහෙනවකොට භාවනාට එන්නේ කේන්තියක්.

“මේ සේරම තාත්තා මට වඩා බාල නිසා..”

අම්මා ඒ කතාව කිව්වේ මේ ඊයේ පෙරේදා.

“ආදරේට වයසේ බාධාවක් තියනවද අම්මේ? තාත්තා අම්මාට වඩා අවුරුදු අටක් බාල වුණාට ආදරේ බාල කරේ නෑනෙ”

භාවනා එදා කිව්වේ පණ්ඩිත හඬකින්.

“හැමෝම හිතන්නේ තාත්තා තව ටික කාලෙකින් මාව දාලා යයි කියලා..”

අම්මා එහෙම කියන්නේ සන්සුන් හඬකින්.ඔෆිස් එකට ගියත් අම්මා කෑවද කියලා හොයලා බලන,මල්ලිත් භාවනාත් අම්මාගේ හිත රිද්දනකොට අක්කාටත් මල්ලිටත් සැර දාන, අම්මාගේ උපන්දිනය මහ ඉහළින් සමරන තාත්තා ඊළඟ ආත්මෙදි අර නරක නපුරු තාත්තාට කලින් අම්මා ළඟට එනවානම් භාවනාට ඒ හොඳටම ඇති.

“මේවට කලකිරෙන්න එපා භාවනා.මිනිස්සු ලස්සනට ජීවත් වෙනකොට කුණු කතා කියලා සතුටු වෙන මිනිස්සු කොහෙත් ඉන්නව.තාත්‍තායි ඔයායි මේවට අප්සට් නොවී ඉන්න..”

යුවනිගේ කටහඬින් භාවනා වර්තමානයට ආවා.

තමන්ගෙ ලෙයින් ඉපදුණු දියණිය දූෂණය කරන තාත්තලා ඉන්න ලෝකයක ජීවත් වෙන මිනිස්සු බැඳීම් ගැන බලන්නේ සැකයෙන් කියලා භාවනා දන්නවා.
ඒත් ආදරය අහිමි කාන්තරයක ජීවත් වුණු අම්මාටත් භාවනාටත් අලුත් ජීවිතයක් අරන් ආව තාත්තා කවදාවත් බාප්පා කෙනෙක් නොවුණු බව දන්නේ භාවනා.

“මිනිස්සු කියනව වගේ මට ආදරේ වෙන්න තාත්තාට අම්මා මැරෙනකන් ඉන්න ඕන නෑ.එයා කොහොමත් මට ආදරෙයි..”

භාවනා එහෙම කිව්වේ කේන්තියෙන්.

“අර ගිම්හාන එන ක්ලාසස් වලට ඔච්චර හැඩවෙලා යන්නේ මොකද ලොකූ..මට කියන්න ඉතිං හේතුව.මං අම්මට කියන්නේ නෑ..”

එහෙම කියලා භාවනාට විහිළු කරන තාත්තා දවසක් කියපු කතාවක් භාවනා ආයෙම මතක් කළා.

“කවදාහරි දවසක ලොකූව පෝරුවට නග්ගන්න ඕනෑ කියලා මතක් වෙනකොට මට දැන්මම දුක හිතෙනවා.අපේ පොඩි කෙල්ල ලොකු වුණු ඉක්මනක්..”

කවදාහරි දවසක මේ තාත්තාගේ අත අල්ලාගෙන පෝරුවට නගින්න භාවනාට තියෙන්නේ ආදරණීය ආසාවක්.අම්මාගේ කොණ්ඩෙන් අල්ලාගෙන තඩි බාමින් ලෝකේ තියන නරකම කතා අම්මාට කියපු තාත්තා අහිමි වෙලා මේ තාත්තාගේ දූ වීම භාවනාට ලැජ්ජාවක් නෙවෙයි.මහා ආඩම්බරයක්.

ආදරේ ඉපදෙන්නේ ලේ බැම්මෙන් නෙවෙයි.හදවතින්.තාත්තාගේ හදවතේ ඉපදුණු දුව වෙන්න ලැබීම ගැන භාවනාට සතුටුයි.ඒ තාත්තා ඉලක්කමක් ආදරයට බාධාවක් කර නොගත් උතුම් මනුස්සයෙක් වීමත් මිය යමින් තිබුණු මල් ගහක් සහ මල් පොහොට්ටුවකට ජීවය දුන්නු වැහි පොදක් වීමත් අපහාස කරන්න කාරණා නෙවෙයි, ආදරේ ගැන තේරුම් ගන්න කාරණා!!

මඩ අමතක කරපු භාවනා හිතුවේ හොඳ හුස්මක් ගන්න ගමන්.

More Stories

Don't Miss


Latest Articles