සැබෑ ප්‍රේමයේ සවියෙන් සිහින අත් නොහැර ජීවිතය ජයගත් ඇය.

“දිලිනි මධුවන්ති” පසුගිය දින දෙක තුනක කාලයේදී සමාජ මාධ්‍ය ජාලාවල ඉතා සීග්‍රයෙන් ජනප්‍රිය වුණා.ඒ ඇගේ ධෛර්යමත් කතාව නිසා.ඉතා අසීරු මොහොතක පවා අධ්‍යාපනය අතනොහැර තම සිහිනය ජය ගත් ඇය සමඟ කතාබහක යෙදෙන්නට SmartLady අපි හිතුවා.ඒ ඇගේ කතාව ඔබේ ජීවිතයට ධෛර්යයක් එක් කරන්නට ඉඩ ඇති නිසා.

දිලිනි,මුලින්ම අපි පවුලේ විස්තර සහ ඔබ අධ්‍යාපනය ලැබූ පාසල් ගැන කතා කරමු.

මගේ පවුලේ ඉන්නේ අම්මා,තාත්තා,මම,අක්කා සහ මල්ලි තමයි හිටියේ.මම පාසල් ගියේ කිතලගම බටහිර මහා විද්‍යාලයටත් නිමල මාතා සිංහල මහා විද්‍යාලයට.

ඔබට ළාබාල වියේදීම ඔබේ ආදරය මුණ ගැසී තිබෙනවා. ආදරවන්තයෙක් ලෙස ඔහුව මුලින්ම හමු වුණේ කොහොමද?

මට ඔහුව මුලින්ම මුණ ගැහෙනකොට මම නව යෞවනය පසු කරමින් හුන් දැරියක්.දුර ඥාතියෙක් වීම නිසා තමයි මට ඔහුව මුණ ගැහුණේ.ඒ මුණ ගැසුණු කාලයේ අපි අතරේ ලොකු යාළුකමක් වත් කිසිසේත්ම ආදරයක් වත් තිබුණේ නැහැ.නමුත් කියන්නට නොතේරෙන හැඟීමක් මට ඔහු පිළිබඳව තිබුණා.ඒ නිසාම මගෙන් ආදරය විමසූ කිසිම තරුණයකුට මම කැමැත්ත දුන්නේ නැහැ.එහෙත් ඔහු මට ආදරේද කියන එකවත් මම දැනගෙන හිටියේ නැහැ.නමුත් කාලය අපිව එතැනට ගෙන ගියා.මම අවුරුදු දාසයේදී තමයි ඔහු සමඟ ආදර සම්බන්ධතාවයක් පටන් ගත්තේ.අපි අතර අවුරුදු හතක වයස් පරතරයක් තිබෙනවා.

ළාබාල වයසකදී ම හදිසියේ විවාහ වෙන්න හිතුණේ ඇයි?

අපි ඒ කාලයේ පවුලක් ලෙස යම් යම් පෞද්ගලික ගැටලු කීපයක් අත් වින්දා.එය මට මහත් පීඩනයක් ද වුණා.ඒත් එය විවාහයකට යන්න තරම් බලපෑමකුත් නෙවෙයි.මට හිතෙන විදිහට ඒ නොතේරුම් වයස නිසා ගත් තීරණයක්.අපි විවාහ වෙමුද කියලා ඔහු මගෙන් ඇහුවාම මම එයට කැමති වුණා.එය ඇත්තටම පටු විදියට හිතන ළාබාල වයස නිසා ගත් තීරණයක්.ඒ වෙද්දී මට වයස දාහතහමාරයි.උසස් පෙළ හදාරමින් තමයි මම හිටියේ.

එතැනින් පසු විවාහ ජීවිතය කොහොමද ඔබට දැනුණේ?

අවුරුදු 18 වෙනතුරු විවාහයකට යන්න බැරි නිසා මට අවුරුද්දක් විතර අනුරාධපුර පිහිටි සැමියාගේ මහ ගෙදර ජීවත් වෙන්න වුණා.අවුරුදු දහනවයේදී මම දුවෙකුගේ අම්මා කෙනෙකු වුණා.

විවාහ වුණත් ඉගෙනීම අත් නොහරින්න දිලිනි හිතුවේ ඇයි?

මම සාමාන්‍ය පෙළ සඳහා අධ්‍යාපනය ලැබුවේ ඉතාම දුක් මහන්සියෙන්.කුඩා නිවසක විදුලි බලයවත් නැතුව ජීවත්වෙන්න මට සිදු වෙලා තිබුණා.ඒ නිසා මමත් මගේ මිතුරියත් පල්ලියට ගිහින් තමයි පාඩම් කළේ.අමතර පන්තියකටවත් සහභාගී නොවී උසස් ලෙස මම සාමාන්‍ය පෙළ සමත් වුණා.මට ඒ සාමාර්ථ පහක් සහ බී සාමාර්ථ තුනක් ප්‍රතිඵල ලෙස ලැබුණා.ඉංග්‍රීසි විෂය නම් සමත් වෙන්න හැකි වුණේ නෑ.පාසල් කාලයේ ඉතාම දක්ෂ ශිෂ්‍යාවක් වුණු නිසා අධ්‍යාපනය මගහැරීම ගැන විවාහ උනාට පස්සේ මට තිබුණෙ හරිම දුකක්.ඒ නිසා මම විවාහ වූ අලුතම උසස්පෙළ කරන්න සූදානම් වුණත් සමාජීය බලපෑම සහ සමහර පෞද්ගලික කාරණා නිසා මට එය කරගන්නට නොහැකි වුණා.ඒ අතර මම අම්මා කෙනෙක් වුණා.මගේ අම්මා හරියටම තේරුම් යන්න මට පටන් ගත්තේ අන්න ඒ මොහොතේ.පවුලක් ලෙස අපට විඳින්නට වූ විවිධ බාධක දරාගෙන අපේ අම්මා මට ඉතාම හොඳින් ම උගන්වන දැඩි වෙහෙසක් දැරුවා.මම හදිසියේම විවාහ වෙයි කියලා අම්මා කිසිසේත්ම හිතුවේ නෑ.මම ඇගේ සිහින බොඳ කළ වග මට හිතුණේ මගේ දූගේ මුහුණ දැක්කාම.අම්මාට මම දුන් ගින්දර මට දැනෙන්න ගත්තෙ මගේ දුවගේ මුහුණ දුටු මුල්ම මොහොතේ පටන්.දුව ලැබිලා ගෙදර ඇවිල්ලා දින තුනකට පස්සෙ මම දුවට ලියුමක් ලිව්වා.මම ඒ ලියුමේ ලිව්වේ “මට ආයෙ මේ ආත්මයේ ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ.ආයේ ඒ වාසනාව ලැබුණොත් ලැබෙන ලබන ආත්මයේ.පාසල් කාලයේ බොහොම දක්ෂ ළමයෙක් වෙලත් ප්‍රේම සම්බන්ධයක් නිසා මගේ ජීවිතය වෙනස් වුණා.ගොඩක් දුර යන්න තිබුන ගමනක් මග නතර වුණා.මම කළ දේ මගේ දූ කරන්න එපා.ඉගෙන ගන්න කාලයේ ආදරේ කරන්න එපා.”කියලා මම ඒ ලිපියේ ලිව්වා.

නැවත අධ්‍යාපනයට යොමු වන්නේ මොන විදියට ද?

දූට අවුරුදු දෙකහමාර වෙනකොට මම ආයෙමත් ඒ ගැන සැමියා එක්ක කතා කළා.මට උසස් පෙළ කරන්නට උවමනා විශ්වවිද්‍යාල වරම් ලබා ගන්නට තරම් නොවන බවත් මට අවශ්‍ය වන්නේ කෙසේ හෝ උසස්පෙළට සහභාගී වීමට බවත් මම ඔහුට පැහැදිලි කරා.ඒ වෙද්දී අපි අපේ නිවසක් හදාගෙන හිටියේ.යෝජනාවට එකඟ වෙලා සැමියා මට උසස් පෙළට අවශ්‍ය පොත පත ගෙනත් දුන්නා.නමුත් පොත පත පරිශීලනය කරමින් පමණක්ම ඉගෙනීම කරන්න අපහසු බව අපි දෙන්නටම වැටහෙන්න පටන් ගත්තා.මම සැමියාගේ අම්මා ළඟ දූ නතර කරලා අමතර පන්ති යන්නට පටන් ගත්තේ ඒ නිසා.සිංහල,බෞද්ධ ශිෂ්ඨාචාරය සහ දේශපාලන විද්‍යාව යන විෂයන්වලින් මම උසස්පෙළ හදාරන්න පටන් ගත්තා.

ඒ කාලයේ ඔබට ආ බාධක මොනවද?

ගමේ අය මගේ මේ ව්‍යායාමය දැක්කේ බොහොම විකාරයක් විදියට.ඒ කරන්නේ මොනවද කියලා ඔවුන් මගෙන් විතරක් නෙමෙයි මගේ පවුලේ අයගෙන් පවා අහන්න පටන් ගත්තා.නමුත් අපි ඒ සියල්ලම දරා ගත්තා.මගේ සැමියාගේ නංගිට දරුවෙක් ලැබෙන්න ආවේ ඒ කාලයේදී.ඇගේ ගර්භනී සෞඛ්‍ය තත්ත්වය මත නැන්දම්මාට ඇය වෙත ගොස්  ඇයට උදව් කිරීම අත්‍යවශ්‍ය වුණා.ඒ සඳහා විකල්පයක් තිබුණේත් නැහැ.ඒ නිසා අපි තීරණය කළා මගේ ගමට යන්න

ඒ තීරණය හොඳ තීරණයක් වුණාද?

ඇත්තටම ඔව්.මගෙ අම්මා මට උදව් කළා.ඇය මගේ දුව ඉතාම හොඳින් බලාගත්තා.මට දුව සම්බන්ධයෙන් කරන්නට කිසිම දෙයක් නොතිබුණු තරම්.මට තිබුණේ පන්ති ගිහින් පාඩම් කරන්න. අම්මා ගෙදර හැමදේම සහ දූගේ වැඩ සියල්ලක්ම බලා ගත්තා.

ඔබේ දියණියට මේ තත්ත්වය තේරුම් ගියාද?

ඇය එතකොට පුංචි දැරියක්.මම නැතුව දවසම ගත කරන ඇය මම අමතර පන්ති ගොස් නිවසට පැමිණි පසු එක දිගට මව්කිරි බොනවා.සමහර වෙලාවට මට කලන්තය එනතරම්.මම රාත්‍රියේ  පාඩම් කරනකොට ඇය ඉතාම සංවේදි දෙයක් කරන්න පටන් ගත්තා.මා අසලින් පැනල් රෙද්දක් බිම එලාගෙන ඇය නිදා ගන්නවා.ඒ ඇයට මම නැතිව නින්ද නොයන නිසා.ඒ නිසා මම තීරණය කළා දුවත් සමඟ රෑ හතට විතර නිදාගන්න.ඇය හොඳ නින්දකට වැටුණු පසු රාත්‍රී 10 පමණ සිට පාන්දර වනතුරු මම පාඩම් කටයුතු කරනවා.ඉන්පසු පාන්දරට පන්ති යනවා.ඒ දවස්වල මගේ දුව කරපු සෙල්ලම තමයි “අම්මා පන්ති යන සෙල්ලම”.බෝනික්කව මගේ අම්මා අතට දීලා ඇය පන්ති යනවා කියලා එහෙමෙහෙ දුවන්නේ මාව අනුකරණය කරමින්.මම විභාගය ලියනකොට ඇයට වයස අවුරුදු තුනහමාරක්

විශාල කැපකිරීම් මත කොහොමද ඔබේ ජයග්‍රහණය ලබාගන්නේ?

මම විභාගය ලියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්.ඒ සාමාර්ථ තුනක් සහිතව දිස්ත්‍රික් කුසලතාවය දහ හතර ලෙස මම විභාගය සමත් වෙනවා.මට නීති පීඨයට ඇතුළු වීමට සුදුසුකම් තිබුණත් සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයේ ප්‍රතිඵල සම්බන්ධ ගැටළුවක් නිසා කොළඹ කලා පීඨයට ඇතුළු වන්නට සිදු වෙනවා.ඒ මගේ සැමියාත් මමත් ලැබූ ලොකුම ජයග්‍රහණයයි.

විශ්ව විද්‍යාලයට පැමිණීමේ අභියෝගය කොහොමද?

ඒ කාලයේ මගේ සැමියා පාදුක්ක යුද හමුදා කඳවුරේ තමයි සේවය කරන්නේ.මම කොළඹ විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබූ නිසා හෝමාගම ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගන්නට අපි තීරණය කරනවා.මගේ අම්මා අසනීපයෙන් සිටින මගේ සීයා සමඟ කාර්යබහුල වී සිටි නිසා මගේ ආච්චි අපේ උදව්වට පැමිණෙනවා.ඒ වයස හැත්තෑවක්ව තිබියදී.ශාරීරික ආබාධ තිබුණත් මනසින් ශක්තිමත් මගේ ආච්චි අපිට උදව් කරන්නේ හරිම කැමැත්තෙන්.

ඔබ සම්බන්ධයෙන් ඔබේ සරසවි සගයන් දක්වන්නේ කොහොම ප්‍රතිචාරයක්ද?

මුල්ම කාලයේ මම මගේ පෞද්ගලික තොරතුරු කිසිවක් ම ඔවුන්ට කියන්නේ නැහැ.මගේ ගමේ අය කිහිප දෙනෙක් මා සමඟ අධ්‍යාපනය ලැබුවත්  ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේත් මා ගැන කිසිවක්ම නොකියන්න කියලා.නමුත් කාලයත් සමඟ මට මගේ මිතුරන්ගේ සිතුම් පැතුම් අවබෝධ වෙනවා.පළමුවැනි වසර අවසානයේ පැවැති පැදුරු පාටියකට මම මගේ දුව එක්ක යන්නේ ඒ නිසා.මම දරුවෙක් සිටින අම්මා කෙනෙක් බවත් මෙතෙක් කල් දිලිනි,මචං,සහ අන්වර්ථ නාමවලින් මා හැඳින්වූ නමුත් මම ඔවුන්ට වඩා වසර කිහිපයක් වැඩිමහලු අක්කා කෙනෙක් බවත් ඔවුන් දැනගන්නේ ඉන්පසුවයි.නමුත් එය මට විශාල ආදරයක් ලැබෙන්නට හේතුවක් වුණා.ජේෂ්ඨ සහෝදර සහෝදරියන් පවා මට ආදරයෙන් සලකන්නට පටන් ගත්තා.මගේ දූ පාසල් යන්නට පටන් ගත් විට මම හිඳින්නේ සරසවියේ නම් මම ඇයව එතැනින් බස්සා ගන්නවා.ඉන්පසු ඇය හැදී වැඩෙන්නේ මගේ මිතුරු මිතුරියන් සමඟ.අපට දේශන ඇති වෙලාවට ආදරෙන් රැක බලා ගන්නට මගේ ජේෂ්ඨ සහෝදර සහෝදරියන් කටයුතු කළා.කොළඹ සරසවියේ පුරා අපි තරම්ම හොඳින් එහෙ මෙහෙ යන්නට මගේ දුව දන්නවා.ඇය ඒ තරමට සරසවියට පුරුදුකාරියක්.

සැමියා ඔබේ සරසවි ජීවිතය දරා ගත්තේ කොහොමද?

ඔහු කිසිවකට මට බලපෑම් කළේ නැහැ.නමුත් ඔහුගේ හිත රිදවන්නට නම් බාහිර පාර්ශව බොහෝ කටයුතු කළා.මම වෙනස් විය හැකි බව ඔවුන් ඔහුට කිව්වා.ඒත් මගේ ආදරණීය සැමියා මාව විශ්වාස කළා.මට වෙනත් සහකාරයෙකු සොයාගන්නට හැකි වුණත් ඔහු තරම් ආදරණීය මිනිසෙකු සොයා ගන්නට නොහැකි නිසා පරාද වන්නේ මා බව මමත් ඔහුට නිතරම පැවසුවා.ඒ නිසා කිසිදු ගැටලුවක් වුණේ නැහැ.දැන් මම උපාධිධාරිනියක්.පසුගියදා මගේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වුණා.

දැන් ඔබේ අනාගත බලාපොරොත්තු කොහොමද?

මම මේ වෙද්දි විවෘත විශ්වවිද්‍යාලය හරහා නීති උපාධිය හදාරමින් සිටිනවා.මම දැන් එහි තෙවැනි වසරේ සිසුවියක්.මේ සඳහා විශාල මුදලක් වැය වුණත් මගේ සැමියා ඒ සම්බන්ධයෙන් ද කිසිම පැමිණිල්ලකින් තොරව කටයුතු කරනවා.අධ්‍යාපනය කරන අතරතුර රැකියාවකට ද යොමු වී මගේ දියණිය සහ සැමියා සමඟ සතුටින් ජීවත් වීම මගේ බලාපොරොත්තුවයි.මගේ නීති උපාධිය අවසන් වූ පසු මාතර පදිංචියට යන්නට අපි තීරණය කර අවසන්.මම හිතන්නේ අනුරාධපුර පරිසරයට වඩා ඒ පරිසරය අපේ වාසයට ගැළපෙනවා.

දිලිනි,ඔබට ඔබේ කතාවෙන් තරුණ පරපුරට දිය හැකි පණිවිඩය මොකක්ද?

තරුණ ළමයින් සම්බන්ධයෙන් සමාජයේ මොනවගේ කතාබහක් ඇති වුණත් මට නම් අපේ පරම්පරාව සහ පසු පරම්පරාව ගැන ධනාත්මක අදහසක් තියෙන්නේ.තරුණ අය කියන්නේ හොඳ අදහස් සහිත අය.මට ඔබ හැම කෙනෙකුටම කියන්න තියෙන්නේ මගේ කතාව ළමා විවාහ ප්‍රමෝට් කරන කතාවක් නෙවෙයි.මමත් දියණියකගේ අම්මා කෙනෙක්.අඩු වයස් විවාහය සුදුසු නැති බව දැන් මම හොඳින්ම දන්නවා.වසර දහ අටේදීවත් විවාහ වෙන්න උත්සාහ කරන්න එපා.හොඳින් ඉගෙන ගන්න.තරුණ ජීවිතයේ සතුට විඳින්න.විවාහයක් කියන්නේ බොහොම සුන්දරම අත්දැකීමකුත් නෙමෙයි.ඒ තුළ කළ යුතු බොහෝ වගකීම් තිබෙනවා.ඉතා කටුක කාල හමු වෙනවා.මොනම හේතුවක් මත වුණත් බිරිඳක් සහ අම්මා කෙනෙක් කියන වගකීම් අපිට පැහැර හරින්න බෑ.ඒ නිසා ළමා හෝ නව යොවුන් වයසේදී ඒ වගකීම් පවරා ගන්නට එපා.ඒ තමයි මම ඔබෙන් ඉල්ලන ප්‍රධානම දේ.නමුත් කිසියම් හේතුවකට මට වගේ කතාවක් ඔබටත් උරුම වුනොත් අධ්‍යාපනය කිසිසේත්ම අතහැර දමන්න එපා.ජීවිතය දිනා ගන්නට ඇති හොඳම මාවත අධ්‍යාපනයයි.

දිලිනි,ඔබ සැබැවින්ම ස්මාර්ට් කාන්තාවක්.ජීවිත අභියෝගයන්ට හිස කෙළින් තබාගෙන මුහුණ දුන් ඔබට හැම සිහිනයක්ම වෙත ඔබේ පුංචි පවුල සමඟ ඇවිද යන්නට SmartLady අපි ආදරයෙන් සුබ පතනවා 

Related Articles

Don't Miss


Latest Articles