මනුස්සකම ඇතිව ජීවත් වෙන්න.

කවින්දි ඇවිදගෙන ආවේ මහා වේදනාවකින්.බොහෝ දවසක් නිවාඩු අරගෙන නෑවිත්ම බැරිකමට පාසලට ආව කවින්දිට පාසැලේ ඉගැන්වීම් කටයුතු කරන්න නිකමටවත් හිත හදා ගන්න අමාරු වුණා.පහුගිය දවස් ගත වුණේම පන්සල් වල, දේවාලවල.සමහර නොපිළිගත යුතු මත පවා හඹා යන්න හිතෙන හේතුව ගැන ප්‍රශ්න කරන්න කවින්දිටවත් ඇගේ සහෝදරයාටවත් හිතක් තිබුණේ නැහැ.

මේ කළ හැකි හැම දෙයක්ම කරන වෙලාව.

“දැන් ටිකක් හිත හදාගෙන ජොබ් එකට ගියොත් හොඳයි නේද කවි?”

ඊයෙ නාරද එහෙම ඇහුවේ කෙළවරක් නැතුව වැලපෙන විදිය දරාගන්න දරා ගන්න අමාරු නිසා.ඒත් දුවෙකුට අම්මා තරම් කෙනෙක් නැති බව නාරද දන්නවා.ඒ නිසාම ඔහුට බිරිඳගෙ වේදනාව දිහා බලාගෙන ඉන්න සැබෑවටම අසීරුයි.නමුත් වෛද්‍යවරුන්ටත් නොපෙනෙන දෙවියන්ටත් කවින්දිගේ අම්මාගේ ජීවිතය පැවරීම මිසක කළ හැකි කිසිවක් ම නැති බව නාරද තේරුම් අරගෙන හිටියා.

“ඔයා ඉස්කෝලෙ යන්න.දරුවොත් එක්ක ඉන්න එකත් හිතට හොඳ වෙයි.”

දවස් ගාණක් තිස්සේ හඬමින් රෝහල් දැඩි සත්කාර ඒකකයේ දොර ලඟ බලාගෙන ඉන්න කවින්දිට නාරද එහෙම කිව්වේ ආදරයෙන්.අවසානයේදී කවින්දි පාසලට එන්න තීරණය කළේ ඇගෙන් ඉගෙන ගන්න දරුවන්ටත් පිටුපාන්න නොහැකි බව සිතමින්.අම්මා වුණත් ඒකට කැමති වෙන එකක් නෑ.

පාසලේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටම කවින්දිට හිත හදාගන්න අසීරු වුණා.මේ අම්මා අවුරුදු පහළොවකටත් වඩා විදුහල්පතිනිය වී සිටි පාසල.මේ හැම බිත්තියක ම හැම වැලි කැටයක ම ඇගේ මහන්සිය තැවරිලා තියෙනවා කියලා හිතෙද්දි දෑසට ඉනූ කඳුළු  කවින්දි සාරි පොටින් පිහදා ගත්තා.

“කොහොමද කවින්දි.ඔයාට කෝල් කරන එක ඩිස්ටර්බ් වෙයි කියලා හිතුණ නිසාම මම නාරද ගෙ නම්බර් එක හොයාගෙන එයාට කතා කළා.කවිඳුටත් කතා කළා.දැන් අපේ සමරකෝන් මැඩම්ට සෑහෙන්න සනීපයි ලු නේද?

පාසලේ විද්‍යාව ගුරුතුමියක් වුණු චාරුනී කවින්දිගෙන් එහෙම ඇහුවේ ආදරයෙන්.ආරංචි වුණු විදිහට සමරකෝන් මහත්මියගේ තත්ත්වය එතරම් සුබදායක නැති බව චාරුනී හොඳින්ම දන්නවා.වෛද්‍ය විද්‍යාව ගැන දන්නා දෙයක් නැති වුණත් දන්නා විද්‍යාවට අනුව සමරකෝන් මහත්මියට ඇතිවී ඇති හෘදයාබාධය දරුණු මට්ටමේ එකක් බව චාරුනී ට වැටහෙනවා.නමුත් ඒ සත්‍ය යළි යළිත් සිහිපත් කළ යුතු නැති බව හිතමින් චාරුනී සමඟ ගුරු විවේකාගාරය වෙත ඇවිදගෙන ගියා.

“අම්මට අමාරුයිලු නේද කාවින්දි ටීච?”

පළමුවැනි බෝම්බය පුපුරා ගියේ ඒ විදියට.කාවින්දි හිස ඔසවා ඒ බෝම්බය දමා ගැසූ ගුරුවරිය වුණු රමණි දිහා බැලුවේ වේදනාවෙන්.නමුත් ඇය දිගින් දිගටම කතා කරමින් සිටියා.

“ඔය තත්ත්වෙට පපුවේ අමාරුවක් ඇවිල්ලා දිගටම  ICU ඉන්න උනාම ජීවිතය ගැන විශ්වාස කරන්න බෑ.මටනම් හිතෙන්නේ අඩුම තරමේ සමරකෝන් මැඩම්ට අංශභාගෙ හරි හැදෙයි.ඒ නැතුව වෙනදා වගේ නම් අම්මට ඉන්න ලැබෙන්නේ නෑ.”

daughter sitting near senior mother in bed and holding hands in hospital

අපි හැමදේම ගැන දැනගෙන ඉන්න පුළුවන්.ඒත් ඒව සංවේදීම මුදාහැරීම බොහොම නරක නපුරු වැඩක් කියලා කවින්දිට හිතුණා.කොහොමටත් මේ රමණි මිස් කියන කතාව සැබෑවක් වෙන්න පුළුවන්.නමුත් ඒ සත්‍යය තේරුම් ගන්න කවින්දිගේ හදවත සූදානම් නැහැ.

“මොනවද අනේ ඔය කියන්නෙ මිස්? ආරංචි විදියට මැඩම්ට දැන් සෑහෙන්න ගුණයි.ඔහොම කරදරයක් වෙයි කියලා මට හිතෙන්නෙ නෑ.” 

කතාවට සම්බන්ධ වෙමින් තවත් ගුරුවරයෙක් වුණු රසික එහෙම කියනකොට හෘදයාබාධ වල භයානකකම කියන්න රමණි වචන රාශියක් ම වැය කරමින් සිටියා.මේ හැම වචනයක්ම කවින්දිගේ හිත තුළ තුවාල සිය දහසක් ඇති කරන බව චාරුනී හිතුවේ වේදනාවෙන්.

“දිගින් දිගටම බෝධිපූජා කරනවනෙ.මට දවසක් ගලේ දේවාලෙ ළඟදි ඔයාගේ අයියාගේ වයිෆ් මුණ ගැහුණා.මේ වගේ වෙලාවකදි එහෙම දේවලුත් විශ්වාස විශ්වාස කරන්න වෙනවා කවී.අනිත් එක අපේ අසංකගෙ අම්මල කියන විදියට ඔය දේවාලේ හරි හාස්කම් කියන තැනක්.කොහොමටත් මේ ඉස්කෝලෙට මැඩම් කරපු දේවල් එක්ක එයා දිහා දෙවියෝ නොබලා ඉඳියි කියලාා ඉඳියි කියලා මම නම් හිතන්නේ නෑ.”

ඉක්මනින් පන්ති කාමරයට යන්න හිතාගෙන අසුනින් නැගිටින ගමන් හයේ පන්තියේ පන්ති භාර තරුණ ගුරුතුමී වුණු භාග්‍යා කවින්දිට කිව්වේ ආදරයෙන්.භාග්‍යාගේ අම්මා පිළිකාවකින් ජීවිතය අත් හරින විට භාග්‍යාට වයස එකොළහක් වත් නැති තරම්.අම්මා කෙනෙක් නැති ජීවිතය මොන තරම් අසීරු එකක් ද කියලා භාග්‍යා හොඳින් දන්නවා.කවින්දි දැන් තරුණ ගැහැනියක් වුණත් විවාහක කාන්තාවක් වුණත් ඇගේ ජීවිතයට  අම්මගේ ආදරය අවශ්‍යම තැන් ඉදිරියටත් එළඹෙන්නට නියමිත බව භාග්‍යා දන්නවා.තමන්ට දැනෙන අසරණකම ඇයට නොදැනේවා කියලා හිතන ගමන් කියන්න භාග්‍යාට හිතුණේ ඒ නිසා.

“සමරකෝන් මැඩම් ඉස්සර පුදුම නපුරුයිලු.පොඩි ප්‍රේම සම්බන්ධයක් තිබ්බ ගෑනු ලමයෙක්ව ඒ කාලේ ඉස්කෝලෙන් අස් කරලා තිබුණා.අපේ ගෙවල් ළඟ තමයි දැන් එයා ඉන්නේ.තාමත් සමරකෝන් මැඩම් එක්ක පුදුම තරහයි.ආරංචිය අහලා එයා නං කිව්වේ ඔහොම වෙලා මදි ය කියලා”

වචන වලට කිසිම සීමාවක් නැතුව රමනි එහෙම කියවාගෙන යනකොට කවින්දිට දැනුණේ අපහසුවක්.පාසල පාලනය කිරීම සම්බන්ධයෙන් අම්මට හොඳ වගේම නරක ප්‍රතිචාරත් ලැබුණු බව ඇය දන්නවා.ඒත් මේ වෙලාවේ අම්මාගේ නරක සිහිකරමින් මෙරට ලැබිය යුතු දෙයක් කියන කතාව පැවසීම මොනතරම් නරකද කියලා කවින්දි හිතුවා.ඇයට තවදුරටත් ගුරු විවේකාගාරයේ රැඳී ඉන්න අපහසු බව දැනෙන්නට වුණා 

“එහෙම තමයි අපි වුණත් දරුවන්ට හොඳම හොඳ ගුරුවරු නෙමෙයි.එයාලා අපට පුදුම ආදරේ කියල අපි හිතාගෙන හිටියට දරුවන්ට අපිත් එක්කත් තරහ හිතේ ඇති.සමහරවිට රමණි මිස්ලගෙ අල්ලපු ගෙදර නංගි වගේ ඒගොල්ලොත් ඔය කේන්ති සෑහෙන කාලයක් මතක තියා ගනීවි.”

තත්ත්ව පාලනය කරන්න රසික එහෙම කිව්වත් කවින්දි හිටියේ බොහොම බිඳීමට ලක් වෙලා.අම්මගේ ජීවිතය ගැන හොඳටම බියපත්වෙලා ඉන්න මොහොතක ඇයට සාප කරන අයත් ඉන්නවා කියල දැනගන්න ලැබීම කවින්දිට ගෙනාවේ මහත් අපහසුවක්.ඇය වහාම ගුරු විවේකාගාරයෙන් පිටතට ඇවිදගෙන ගියා.

“මම කිව්වේ ඇත්ත.මිනිස්සු හොඳයි හොඳයි කිව්වට සමරකෝන් මැඩම්ගේ මහ ජරා වැඩත් තියනවා.ඉස්කෝලේ එක එක වැඩ වලට ටෙන්ඩර් වලින් ගසා කාපුවා පවා තියනවලු.අනිත් එක පුදුම බලයක් මේ පළාතේ පතුරවාගෙන හිටියේ.වෙන මුකුත් ඕනේ නෑ කවින්දි දුෂ්කර පත්වීමක් වත් ලැබුවෙ නෑනෙ.කෙලින්ම ආවේ මේ ඉස්කෝලෙට.තියෙන බලය ඒකෙන්ම පේනවනේ.”

රමනි බොහෝ දේවල් කියන්නට පටන් ගත්තා.සමහර වෙලාවට තව ටික වෙලාවකින් ඒ කතාවට පෝර වතුර වැටෙන්නට ඉඩ තියෙන බව චාරුනීට හිතුණා.

“කියන තරමට ඇත්තටම සමරකෝන් මැඩම් හොඳ නැති වෙන්න පුළුවන්.නැත්තං අපි දන්නවාටත් වඩා ගොඩක් හොඳ කෙනෙක් වෙන්නත් පුළුවන්.මොනවා කොහොම වුණත් එයා මේ වෙලාවේ ඉන්නේ ජීවිතයත් එක්ක සටන් කර කර.අම්මා මොන වෙලාවේ තමන්ට අහිමි වෙයිද කියලා බයෙන්  කවින්දි ඉන්නේ හොඳටම මානසිකව වැටිල.අපි මේ වෙලාවේ කරන්න ඕනේ කවින්දිට උඩ පැන පැන තලන එක නෙමෙයි.මිනිසුන්ට මොනවා නැතත් සහකම්පනයක් තියෙන්න ඕන.අපි අනිත් දේවල් මොනවා කරන්නත් කලින් ඉස්සෙල්ලම මිනිස්සු වෙලා ඉන්න ඕන.”

තමන්ට වඩා වයසින් සෑහෙන්න වැඩිමහලු රමණි මිස්ට එහෙම කියපු චාරුනී පොත්පත් අරගෙන පන්තියට යන්න පිටත් වුණා.තමන් කියපු දේවල් රමනි මිස් පිළිනොගන්න ඉඩ වැඩි බව චාරුනී දන්නවා.

“අපි මොන තැනක කොහොම හිටියත් ඉස්සරලම මනුස්සයෙක් වෙන්න ඕනෑ.සහකම්පනය නැති සමාජයක ජීවත් වෙන එක ඇත්තටම අමාරු දෙයක්”

චාරුනී කොරිඩෝවේ ඇවිදගෙන ගියේ එහෙම හිතමින්.

More Stories

Don't Miss



Latest Articles