කාපට් මත දිය වී ගිය ළමා විය – ඉක්බාල් මාසිහ්

මේ ලෝකෙ ඉන්න ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන්නෙ “මට මගේ දරුවව ලෝකයක් තරම් වටිනවා” කියලා.
හැබැයි කවදාවත් දරුවෙක්ට මොන තරම් ආදරය කරන අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට වුණත් දරුවෙක්ගෙ ජීවිතයට සල්ලිවලින් වටිනකමක් දෙන්න බැහැ.
දෙමව්පියන්ට විතරක් නෙවෙයි කිසිම වැඩිහිටියෙක්ට අයිතියක් හෝ අවසරයක් නෑ කිසිම දරුවෙකුගෙ ජීවිතේකට සල්ලිවලින් වටිනකමක් දෙන්න.
ඒත් ඔයා දන්නවද පකිස්තානයේ ඔයාගේ මගේ දරුවා වගේම පුංචි පැටව්න්ගෙ ජීවිත සල්ලිවලට විකිණෙනවා කියල?
ඒ වගේ ළමා ශ්‍රමිකයෙක් විදියට ඇමරිකානු ඩොලර් 600කට විකිණුනු පුංචි ඉක්බාල් මාසිහ් ගේ කතාව තමයි මේ.
පුංචි ඉක්බාල්ට ඕන වුණේ “ලොකු උනාම ලෝයර් කෙනෙක්” වෙන්න.
ඒත් ඒ හීනෙ හැබෑ කරගන්න කවදාවත් “ලොකු වෙන්න” ඉක්බාල්ට ඉඩක් ලැබුණෙ නම් නෑ.
1983 ජනවාරි මාසෙ 1 වෙනිදාවක අලුත් අවුරුද්දක අලුත් බලාපොරොත්තු ඇතුව පන්ජාබයේ ලාහෝර්හි මුද්‍රිකේ කියන ගම්මානයේ දරිද්‍රතාවයෙන් පෙළෙන කතෝලික පවුලක උපත ලද පුංචි දරුවෙක් තමයි ඉක්බාල්. ඉක්බාල්ගේ පියා වන සයිෆ් මාසිෆ් වෘත්තියෙන් කම්කරුවෙක්. ඉනායත් බිබී කියන්නේ ඉක්බාල්ගෙ අම්මා. ඇය ගෘහ සේවිකාවක්.
කාපට් කම්පහලේ රැකියාවකට යන විට පුංචි ඉක්බාල්ගේ වයස අවුරුදු පහක් පමණයි.
අවුරුදු පහක දරුවෙක් කියන්නෙ අපේ රටේ සහ වෙනත් බොහෝ රටවල පෙර පාසල් යන වියේ පුංචි දරුවන්.
එහෙම පුංචි දරුවෙක්ට රැකියාවට යන්න වෙන්නේ පැන යන්න පුලුවන් කියලා හිතලා දරුවන්ගේ කකුල් වලට දම්වැල් දාලා ගැට ගහල තියෙන, කාපට් කම්හලක් කියන නමෙන් වසාගෙන හිටපු අමානුශික වදකාගාරයකට.
මේ කාපට් කම්හලේ ප්‍රධානියා වෙන්නේ ගුල්ලාහ් (Gullah).


ඉක්බාල්ගේ අම්මාගෙ අසනීපයකට, මේ ගුල්ලාහ් (Gullah) ගෙන් ලබාගන්නා ඇමරිකානු ඩොලර් 600ක ණයක් (පෙෂ්ගි) කුඩා ඉක්බාල් ගේ ජීවිතය අමානුශික වද බන්ධන වලින් හිරකරනවා.
පුංචි ඉක්බාල් අවුරුදු පහේදි “ණයක් ගෙවන සේවකයෙක්” බවට පත්වෙන්නේ ඒ විදියට.
“ගත්ත ණය ගෙවල ඉවර කරන්න පොඩි එකාව මගේ කාපට් කම්හලට එවපන්” කියන ගුල්ලාහ් (Gullah) වචන වලට ඉක්බාල්ගෙ තාත්තා ඔලුව නවනව.
“අද රෑ වෙන්න කළින් ඉවර කරන්න ඕන වැඩක් තියෙනවා. එන්න” කියල මහ රෑටත් කතා කරල නියෝග දෙන ගුල්ලාහ් (Gullah)ගේ වචන වලට යටත් වෙලා ඉක්බාල් කාපට් කම්හලේ වැඩට දිගටම යනවා.
සතියක් දෙකක්, මාසයක් නෙවෙයි අවුරුදු හයක්ම.
පොඩ්ඩක් හරි කාපට් මහන අතරවාරෙ නින්ද ගියෝතින් ඉක්බාල්ට ආයෙම නැගිටින්න වෙන්න කාපට් පාරක් කාගෙනමයි.
කොච්චර කාලයක් වැඩට ගියත් මේ ණය ගෙවල ඉවර කරන්න දවසක් එන්නෙ නැති බව පුංචි ඉක්බාල්ට කාළයත් එක්ක තේරුම් යනවා.
මේ වදකාගාරයෙන් නිදහස් වෙන්න ඉක්බාල්ට ඉඩ ලැබෙන්නේ ඒ අතර වාරයේමයි.
“උඹ වැඩ කරනවද නැද්ද කියන එක තීරණය කරන්නෙ මම කියලා” ගුල්ලාහ් (Gullah) කාපට් කම්හලේ වැඩ කරපු පොඩි දරුවෙක්ව ඔලුව පහලට තියෙන විදියට එල්ලන්නේ උණ හැදුන නිසා ඒ දරුවට වැඩ කරන්න බැරි බව කීම නිසා.
එදා තමයි “මෙතනින් අපි ගැලවිලා යා යුතුයි” කියන සිතුවිල්ල ඉක්බාල් ඇතුළු අනිත් පොඩි දරුවන්ගේ මනසට කාවදින්නේ.
මුල්ම අවස්තාවේ කම්හලෙන් පැන යන්න උත්සාහ කරත්, ගුල්ලාහ් (Gullah)ට අහුවීම නිසා ශාරීරික වද බන්ධන වලට ලක්වෙන්න මේ පුංචි දරුවන්ට සිදු වෙනවා.
හැබැයි ගැලවිලා යන්න ගත්ත තීරණේ වෙනසක් කරන්න ඒ කිසිම වද බන්ධනයකට පුළුවන් වෙන්නෙ නෑ.
ඒ විදියට ගැලවිලා ආව පුංචි ඉක්බාල් 1992 අවුරුද්දේ ඔක්තෝබර් මාසෙ උදෑසනක ඇවිත් නවතින්නෙ BLLF එහෙමත් නැතිනම් එක්සත් කම්කරු විමුක්ති පෙරමුණේ රැස්වීමක.
ණය වහල්බාවයට එරෙහි නීතිය ගැන කතාකරපු, එක්සත් කම්කරු විමුක්ති පෙරමුණේ (BLLF) නිර්මාතෘ වන මුහම්මද් එහ්සාන් උල්ලාහ් ඛාන්ට (Muhammad Ehsan Ullah Khan) අපේ කතා නායකයා වන ඉක්බාල් මාසිව හමුවන්නේ එතනදී.
මුහම්මද් එහ්සාන් උල්ලාහ් ඛාන් (Muhammad Ehsan Ullah Khan) මේ පුංචි වීරයගෙන් ඉල්ලා හිටිනවා තමන්ගේ කතාව හැමෝටම ඇහෙන්න කියන ලෙස.
මේ හැමදෙයක්ම පුංචි ඉක්බාල් ඇතුළු තවත් ළමයි දහස් ගණනක් ළමා ශ්‍රම අරගලයෙන් නිදහස් කරගන්න හේතුවක් වුණත් ගුල්ලාහ් (Gullah) කැමති වෙන්නෙ නෑ ඉක්බාල්ව කම්හලෙන් ඉවත් කරගන්න ඉඩ දෙන්න.
ඒත් මුහම්මද් එහ්සාන් උල්ලාහ් ඛාන් (Muhammad Ehsan Ullah Khan) මේ පුංචි කොලු පැටියව අමතක කරන්නේ නෑ.
එහි ප්‍රතිපලයක් විදියට ණය ළමා ශ්‍රමික බාවයෙන් කුඩා දරුවන් මුදා ගැනීම උදෙසා ආරම්භ කළ BLLF පාසල, එහෙමත් නැත්තම් “අපේම පාසලට” එක් වෙලා තමන්ට හිමි නොවුණ ඉගෙනීම අරඹන්න පුංචි ඉක්බාල් වාසනාවන්ත වෙනවා.
ඉක්බාල් ඉස්සරට තියපු අඩි පාර දිගේ තවත් දහස් ගණනක් ළමයි නිදහස සොයා ඇවිදිනවා.
ප්‍රසිද්ධ වේදිකාවල මේ වගේ දහස් ගණන් දරුවන් වෙනුවෙන් කතාකරන ඉක්බාල් තමන්ගේ හැම කතාවක්ම අවසන් කරන්නේ “We Are…” කියලා.
ඒ වචන අවසානයේ අහන් ඉන්න ණය ළමා ශ්‍රමිකබාවයෙන් ගෑළවුණු හැම පුංචි දරුවෙක්ම “Free” කියල පිළිතුරු දෙන්නෙ හදවතින්ම නිදහස් ව.


වාසනාව කියන කාසියේ අනිත් පැත්තෙම තමයි අවාසනාව ලියවිලා තියෙන්නෙත්.
ඒ කතාව ඔප්පු කරන්න වගේ තමයි තමන්ගෙ නිවස පිහිටි ලාහෝර් වලට පැමිණි ඉක්බාල්ට, “උඹ නැවත වැඩට එන්න ඕන, එතකොට අනිත් පොඩි එවුනුත් ඒවි” කියල ගුල්ලාහ් (Gullah) තර්ජනය කරන්නේ.
ඒ තර්ජන වලට බය නොවන පුංචි ඉක්බාල් එය ප්‍රතික්ෂේප කරනවා.
“ලොකු මිනිහෙක් වගේ ඔයාගේ අයියා දැන් පාරවල ඇවිදිනවා. හැබැයි අපි කවදකහරි මිනිහට හොඳ පාඩමක් උගන්වනවා” කියලත් එක වතාවක් තර්ජනය කරා කියලා ඉක්බාල් ගේ සොයුරිය සෝබියා කියනවා.
1994 ඔක්තෝබර් මාසයේදී ලෝකය පුරාම මේ පුංචි වීරයාගේ කතාව ජනප්‍රිය වෙනවා.
එහි ප්‍රතිපලයක් විදියට ස්වීඩනයේ ළමයින්ට තමන්ගෙ සහ ණය ළමා ශ්‍රමිකබාවය නිසා දුක් විඳින තවත් දහස් ගණනක් පකිස්තාන දරුවන්ගේ කතාව කියන්න ඉක්බාල්ට අවස්තාව ලැබෙනවා.
1994 දෙසැම්බර් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේදී ණය ළමා ශ්‍රමිකයෙක් ලෙස දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම වෙනුවෙන් ඔහුට රීබොක් සමාගම විසින් සම්මානයක් පිරිනමන අතර එක්සත් ජනපදයේ විශාලතම රූපවාහිනී සමාගමක ‘සතියේ පුද්ගලයා’ වෙන්නත් ඉක්බාල්ට අවස්තාව ලැබෙනවා.
ඒත් ඒ හැම අවස්තාවක් එක්කම මරණය ටික ටික තමන්ට ළං වෙන බව 1995 අප්‍රේල් 16 පාස්කු දිනය වෙනකනුත් ඉක්බාල් දැනගෙන හිටියේ නැහැ.
කාපට් මාෆියා නම් කල්ලියක් විසින් ඔහුව වෙඩි තබා මරා දමනවා. ඒ ඔහු පාස්කු ඉරිදා දින Muridke හි ඥාතීන් බැලීමට යන අතරතුරදී.
ණය ළමා ශ්‍රමික කුඩා දරුවන් දහස් ගණනකට නිදහස ලබා දෙන්න කටයුතු කළ, වයස අවුරුදු දොළහකදී වෙඩි පහර කා මිය යන්නට සිදු වුණු පුංචි වීරයාගේ මරණයට පාකිස්තානයේ මානව හිමිකම් කොමිසම සහ පොලිසියෙන් සාධාරණයක් ඉටු වන්නේ නැහැ.


ඔහුගේ අවමංගල උත්සවයට 800 ක් පමණ පිරිසක් ශෝකය ප්‍රකාශ කිරීමට පැමිණ තිබුණා.
බොහෝ අසත්‍ය පුවත් මැද පුංචි ඉක්බාල් දෙව් මව් තුරුල බලා පියඹා යනවා.
ඒත් ඉක්බාල්, එදා මෙදා තුර ලෝකයේ සියලුම දෙනා ඔබ වෙනුවෙන් හඬනගනවා.
“You Are Free”
සැබෑවටම…සදහටම…

මූලාශ්‍රය: https://worldschildrensprize.org/iqbalstory

සටහන – උදතාරී

Related Articles

Don't Miss


Latest Articles