පිළිකාව සමග සටන් වදිමින් ජීවිතේ තම සිහින වෙත පියඹා ගිය කිරිල්ලිය – Nightbride

හිසකෙස් කොටටම කැපූ කෙට්ටු කෙල්ලක් සුන්දර සිනාවකින් මුව සරසාගෙන තමන්ගේ වාරය වෙනුවෙන් පැමිණෙනවා.විනිසුරුවන් ඇගේ නම අසද්දී ඇගේ නම ජේන් බවත් වේදිකාව තුළ Nightbride යන භාවිතයට කැමති බවත් ඇය සිත්ගන්නාසුලු සිනාවකින් යුතුව විනිශ්ච මණ්ඩලයට දන්වා සිටිනවා.

සාමාන්‍යයෙන් රියැලිටි වැඩසටහන්වල ඇතැම් වීඩියෝ පට ලෝකය පුරා වේගයෙන් පැතිර යාම අතිශය සාමාන්‍ය සිද්ධියක්.පසුගිය වසරේ ජූනි මාසයේ දී American Got Talent තරගයේ සිදුවීමක් සමාජ ජාලාවල වේගයෙන් සංසරණය වන්නට පටන් ගන්නවා.

“කාත් එක්කද ආවේ?”

Nightbride

රියැලිටි වැඩසටහන් වල අතිශය සාමාන්‍ය ඒ ප්‍රශ්නයට ඇගේ පිළිතුර වන්නේ තනිව පැමිණි බවයි.රැකියාවක් නොකරන බව පවසන ජේන් එයට හේතුව ඉදිරිපත් කරනවා.ප්‍රේක්ෂකාගාරය සහ විනිසුරුවරුන් ගල් ගැසෙන්නේ එවිටයි.

“මට පිළිකාවක් තියනවා.ඒ නිසා මට රැකියාවක් කරන්න බැහැ.”

එයට විනිශ්චය මණ්ඩලය කණගාටුව පළ කරද්දී ජේන්ගේ පිළිතුර It’s Ok යන්නයි.පිළිකාව මේ වෙද්දී කොඳුඇට පෙළ,අක්මාව,පෙනහළු,වසා ග්‍රන්ථි සහ ඉළ ඇට අතර පැතිරී ඇති බවත් ඇය කියන්නේ අර සුන්දර සිනාවෙන්මයි. සියළුම කණගාටුව ප්‍රකාශ කිරීම්වලට ඒකට කමක් නැහැ ලෙස ප්‍රතිචාර දක්වන ජේන් ගයන ගීය ද “It’s ok”

ඇගේ ගායනය අවසන් වන්නේ සියලුම විනිශ්චකරුවන් සහ ප්‍රේක්ෂකාගාරය අසුන් වලින් නැගිට ජේන්ට සුබ පැතීමෙන්.විනිශ්ච මණ්ඩලයේ සිටින සයිමන් කොවේල් ඇයට මනාපය පළ කරන්නේ නැහැ.එය සැමදෙනාම කම්පනයට පත් කරන්නක්.

“මම ඒ වෙනුවට ඔයාට වෙනත් යමක් ලබා දෙනවා..”

එසේ පවසන සයිමන් කො වෙල් Golden Buzzer බොත්තම ඔබන්නේ ජේන්ව අවසන් වටය තෙක් නිර්දේශ කරමින්.

එහෙත් ඇයට දිගින් දිගටම තරගයේ රැඳී සිටින්නට හැකි වන්නේ නැහැ.සෞඛ්‍ය දැඩි ලෙස පිරිහී ඇති නිස American Got Talent වැඩසටහනෙන් ඉවත් වන බව ජේන් දැනුම් දුන්නේ ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා.

“ඒ වුණත් මට තාමත් හීන තියනවා” ඇය ඒ සටහන අග එසේ ලියා තැබුවා.

ජේන් තවම තිස් එක් වියැති තරුණ ගැහැනියක්.ඔහියෝ ප්‍රාන්තයේ උපත ලැබූ ඇය වෘත්තිය ගායිකාවක් වන්නට පියවර තැබුවෙ 2014 සිට.2017 දී පියයුරු පිළිකාවේ තුන්වැනි අදියරේ ඇය සිටින බව හඳුනා ගැනෙන අතර ප්‍රතිකාර ආරම්භ වෙනවා.එයින් ඇය සුවය ලැබුවත් 2019 වසරේ දී නැවත සිරුර පුරා පිළිකා ඇති බවට හඳුනා ගන්නවා.වේදනාවකදී අතනෑර ළඟ සිටින සැමියෙකු ලබන්නට තරම් ජේන් වාසනාවන්ත වන්නේ නැහැ.2015 වසරේ දී ඇය සමඟ විවාහ වූ සැමියා 2020 වසරේ දී ඇගෙන් වෙන් වෙනවා.

“ඒකට කමක් නෑ “ජේන් සියල්ල එසේ දරා ගන්නට ඇති.පිළිකා වේදනාව සමග අතිශය දරුණු කාලයක් ගතකළ Nightbride ස්වර්ගයේ ගී ගැයීම පිණිස පසුගිය දහනවවැනිදා සිය දෙනෙත් පියා ගන්නවා.අප්‍රතිහත ධෛර්යයට සහ වේදනාවන් සමග සටන් කිරීම සම්බන්ධයෙන් මෑතකාලයේ ඇය තරමට ජනප්‍රිය වූ තාරකාවක් නැති තරම්.

“ඇත්තටම සියල්ල කුරිරු වෙමින් පවතිනවා.ඒත් පසුගිය සතියේ ගත් මේ ඡායාරූපය මට ඉතා ලස්සනටත් ජීවි ස්වභාවයකිනුත් ප්‍රබෝධමත් ස්වරූපයකිනුත් පෙනෙනවා.මෙය මනුෂ්‍ය සහ සැබෑ ස්වරූපයක් ඇති එකක්.මට කියන්නට අවශ්‍ය මෙයයි.අප යම් තරමකින් අහිමි වී සහ නැති වී ඉන්නවා.ඒත් ඒක එහෙම වුණාවේ”

ජනවාරි දොළොස්වැනිදා ඇගේ අවසන් ඡායාරූපය ඉන්ස්ටග්‍රෑම් වෙත එක් කළේ
එවැනි සඳහනක් සමඟ.

එහෙත් ඇයට ඇය අහිමි වූයේ නැහැ.ඇය ජීවිතයේ අතිශය අසීරු කාලයක පවා තමන්ගේ සිහින වෙත පියඹා ගිය කිරිල්ලක් වූ ඇගේ සමුගැනීම ලෝකයටම මහත් වේදනාවක් බව ඇත්ත.”ඒකට කමක් නෑ” .වේදනාත්මක ප්‍රතිකාර අමතක කර දමා සතුටුදායක මතක පමණක් සිහියේ තබාගෙන තාරකා අතරට වී ගී ගයන්න සුබ ගමන්.

Related Articles

Don't Miss


Latest Articles