මතක දිගහැරුම 81 – අප්සාරි සිංහබාහු තිලකරත්න

අසූ එක්වන දිගහැරුම ,

තරඟ නැරඹීම අප හට ඉතා විනෝදජනක අත්දැකීමක් විය.පිටියේ සිට නර්තනයේ යෙදෙන අය බෙරයක් වාදනය කරමින් ඔවුන්ටම ආවේණික වූ ආකාරයකට නර්ථනයේ යෙදෙයි.බොහෝ දෙනා මෙන්ම මමද ඒ නර්තනය නැරඹීමට ප්‍රිය කරමි.

අප නවාතැන් ගෙන සිටි නිවසට රාත්‍රී ආහාරය ගැනීම සඳහා Tony Greig ඇතුලු පිරිසක් පැමිණියහ.Tony Greig මිය යාමට පෙර ඔහු සමඟ සමීප ව සිට කතාබහ කළ අවසාන වතාව එය විය.වෙනත් රට වල ක්‍රීඩකයන් පැමිණ අප දරුවන් සමඟ ඡායාරූපද ලබාගත්හ.ඒ වගේම සචින් තෙන්දුල්කාර් ද පැමිණ අප දරුවන් සමඟ විනෝද වෙමින් අප සමඟ බොහෝ වේලා ගත කරමින් සිට ගියේය.ඔහු දරුවන් පිළිබඳව ඉතා සතුටු වූ අතර ඔවුන් තුල ඇති ක්‍රිකට් ක්‍රීඩාවට ඇති කැමැත්ත පිළිබඳව ද අගය කලේය.

එම කාල කාල වකවානුවේදී මගේ උපන්දිනයද යෙදී තිබුණි.ඒ වෙනුවෙන් හෂාන් මා හට දියමන්ති මුද්දක් තෑගි කළේය.දකුණු අප්‍රිකාව යනු දියමන්ති වලට ඉතා ප්‍රසිද්ධියක් උසුලන රටක් බැවින් එහි යන බොහෝ අය දියමන්ති මිලදී ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබුණි.කෙසේ හෝ හෂාන් ගෙන් ලද එම ත්‍යාගයට මා ඉතා ඇලුම් කලෙමි.

ලෝක කුසලාන අවසාන තරග කරා ළඟාවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවස්ථාව හිමිවූයේ නැත.එම නිසා බලාපොරොත්තු සුන් වූ සිත් ඇතිව අප සියලු දෙනාම නැවතත් ලංකාවට පැමිණිමට සූදානම් වූයෙමු.එම මාස එකහමාර පුරාවටම අප ගමන් කළ රථය ආපසු භාර දෙන විට අප කිලෝමීටර් නව දහසකට වැඩි ප්‍රමාණයක් ගමන් කර තිබුනි.ගුවනින් ගමන් නොකර මහා මාර්ග ඔස්සේ ගමන් කිරීමට ගත් තීරණය පිළිබඳව මා ආයෙ ආයෙ සතුටු වූයෙමි.එම නිසා එම රටෙහි බොහෝ තැන් සහ බොහෝ දේවල් , විවිධ ආකාරයේ මිනිසුන් දැක බලා ගැනීමට අපට අවස්ථාව උදා විය.කෙසේ හෝ මා සංචාරය කළ රටවල් සියල්ලම අතුරින් දකුණු අප්‍රිකාවට ගිය සංචාරය මගේ ජීවිතයේ කිසි දිනක අමතක නොවන සංචාරය ලෙස සනිටුහන් විය.

නැවතත් ලංකාවට පැමිණි පසු අප අපගේ පුරුදු ජීවන රටාවට හුරු වූයෙමු .දරුවන් දෙදෙනා පෙර ලෙසම පාසල් ගිය අතර මම නිවසේ වැඩ කටයුතු ඇතුළු අනෙක් සියලුම වැඩකටයුතු කළමනාකරණය කර ගනිමින් හෂාන්ට ඔහුගේ කටයුතු වලට ද සහයෝගය දක්වමින් සිටියෙමි.ඒ අතරතුර හෂාන් ටෙස්ට් ක්‍රිකට් නායකයා බවට පත් විය.අවුරුද්දක කාලයක් ඔහු එම තනතුර හෙබවීය.

කෙසේ හෝ ඉන් පසුව ක්‍රිකට්වලින් සමුගැනීමට හෂාන් තීරණය කළේය.අවුරුදු ගණනාවක් පුරාවට ම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි ඔහුට එම තීරණයට එළඹීමට ඉතා අපහසු විය.ඒ වන විට අලුත් අලුත් සාමාජිකයන් කණ්ඩායමට එකතු වෙමින් සිටින නිසා ඔවුන්ට අවස්ථාව ලබාදී ක්‍රීඩාවෙන් සමුගැනීමට හෂාන් තීරණය කලත් , එම තීරණයට එළැඹීම එතරම් ලෙහෙසි පහසු නොවීය.නමුත් බොහෝ දෙනා පැවසුවේ අඩුම වශයෙන් තවත් වසර දෙකක් පමණ කාලයක් වත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන ලෙසයි.මන්ද හෂාන් යනු ඉතා දක්ෂ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකුය.ටෙස් ක්‍රිකට් ක්‍රීඩකයෙකු සතුව දින පහක් 5ක් පුරාවටම තිබිය යුතු ශාරීරික යෝග්‍යතා මට්ටම ,දක්ෂතාවය සහ කැපවීම හෂාන් තුළ නොඅඩුවම තිබුණි.එකල බොහෝ දෙනා හෂාන්ව හැඳින්වූයේ ක්‍රිකට් කණ්ඩායමේ නැංගුරම ලෙසය.එම නිසා බොහෝ දෙනා තුළ හෂාන් කෙරෙහි ඉතා හොඳ විශ්වාසයක් විය.නමුත් අවසානයේදී හෂාන් ක්‍රිකට් වලින් ඉවත් වීමට තීරණය කලේය.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වූ පසු හෂාන්ගේ අරමුණු වෙන අතකට යොමු කිරීමට අපට වුවමනා විය.හෂාන් සහ මම සොබාදහමට ඉතාම ආදරය කරන අය වූ අතර විවේක වේලාවන් වලදී සහ හෂාන් හට තරග නොපැවැත්වෙන දිනයන් වලදී යාල වනෝද්‍යානය තුල ඇති නවාතැන් වල නවාතැන් ගනිමින් සොබාදහමේ අසිරිය විඳ ගැනීමට අප හුරු වී සිටියෙමු.නමුත් බොහෝ කාර්යබහුල වූ අපට විවේක දිනයන් වලදී එම නවාතැන් වෙන් කරවා ගැනීමට ඇතැම් අවස්ථාවන්වලදී නොහැකි විය.එම නිසා අපට හැකි අවස්ථාවන් වලදී ගොස් නවාතැන් ගැනීමට කතරගම ප්‍රදේශයේ අප සතු වූ ඉඩමක අප හට සුදුසු නවාතැනක් සකස් කිරීමට අප තීරණය කළෙමු.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles