බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන බිම බලාගත්තේ නාලිකාව අවුස්සා ගන්නේ මොකටද කියලා හිතුණ නිසා.අද බදාදා;මහජන දිනය.සමහරවිට මේ කේන්තියට හේතුව ඒක වෙන්න ඇති.

“නාලිකා අක්කගෙන් වැඩක් කරව ගන්නවට වඩා මිනිස්සුන්ට සූර පප්පා කාටුන් එකේ 838 අවසර පත්තරේ ගන්න ලේසී..”

සචින්ත දවසක් එහෙම කියලා හිනා වුණු හැටි මතක් වෙලා කාවින්දිට ආයේ හිනාවක් ඉපදුණා.නාලිකා අක්කා හිතන්නේ රජයේ රස්සාවක් කියන්නේ අයිස් ගහන්න ලැබුණු ලොතරැයියක් කියලා ඔෆිස් එකේ හැමෝම දන්නවා.

“අනේ අක්කේ,අපි ඉතින් ගන්න පඩියට හරියන්න වැඩ කරන්න එපැයි.”

ගර්භනී කාලයේ මුල් මාසය කිහිපය ගෙවමින් ඉන්න කාවින්දිට අයිස් ගැහීමේ ක්‍රම කියාදෙන්න ගිහින් නාලිකා එහෙම අහගෙන දැන් වැඩි දවසක් නෑ.නාලිකා තමන්ට හොරෙන් බැන්නා කියලාත් කාවින්දි දන්නවා.

“කැම්පස් වල ඌස්නේ තව ටික දවසකින් බැහැල යයි..”

සචින්ත,නුවන් වගේ තරුණ නිලධාරීන් කිහිප දෙනෙක් මහන්සියෙන් රාජකාරි කරනකොට නාලිකා එහෙම බැන බැන යන බවත් කාටවත් රහසක් නෙවෙයි.

“කාවින්දි අක්කේ, අපේ අම්මා ඔයාට දෙන්න කිව්වා.”

රස්සාවට ඇවිල්ලා වැඩි කාලයක් නැති නඳුනි සුවඳ හමන කෑම භාජනයක් කාවින්දිගේ මේසෙන් තියනකොට කාවින්දිට ආවේ සතුටක්.ඇනෙක්ස් එකකට වෙලා අම්මාත් අහල පහලක නැතුව ගෙවන ජීවිතේ රහ වැටෙන්නේ මේ වගේ හොඳ යාලුවෝ හින්දා.ජනක පුලුවන් විදියට හදලා දෙන සමහර කෑමත් පොඩි පැටියා ආපහු හරෝලා එවන හින්දා කාවින්දි කනවට වඩා වමනෙ කරනවා වැඩී.

“ඔහොම සැලකුවට පස්සෙ අපිට මෙයාගෙත් ලොකුකං බැලුවැකි නඳුනි.”

නාලිකා කණ්නාඩිය යටින් බලල එහෙම කියනකොට කාවින්දි ඇය දිහා බැලුවේ පුදුමයෙන්.කොහොමත් නාලිකා ගර්භනී භාවය ගැන දෙන උපදේස වම් කනෙන් අහලා දකුණෙන් එළියට දාන්න කාවින්දි පැකිළෙන්නෙත් නෑ.

Woman gossip

“කවුද නාලිකා අක්කට තව ලොකුකම් කරේ?”

ඕපාදූපය අහන්න හිතාගෙන එතනට ආවේ දිලානි.නඳුනිත් එතනට ආවේ නාලිකා දුලීකා මාරපන මහත්මිය ටෙලි නාට්‍යවල නපුරු බිරින්දෑට ඇන්දම දාන වර්ගේ බැල්මක් දාගෙන බලන් හිටිය නිසා.

“මං ඊයේ ඉරේෂලගෙ ගෙදර ගියා.ඔෆිස් ඇරිච්ච ගමන්..”

ඉරේෂා කියන්නේ ඔෆිස් එකේ අලුත් අම්මා කෙනෙකුට.ඉරේෂාට බබා ලැබිලා තව සතියක් දෙකක් ඇති.කාවින්දි නම් ඉරේෂාට මල් පොකුරක් යවලා සුබ පැතුවා.කෝල් එකක් දෙන එකත් ඉරේෂාට කරදර ඇති හිතුණු නිසා වොයිස් මැසේජ් එකකින් තමයි සුබ පැතුවේ.

“ඒ හදිස්සියෙ ගියේ ඇයි නාලිකා අක්කේ?”

කසාදයක්වත් නොබැන්ද නඳුනි ඇහුවේ ඇස් නළලට අරන්.

“දරුව බලන්න ගියේ.හදිස්සි නැතුවයැ.”

නාලිකා එහෙම කියනකොට ඒ අමුතු හදිස්සිය ගැන හැමෝටම තරහක් ආවේ නැතුවම නෙවෙයි.ඒත් නාලිකා හිටියේ ඊටත් වඩා කේන්තියෙන්.

“ගියගමන් ඉරේෂා අහපි දවසම ඔෆිස් ඉඳල ඊටපස්සෙ බස් වල හිර වෙවී මොකටද ආවේ කියල.ඇයි මම ළමය බලන්න යන්න කියල කාර් හයර් එකට අරන් යන්නද?”

‘යස වැඩේ’කියලා කටට ආවට කාවින්දි වචන ගිල ගත්තා.රතිඤ්ඤා පුපුරන වේගෙට නාලිකා කියෝනවා.

“මේකි ළමයා කොට් එකකින් තියලා නෙට් එකත් දාපි.මට අල්ලන්න තියා බලන්නවත් නෑ.”

නාලිකා කියන්නේ පුදුම තරහකින්.දිලානි ඒ දිහා බලන් ඉඳලා කතා කරන්න පටන් ගත්තා.

“ඉතිං ඇත්තනෙ නාලි අක්කේ.ඇයි ඔයා ඔය බස්වල ජරාවයි මේ ඔෆිස් එකේ දාස් ගණන් මිනිස්සු අස්සෙ දැවටිලයි අලුත් පැටියෙක් බලන්න ගියෙ.අනික ඔයා ඉරේෂාට කෝල් කරලා එන්නද ඇහුවද?”

දිලානි එහෙම අහනකොට නාලිකා දිලානිට ගහන්න තරම් තරහ බැල්මක් දැම්මා.

“අහල යන්නේ මොකටද? ළමයෙක් ඉපදුණු ගමන් ගෙදර නැත්තෙ නෑනෙ..”

කාවින්දි මොකුත්ම නොකිව්වත් මේවා අහන් ඉඳලා තීරණයක් ගත්තා.බබා ලැබුණු ගමන් ගමේ යන්න ඕන.නැත්නම් නාලිකා එහෙටත් එයි.

“අහල යන්න ඕන අක්කේ ඉරේෂාට කරදරද නැද්ද බලන්නනෙ.ඉරේෂාට බබාව අලුත්.බබාට ලෝකේ අලුත්.අනික ඉරේෂාගෙ තුවාලවත් වේලිලා නැතුව ඇති.අනිත් එක ඔය කුණු ජරාව පෙරාගෙන ගිහිල්ලා බබාට විෂබීජ ආසාදනයක් ආවනම් හොඳට තියෙයි.”

දිලානිගේ කට සැරයි කිව්වට මේ වගේ වෙලාවට මෙහෙම කතා නොකර බෑ කියලා කාවින්දිට හිතුණා.

“අපේ ළමයි බලන්න නම් ඉස්පිරිතාලෙටත් සෙනඟ ආව.ඉරේෂලා මේ ප්‍රයිවෙට් ඉස්පිරිතාලවල මෝස්තර ළමයි වැදිලි කරල බොරු ලොකුකම්.අනිත් එක හැට්ටෙ තෙමිලා නැත්තෙ මොකද කිරි නෑ නේද ඇහුවම ඉරේෂාගෙ මනුස්සයා මහ ජරා කතාවක් කිව්ව.වයස නොබලා ජරා කතා කියන සක්කිලි..”

නාලිකා එහෙම කියලා සාරි පොටින් මූණ පිහදා ගත්තේ කේන්තිය පිහදා ගන්න වගේ

“ඉරේෂට බබාට ඇති වෙන්න කිරි තියනවනෙ.හැට්ට පෙඟෙන්න කිරි එරෙන්න ඉරේෂා එළදෙනක් නෙවෙයි කිව්වෙ..”

දිලානි මහ හයියෙන් හිනා වෙනකොට එතනට ආව පුන්සරාත් නාලිකා දිහා බැලුවේ අප්‍රසන්න තාලෙට.

“හොඳ වැඩේ නාලි අක්කටත්.මගෙ බබා ලැබුණම ඔහොම ඇවිල්ල කිරි නෑ කිරි නෑ ගාපු මිනිස්සු හින්දා මං නැවතුණේ ඩිප්‍රෙෂන් හදාගෙන..”

Two employees gossiping in office cubicle

නඳුනි එතනින් යන්න ගිහින් තව මතක් වුණු කාරණාවක් කියන්න ආපහු හැරුණා.

“අපේ අක්කට බබා ලැබුණු හොස්පිටල් එකේ මැට්නිටි වෝඩ්වල නම් පෝස්ටර් එකක් ගහල තිබ්බා,අලුත් බබා කතා කරනව වගේ.මං තාම වීක්.මට කරන උදව්වයි ආදරෙයි තමා මාව බලන්න එන්නෙ නැති එක කියලා..”

නාලිකා ෆයිල් මිටියක් මහ සද්දෙට මේසෙට අතෑරලා ඒවට රවා ගත්තේ ඉරේෂාට හැමෝම වටකරගෙන බනින්න බැරි වුණු කේන්තියට.දිලානි ගිහින් තමන්ගේ මේසෙන් ඉඳගත්තේ කාවින්දිට කතා කරගෙනමයි.

“කාවි,ඕං අපි නම් ඔයාට සලකන්නෙත් ඉරෝට වගේම තමයි.තෑගි එව්වට බබ්බු බලන්නනම් අපි මාස හත අටක්වත් යනකන් එන් නෑ.අපි මහ හදිස්සියෙ දුවන් නාවට ඔයාලගෙ බබාලා ලොකු නොවී ඉන්නෑනෙ.”

කාවින්දි සැනසිල්ලේ හිනා වුණේ නාලිකා දිහා හොර බැල්මක් පා කරන අතරෙමයි.

More Stories

Don't Miss


Latest Articles