මතක දිගහැරුම 89 – අප්සාරි සිංහබාහු තිලකරත්න

අසූ නමවන දිගහැරුම ,

නානා නිරුපද්‍රිතව සිටින බව දැනගත් හෂාන් සහ මම නැවතත් කතරගම අපගේ නවාතැනට පැමිණියෙමු.” ජාලිය ජයසූරිය ” නමින් හෂාන්ගේ ළඟම හිතවතෙකු වූ අතර ඔහුගේ එක් පුතෙකුට ඔවුන් නම් තබා තිබුණේද හෂාන් කියාය.ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ හෂාන්ට ඇති දැඩි කැමැත්ත නිසා ඔවුන් ඔවුන්ගේ දරුවාට එසේ නම තබා තිබුණි.ජාලිය ඇතුළු ඔවුන්ගේ පවුලේ සියලු දෙනා නත්තල් නිවාඩුව වෙනුවෙන් මුහුද අද්දර පිහිටා තිබූ යාල සෆාරි විලේජ් හෝටලයට පැමිණ තිබුනි.ඔහුගේ බිරිඳ හෝටලයේ කාමරයේ සිටියදී ඔහු පුතුන් දෙදෙනා සමග වෙරළේ ඇවිදින්නට ගොස් තිබුණි.ඒ අවස්ථාවේදී පැමිණි සුනාමි රළට ඔවුන් ගසාගෙන ගිය බව සිද්ධිය දුටු අයෙක් පසුව පැවසුවේය.කාමරයේ සිටි ජාලිය ගේ බිරිඳ පමණක් ජීවත් වීමට වාසනාව ලද මුත් ඇය ද පසු කාලීනව ඉතා අභාග්‍ය සම්පන්න ලෙස විල්පත්තුව වනෝද්‍යානය තුලදී ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකට හසුවී ජීවිතයෙන් සමුගත්තාය.

සුනාමි ඛේදවාචකයට මුහුණ දීමට සිදුවූ හිතවතුන්ගේ කතා බොහෝමයක් අපට ඒ දිනවල අසන්නට ලැබුණි.මා ගුවන් සේවිකාවක් ලෙස සේවය කරන කාලයේ මා සමඟ රැකියා කටයුතු කළ තවත් මගේ හිතවතියක් සහ ඇගේ පවුලේ අයද සුනාමියට මුහුණ දී තිබූ අතර රළ පහරට හසු වූ පවුලේ පස් දෙනා සී සීකඩ විසිරී ගොස් තිබුණත් කෙසේ හෝ ඔවුන් පස් දෙනාම ජීවත්වීමට වාසනාව ලදහ.මුහුදු රළ සමග විශාල වශයෙන් පොර බැද තිබූ ඇය, ඇගේ සැමියා සහ දරුවන් තිදෙනාගේ පෙර වාසනාවක් හේතුවෙන් ඒ ජීවිත බේරෙන්නට ඇතැයි මා සිතමි.

මේ සියලු සිදුවීම් අතරතුර ජනවාරි මාසයේ 4 වන දිනට යෙදී තිබූ සුබ නැකතකට අපගේ නවාතැනට ගෙවැදීමේ කටයුතු අප සූදානම් කරමින් සිටියෙමු.ඒ අතර මම හෂාන් සමග නැවත කොළඹ පැමිණියෙමි.කොළඹට පැමිණි අප පවුලේ අය සහ දරුවන් සමග කාලය ගත කළෙමු .ඒ අතර තුර මගේ සිරුරේ සිදු වූ යම් යම් වෙනස්කම් කිහිපයක් මත සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී මා නැවතත් මව් පදවිය ලබන්නට යන වග අපට දැනගන්නට ලැබුණි.මා කුස තුළ වැඩෙමින් සිටි දරුවාගේද පින් මහිමය සහ වාසනාව හේතුකොට ගෙන සුනාමි ඛේදවාචකයෙන් හෂාන්ගේ සහ මගේ ජීවිත බේරෙන්නට ඇතැයි මා විශ්වාස කරමි.

බෞද්ධ ආගමික සියලු දෙනාගේම පියාණන් වන භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සහ විශ්ව ශක්තීන් පිළිබඳව මා තුළ ඇති දැඩි විශ්වාසය නිසා බොහෝ තැන්වලදී මා ආරක්ෂා වීම සිදු වෙතැයි මම විශ්වාස කරමි.පෘතග්ජන මිනිසුන් හැටියට අප අතින් නොදැනුවත්වම වැරදි විය හැකි නමුත් සෑම අවස්ථාවකදීම මා උත්සාහ කරන්නේ මා අතින් කිසිදු වරදක් නොවන ලෙස කටයුතු කිරීමටයි.එම නිසා කිසිදු අයෙකුට කරදරයක් නොවන ලෙස ජීවත් වීමට මා සෑම විටම වග බලා ගනිමි.මා අදහන ධර්මය බොහෝ උපද්‍රව වලින් මා ආරක්ෂා කරන්නට ඇත්තේ ඒ නිසාය.තවද ධර්මයෙහි හැසිරෙන්නාව , ධර්මය විසින් ආරක්ෂා කරනු ඇත.කෙසේ නමුත් කලකට ඉහත මා අසනීප වූ අවස්ථාවේදී මා නැවත මවක් වීමට ඇති හැකියාව ඉතාම අඩු බව වෛද්‍යවරුන් විසින් පැවසු බැවින් මගේ කුස තුල දරුවකු වැඩෙන බවට ලද ආරංචිය අප සියලු දෙනාගේම සිත් සතුටට පත් කරන්නක් විය.ඒ වගේම එය පිටුපස විශාල කතාවක් ද ඇත.

ධර්මය සහ විශ්ව ශක්තිය දැඩි ලෙස විශ්වාස කරන්නවුන්ව හාස්‍යයට ලක් කරන බොහෝදෙනා මා දැක ඇත.කවුරුන් හෝ එවැනි දෑ විශ්වාස නොකරන්නේ නම් ඒවා හාස්‍යයට ලක් නොකළ යුතු බව මගේ අදහසයි.සමහර දෙනා ඒවා හාස්‍යයට ලක් කරමින් අදහස් ප්‍රකාශ කිරීමට මා දැඩි ලෙස විරුද්ධ වන අතර තමන්ට විශ්වාසයක් නැති දෑ පිළිබඳව එසේ කතා කිරීමට වඩා නිශ්ශබ්දව සිටීම යහපත් බව මා සිතමි.මන්ද , යම් දිනෙක කිසියම් කරදරයක් හෝ උපද්‍රවයක් සිදු වූ විට ඔවුන්ටද දෙවියන්ගේ පිහිට පැතීමට සිදුවන නිසාය.එම නිසා කිසිදු ආගමකට හෝ ඇදහීමකට ගැරහීම අප විසින් නො කළ යුතු ය.

කෙසේ හෝ අප කතරගම නවාතැන ඉදි කරමින් පසුවන කාලයේ එම ප්‍රදේශයට දරුණු නියඟයක් පැමිණියේය.අපට ද වතුර හිඟ වූ අතර අප වතුර ලබා ගත්තේ බවුසර මාර්ගයෙන් ය.වනජීවී නිලධාරීන් බොහෝ දෙනෙක් අප සමග හිතවත් වී සිටි අතර , කැලය තුළ අධික කාෂ්ඨකයක් පවතින බවත් , වතුර නොමැති වීම හේතුවෙන් කැලයේ විවිධ ස්ථානවල සතුන් මියගොස් සිටිනු දක්නට ලැබෙන බවත් එම නිලධාරීන් අප සමග පැවසූහ.ස්වභාවධර්මයට දැඩි ලෙස ආදරය කල අපගේ සිත් එම ආරංචියෙන් දැඩි ලෙස කම්පාවට පත්විය.

” හෂාන් සර් , අප්සාරි නෝනා , ඔයාලට ඕන තරම් යාලුවෝ ඇති නේද දවසකට ලොකු ගාණක් වියදම් කරන.අනිත් එක wildlife photography වලින් හම්බ කරන අයවත් ඔයාලා දන්නවා ඇති නේද ? ඒ කට්ටිය වත් එකතු කරගෙන බැරිද මේ කැලේ ඇතුලෙ පොඩි පොකුණු ටිකක් හරි වැව් හරි හදලා දෙන්න ? “

වනජීවි නිලධාරියා එසේ විමසූ විට මා ඉතා සතුටට පත් වූයෙමි. මන්ද ,තමන් තනිව පින්දහම් කරනවාට වඩා අනෙක් අයවත් සම්බන්ධ කරගෙන දහම්වල යෙදීම වඩා යහපත් බැවිනි.යාල වනෝද්‍යානය වෙත නිතර පැමිණෙන බොහෝ දෙනා මා හඳුනන බැවින් මේ කටයුත්ත ඉතා පහසුවෙන් කළ හැකි බව මා සිතුවෙමි.නැවතත් කොළඹ පැමිනි විට මා එසේ හඳුනන කීප දෙනකුට දුරකථනයෙන් ඇමතුවෙමි.

” ඔයාට පිස්සුද අප්සාරි කැලේ ඇතුළේ ඉන්න සතුන්ට වතුර පොවන්න ? “

ඇතැමුන් එසේ අසමින් මා හට සිනහසුණි .බොහෝ දෙනෙකුගෙන් මා හට යහපත් ප්‍රතිචාර නොලැබුණු අතර ඒ හේතුවෙන් මා හට දැනුණේ විශාල දුකකි.දෙතුන් දෙනෙකුට දුරකථනයෙන් ඇමතූ පසු මා අනෙක් අයගෙන් උපකාර පැතීමේ අදහස අත්හැර දැමුවෙමි.සිදුවූ දෙය මා හෂාන්ට ද පැවසුවෙමි.

” නෑ නෑ ඔයා කාටවත් කතා කරන්න එපා.අපිට එක වැවක් නම් හදන්න පුළුවන් අපි ඒක හදලා දෙමු “

එසේ පැවසූ හෂාන් , අපගේ වියදමෙන් එක වැවක් සාදා දෙන බවට වනජීවී නිලධාරීන් දැනුවත් කරන ලෙස මා හට පැවසුවේය.ඉතා සතුටට පත් වූ මා නැවත කතරගම බලා ගිය විට වනජීවී නිලධාරීන් මුණගැසී අන් අයගෙන් මා හට ලැබුණු ප්‍රතිචාර පිළිබඳව ද , වැවක් තනා දීමට හෂාන් සහ මම උපකාර කරන බවද පැවසුවෙමි.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles