මතක දිගහැරුම – 105

එකසිය පස්වන දිගහැරුම ,

මැතිවරණ ප්‍රචාරණ කටයුතු සාර්ථක ලෙස පවත්වාගෙන යාම සඳහා හෂාන් විශාල වෙහෙසක් දැරීය.ඒ සඳහා මා මගෙ සහයෝගය ඔහුට හැකි උපරිමයෙන් ලබා දුන්නෙමි.කෙසේ හෝ මැතිවරණයෙන් පසුව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත අපගේ විශ්වාසවන්ත නියෝජිතයෙකු යොමු කළ යුතුව තිබුණි.එම ස්ථානය වෙත ඡන්ද අපේක්ෂකයාට යා නොහැකි නිසා හෂාන්ගේ නියෝජිතයකු වශයෙන් මා ඉදිරිපත් වන්නම් යැයි මා හෂාන්ට පැවසුවෙමි.ඒ අනුව මැතිවරණය පැවැත්වුනු දින සවස ඡන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යන විට හෂාන්ගේ නියෝජිතයකු වශයෙන් මමද ඒ ස්ථානයට ඇතුළු වූයෙමි.

මැතිවරණය පැවැත්වුනු දින සවස ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත ඇතුළු වූ මා ඉන් පිටවූයේ දින දෙකහමාරකට පසුව ය.ඡන්ද ගණන් කිරීමේ කටයුතු නිසි ආකාරයෙන් සිදු වනවාදැයි විමසිල්ලෙන් මා ඒ ස්ථානයට වී එම කටයුතු නිරීක්ෂණය කරමින් සිටියෙමි.විවේක වේලාව සඳහා ලැබෙන සුළු කාලය ඇතුළත ආහාර ගැනීම සහ වැසිකිලි යාම වැනි කටයුතු ඉක්මනින් ඉටු කර ගත් මා , මට නියමිත රාජකාරියේ යෙදුනෙමි.හෂාන්ගේ නියෝජිතයෙකු ලෙස විශේෂයෙන්ම මා ඉදිරිපත් වීමට හේතුව වූයේ මැතිවරණයට පෙර ඇතැමුන් විසින් හෂාන් මැතිවරණයෙන් පරාජයට පත්වන බව ස්ථිරවම කියා තිබූ බව ඇතැම් ආරංචි මාර්ග මගින් අපට දැනගන්නට ලැබීමයි.එවැනි දේ නිසා සිදුවිය හැකි අක්‍රමිකතා පිළිබඳ අප තුළ ඇති වූ සැක මත මා එසේ ඉදිරිපත් වූයෙමි.හෂාන් ඉතා කැපවීමෙන් සහ වෙහෙස වී වැඩ කටයුතු කළ ආකාරය නිසා ඔහුට කිසිදු අසාධාරණයක් නොවිය යුතුයැයි මා තරයේම විශ්වාස කළෙමි.

දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුතු වූ යධාමිනී ගුණවර්ධන සහෘදයා ව ද මා විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය.ඔහු ද ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය තුළ සිටි අතර ඇතැම් අවස්ථාවලදී ඔවුන් වෙනුවෙන් ගෙන එන ආහාර ඔහු මා වෙත ගෙනැවිත් දුන්නේය.ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි ඇතැම් දේශපාලනඥයන්ගේ නියෝජිතයන් සමහර අවස්ථා වලදී තම නිවෙස් වලට ගොස් විවේක ගෙන ආපසු පැමිණියහ.නමුත් මා දින දෙක හමාරක් පුරාවට නොකඩවාම එම ස්ථානයේ රැඳී සිට එහි සිදුවන කටයුතු නිරීක්ෂණය කළෙමි.මට නියමිත රාජකාරිය මා හරි ආකාරයෙන් ඉටු කළ යුතු යැයි මා තරයේ ම සිතා ගත් නිසා එය උපරිමයෙන් ඉටුකිරීමට මා කැප වී සිටියෙමි .මැතිවරණ සමයේදී සහ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව විවිධ අක්‍රමිකතා පිළිබඳව නිරන්තරයෙන්ම අසන්නට ලැබෙන නිසා හෂාන් හට කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතැබීමට නම් මා එසේ රාජකාරි කළ යුතුව තිබුණි.

සමහර ඡන්ද පෙට්ටි ගණනය කිරීමේදී ඒවායේ ඇතැම් ඡන්ද අපේක්ෂකයන්ට එකදු ඡන්දයක් හෝ නොතිබෙන ආකාරය දක්නට ලැබුණි.නමුත් අපගේ සතුටට හේතු වෙමින් කොළඹ දිස්ත්‍රික්කයේ සෑම ඡන්ද පෙට්ටියකම හෂාන් වෙත ලැබුනු ඡන්ද තිබුණි.ඒ කාලය තුළදී එසේ ඡන්ද ලබා ලබාගැනීම ඇත්තෙන්ම අසීරු කාර්යයක් විය.පැවතෙමින් තිබූ යුද්ධයේ අවසාන කාලයේ නිසාත් , අවසාන වන තුරු ජනතාව බලාපොරොත්තුවෙන් සිටි නිසාත් එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමකට පවා මිනිසුන් එක්රැස් කරගැනීම අසීරු කාර්යයක් ව තිබුණි.එවැනි තත්ත්වයකදී නොසිතූ ආකාරයෙන් හෂාන් වෙත ඡන්ද ලැබීම එසේ අපගේ සතුටට හේතු විය.

කෙසේ හෝ අවසාන ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන විට හෂාන් වෙත පස්වෙනි ස්ථානය ලැබී තිබුණි.ඔහුට ඉහළින් සිටි සෑම දෙනාම පැරණි දේශපාලඥයන් විය.එවැනි පරිනත පරිනත දේශපාලඥයන් අතුරින් හෂාන් වැනි නවකයකු පස්වෙනි ස්ථානයට තේරී පත් වීම අති විශාල ජයග්‍රහණයක් විය.විශේෂයෙන්ම ආසන බාගයක් සහිතව මැතිවරණයට ඉදිරිපත් වූ ඔහු එවැනි ජයග්‍රහණයක් ලබා ගැනීම අපගේ සතුටට හේතු විය.ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස හෂාන්ට ආදරය කරන බොහෝ දෙනාත් , තමන්ගේ ප්‍රදේශය දියුණු කිරීමට හැකියාව තිබෙන තරුණ නායකයෙකු අවශ්‍ය බව විශ්වාස කළ පිරිසත් මෙන්ම හෂාන්ගේ හිත මිතුරන් බොහෝ දෙනා ද ඔහු වෙත මනාප පළ කර තිබුණි.

හෂාන් වෙත ලැබුණු ජයග්‍රහණය අප සැමරුවේ බොහොම සාමකාමී ආකාරයෙන්ය.එම ජයග්‍රහණය පිළිබඳව අප කිසිම විටෙකත් උදම් අනන්නට ගියේ නැත.මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව ආසනය පුරාවටම හෂාන්ට ආදරය කළ පිරිස විසින් හෂාන්ව පිළිගැනීමේ උත්සව සංවිධානය කර තිබුණි.හෂාන් ඒ සියල්ලටම සහභාගි වූ අතර පෙර සේම ඔහුගේ නායකත්වය බලාපොරොත්තු වූ පිරිසගේ ආදරය ඔහු හට නොමදව හිමි විය.

ඉන් පසුව පළාත් සභාවට තේරී පත්වූ හෂාන් එම කටයුතු සාර්ථකව කර ගෙන යාම ආරම්භ කළේය.ඔහු තමන් වෙත ලැබුණු ප්‍රතිපාදන සියල්ලම නිසි ආකාරයෙන් භාවිතා කළේය. ජනතාව වෙනුවෙන් ඉතා හොඳ සේවයක් ලබා දීමට බලාපොරොත්තු වූ හෂාන් ඔහු බලාපොරොත්තු වූ පරිදිම මහා මාර්ග පිළිසකර කිරීම ,විදුලිය සහ ජලය ලබා දීම ,ආගමික ස්ථානවලට උපකාර කිරීම සහ ස්වයං රැකියා ලබා දීම වැනි බොහෝ කටයුතු වල යෙදුණේය.අවංකව ජනතාව වෙනුවෙන් සේවය කිරීමට අවශ්‍ය වූ නිසා හෂාන් කිසිම විටෙකත් ඔහුගේ නම සදහන් කල පුවරු හෝ දැන්වීම් කිසිදු ස්ථානයක ප්‍රදර්ශනය කළේ නැත.හෂාන් , ඔහු විසින් කළ සේවාවන් පිළිබඳව පුවත්පත් වල පල කිරිමටවත් කැමැත්තක් දැක්වූයේ නැති අතර සමහර විට ඔහු දිගින් දිගටම දේශපාලනයේ යෙදුනා නම් ඔහුට එය අවාසියක් වන්නට ඉඩ තිබුනා මෙන්ම ඔහු ජනතාව වෙනුවෙන් කිසිදු සේවාවක් සිදු කර නැතැයි බොහෝ දෙනා විසින් සිතන්නට ද ඉඩ තිබුණි.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles