ලොව විශාලතම වකුගඩු ගල ලංකාවෙන්!

ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවය පවතින්නේ ඉහළ තැනක. අසීරු සැත්කම් පවා බොහෝ ආරක්ෂිතව සහ ඉතා ඉහළ මට්ටමකින් සිදු කරන්නට අපේ වෛද්‍ය කණ්ඩායම් සමත් වෙනවා.

එවැනි ඉහළ ගණයේ සැත්කමක් පසුගිය දිනයක වාර්තා වුණා.

විශාල වකුගඩු ගලක් ඉවත් කිරීම මඟින් ගිනස් පොතට එක් වන්නට අපේ වෛද්‍යවරුන්ට හැකි වුණා.

මෙතෙක් වාර්තා වූ විශාලතම වකුගඩු ගල ශල්‍යකර්මයක් මඟින් සාර්ථක ව ඉවත් කර ගිනස් වාර්තාවක් තැබීමට යුද හමුදා රෝහලේ කාර්ය මණ්ඩලය සමත් ව ඇත. මෙම ශල්‍යකර්මය ඉකුත් ජුනි 1 දා සිදු කර ඇත.

 මේ ශල්‍යකර්මයෙන් ඉවත් කරන ලද වකුගඩු ගල සෙන්ටිමීටර 13.372 ක දිගකින් යුතුයි. ග්‍රෑම් 801ක බරකින් එය සමන්විතයි.

 2004 දී හමු වූ සෙන්ටි මීටර 13 ක් දිග වකුගඩු ගලක් ලොව විශාලතම වකුගඩු ගල ලෙස සැලකුණා. 2008 දී පාකිස්ථානයෙන් හමු වූ වකුගඩු ගලක් ලොව බරැතිම වකුගඩු ගල ලෙසට වාර්තා පොතට එකතු වුණා.දැන් මේ ගල ඒ සියළුම වාර්තාවන් අලුත් කරන්නක් ලෙස සැලකෙනවා.

මෙසේ සාර්ථක ශල්‍යකර්මයක නිරත වී ගිනස් වාර්තා අතරට එක් වූයේ හමුදා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින්. මුත්‍රා රෝග අංශයේ ප්‍රධානී, මුත්‍රා රෝග විශේෂඥ ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුදර්ශන් මෙහි ප්‍රධාන වෛද්‍යවරයා වුණා. කපිතාන් (වෛද්‍ය) ඩබ්. පී. එස්. සී. පතිරත්න සහ වෛද්‍ය තමාෂා ප්‍රේමතිලක ශල්‍යකර්මය මෙහෙයවනු ලැබුවා. කර්නල් (වෛද්‍ය) යූ. ඒ. එල්. ඩී. පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී. එස්. අබේසිංහ ශල්‍යකර්මය අතරතුර නිර්වින්දන විශේෂඥයන් වශයෙන් සහය වී තිබෙනවා.

හෙද කාර්ය මණ්ඩලයේ ද පූර්ණ සහයෝගය ලැබී තිබෙනවා.

වකුගඩු ගල් ඇති වෙන්නේ ඇයි?

ජලය අවම ලෙස පානය කිරීම වකුගඩු වල ගල් ඇති වෙන ප්‍රධාන හේතුවයි. මෙය සුලබ තත්ත්වයක් වුණත් වඩාත් අවධානම පවතින්නේ පිරිමි පුද්ගලයන්ටයි.වකුගඩුවේ සිට මූත්‍රා මාර්ගයේ කුඩා ගැටිති ස්වභාවයක් ලෙස ගල් මතු වනවා.එම ගැටිති සාමාන්‍ය මූත්‍රා බැහැර වීමේ ක්‍රියාවලියේදී මූත්‍රා සමඟ පිටවී ගියත් ප්‍රමාණයෙන් විශාල කැටිති වකුගඩුවේ ඉතිරි වෙනවා. එසේ කාලයක් පැවතෙමින් විශාල ගල් බවට පත්වෙන අතර  මූත්‍රා මාර්ගය අවහිර වී දැඩි අපහසුතා ඇති කරනවා.

වකුගඩු ගල් ඇති වීමේ රෝග ලක්ෂණ

උදරය සහ කොන්ද ආශ්‍රිත අධික වේදනාව

නිතරම මුත්‍රා පිට කිරීමේ උවමනාව

මුත්‍රා කරන විට ඇතිවන දැවිල්ල

මුත්‍රා අධික දුර්ග්න්ධයකින් යුතු වීම

මුත්‍රා සමඟ ලේ පිටවීම

අධික උණ

වමනය

සිරුරේ පවතින අප්‍රාණික ස්වභාවය

හොඳින් ජලය පානය කිරීම මේ රෝගය ඇති නොවීමට ප්‍රබලම සාධකයයි. අපේ රටේ සෞඛ්‍ය සේවය ඉතා ඉහළ තැනක පවතින බව සත්‍යයක්. නමුත් සමහර රෝග ඇති වීමට පෙර වළක්වා ගන්නට අපිට හැකි බවත් සිහි තබා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles