පනස් දෙවන දිගහැරුම ,

මා සමඟ අපගේ ගෙදරට පැමිණි හෂාන් මගේ දෙමාපියන් මුණගැසී කතාබස් කළේ ය.පසු දින ද පැමිණීමේ පොරොන්දුව පිට ඔහු පිටව ගිය අතර ඉන්පසුව මා ඔහුගේ යෝජනාව පිළිබඳව අම්මා සහ තාත්තා සමග සාකච්ඡා කළෙමි.මගෙ නංගි ඔහුගේ යෝජනාව පිළිබඳව ඉතා ඉහළින්ම සතුටු වූ අතර එය පිළිගන්නා ලෙස මට දිගින් දිගටම ඇවිටිලි කළාය.ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව එතරම් උනන්දුවක් නොදැක්වූ මගේ අම්මා සහ තාත්තාගේ සිත්වල ඒ වන විටත් හෂාන් පිලිබදව පැහැදීමක් ඇති වී තිබුණි.

” ඔයා දැන් අපි වෙනුවෙන් ගොඩක් මහන්සි උනා නේ.ඔයා අපිට කරන්න ඕන යුතුකම් ඔක්කොම කරලයි තියෙන්නෙ.මට පුළුවන් විදිහට මම අම්මවයි නංගිවයි බලන්නම්.ඔයා ඔයාගේ අනාගතය ගැන දැන් හිතන්න, අපෙන් කිසි ප්‍රශ්නයක් නැහැ “

තාත්තා කීවේ එපමණකි. හෂාන්ගේ කතාබහෙන් ඔහු කිසිදු ආඩම්බරකමක් නොමැති ඉතා නිහතමානී පුද්ගලයෙකු බව වැටහුණා යැයි තාත්තා පැවසූ අතර ඔවුන් තුළ හෂාන් පිළිබඳව විශාල කැමැත්තක් පවතින බව මට දැනුණි.දින දහයේ නිවාඩුව ගත කිරීමට පැමිණි මා දෙමව්පියන් සමග එම කාලය ගත කළ අතර ඒ නිවාඩු දිනයන් ගත කිරීමට හෂාන් ද අප සමග එක් විය.රාත්‍රී ආහාරයන් සඳහා අප සියලු දෙනාම පිටතට ගිය අතර එකිනෙකාගේ අදහස් හුවමාරු කර ගැනීමට අපට අවස්ථාව හිමි විය.

දින දහයේ නිවාඩුව අවසන් කළ මා නැවත ඩුබායි බලා පිටත් වුනෙමි.ඉන්පසුව සාමාන්‍ය පරිදි රාජකාරීවල නිරත වෙමින් පුරුදු ලෙස මගේ මිතුරු මිතුරියන් සමග කාලය ගත කලෙමි.නිරන්තරයෙන් ම වාගේ හෂාන් මා හට දුරකථනයෙන් දුරකථනයෙන් ඇමතූ අතර ඔහුද තරගාවලි වලට සහභාගි වෙමින් විදෙස් සංචාරවල ද නිරත විය.වරක් ඔහු එංගලන්තයේ සංචාරයක නිරත වූ අතර එම කාලයේදී මටද එංගලන්තයට ගුවන් ගමන් වාරයක රාජකාරි යෙදී තිබුණි.එවිට හෂාන් මා හමුවීමට,මා නවාතැන්ගත් හෝටලය වෙත ආවේය. ඔහුට හිතවත් ” කටුවාවල අංකල් ” සහ ඔහුගේ පුතු සමග පැමිණි හෂාන් මා හට එංගලන්තයෙන් ම මිලදී ගත් ඉතා වටිනා ඇඳුමක් ද තෑගි කළේය. ” කටුවාවල අංකල් ” ද මා සමග ඉතා හොඳින් කතා බහ කර හිතවත් වූ අතර අප ආදරේට ඔහු ඇමතුවේ ” අංකල් කටූ ” කියාය .

එක් දිනක් එංගලන්තයේ ගත කළ මා නැවත ඩුබායි බලා පිටත්ව ආ අතර සාමාන්‍ය පරිදි මගේ රාජකාරි වල යෙදුණෙමි.ඒ අතර සුපුරුදු පරිදි තමන්ගේ කටයුතුවල නිරත වූ හෂාන් එංගලන්තයේ සිට ආපසු එන ගමනේදී දින කිහිපයකට ඩුබායි වෙත පැමිණියේය.නිතර මුණ ගැසීමට අවස්ථාව හිමිවීම නිසා අප දෙදෙනා අතර වූ ඒ ආදරණීය බැඳීම දිනෙන් දින වර්ධනය වන්නට විය.

ඔහුගේ ඉදිරි ගමනට සහයෝගය දැක්වීම සඳහා ඔහුට ඉතා හොඳ සහකාරියක් අවශ්‍යම බව බොහෝ අවස්ථාවන්වල දී මට දැනුනි.ඒ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ඔහුට ශක්තියක් විය හැකි සහකාරියක් සිටීම ඉතා වැදගත් වූ අතර ඔහුගේ ගමනට ධෛර්යයක් වීම මා හට කළ හැකි බව මට සිතුනි.ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව එතරම් උනන්දුවක් නොදැක්වූ ,ක්‍රිකට් තරඟයක් නැරඹීමටවත් ආසාවක් නොදැක් වූ මා හෂාන් පිළිබඳව පසුව විස්තර සොයා බැලීමේදී මට දැනගන්නට ලැබුණේ ඔහු ඒ වන විට තරුණ පරපුරේ ආදරය මෙන්ම තරුණියන්ගේ ආකර්ෂණය ද දිනා සිටින ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය අති දක්ෂ ක්‍රීඩකයෙකු බවයි.එම නිසා කිසිදු බාධකයකට ඔහුගේ ගමන නැවැත්වීමට ඉඩ නොතැබිය යුතු බව මා සිතුවෙමි .

මා නිවාඩුවට ලංකාවට ගිය විට හෂාන් මා කැටුව යාමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණීම බොහෝ දෙනාගේ අවධානයට ලක් වී තිබුණි.සමාජයේ ප්‍රසිද්ධ චරිත පිළිබඳව ඉතා ඉක්මනින් කතා පැතිරීම සාමාන්‍ය දෙයක් බැවින් හෂාන් හටත් එය පොදු දෙයක් වී තිබුණි.දිනක් ඔහු මට දුරකථනයෙන් අමතා පැවසුවේ බොහෝ දෙනා ,ඔහුට ඉන්දියානු තරුණියක් හා ප්‍රේම සම්බන්ධයක් ඇති දැයි විමසන බවයි.ඔහු ඒවාට පිළිතුරු සපයන්නට එතරම් උත්සාහ කර තිබුණේ නැති අතර සිනහවකින් පමණක් ඒවාට පිළිතුරු දී තිබුණි.

ඒ අතරතුර දී රජ පවුලේ පෞද්ගලික ගුවන් සේවයේ සේවය කිරීමට මට ඇරයුමක් ලැබුණි.Emirates ආයතනයෙන් මා අමතා එම ඇරයුම පිළිබඳව සියලු විස්තර පවසා එය පිළිගැනීමට මගේ කැමැත්ත විමසන ලදි.එම ගුවන් සේවයට සම්බන්ධ වීම එමිරේට්ස් ආයතනයේ සේවය කිරීමටත් වඩා ඉහළ තත්ත්වයකට යාමක් වන අතර එම ආයතනයට සම්බන්ධ වූ මගේ මිතුරියන් දියුණු වූ ආකාරය ද ඒ වන විට මා අසා තිබුණි.එමෙන්ම එම ආයතනය මගින් ගුවන් සේවා කාර්ය මණ්ඩලයට ලබාදෙන වැටුප් ,දීමනා සහ පහසුකම් ද ඉතා ඉහල තත්වයක පැවතුණි.නමුත් ඒ ලැබුනු අවස්ථාව පිළිබඳව සිතන්නවත් ඉඩ නොතියා ඉතා අනපේක්ෂිත සිදුවීමක් පසුව සිදුවිය

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles