මතක දිගහැරුම 124 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය විසි හතරවන දිගහැරුම ,

ක්‍රිකට් ආයතනයේ දිස්ත්‍රික් සංගම් පිහිටුවා ඇත.ඒ වගේම දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හොඳ ජාලයක් ද ක්‍රිකට් ආයතනය සතුව ඇත.පළාත් පුහුණුකරුවන් සහ දිස්ත්‍රික් පුහුණු කරුවන් ,සංගම්වල නිලධාරීන් , පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් ඇතුළු සියලු දෙනාගේම සහයෝගය ද මා හට නොමදව හිමි වූ අතර අප සියලු දෙනාම එකතු වී කාන්තා ක්‍රිකට් නංවාලීම සඳහා කටයුතු කළෙමු.අප සියලු දෙනාම එකතු වී සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් සංචිතයක් පිහිටෙවු වෙමු.මේ කටයුතු සඳහා දරුවන් එකතු කර ගැනීම ලේසි පහසු කටයුත්තක් වූයේ නැත.පුහුණුකරුවන් පාසල් වලට ගොස් එම පාසල් වල පුහුණුකරුවන් සමග කතාබහ කොට දක්ෂ දරුවන් සොයාගෙන අප කෙසේ හෝ එම සංචිත පිහිටුවීමේ කාර්ය්ය සිදු කෙරුවෙමු.විශේෂයෙන්ම එම සංචිත පිහිටුවීමේදී එම සෑම දිස්ත්‍රික්කයක් වෙතම මා ද ගියෙමි.

සංචිත පිහිටුවන ස්ථානවලට දරුවන්ගේ දෙමව්පියන් ද කැඳවා ක්‍රිකට් පිළිබඳව දැනුවත් කොට , අපගේ අරමුණු පැහැදිලි කර , ක්‍රිකට් ක්‍රීඩාව ඔස්සේ දරුවෙකුට යා හැකි මාර්ගය පැහැදිලි කොට අප එම කටයුතු ක්‍රමානුකූලව සිදු කෙරුවෙමු.අප ඔවුනට පැහැදිලි කළ විශේෂිතම කාරණාව නම් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳවයි.බොහෝ ගම්මාන වල දෙමවුපියන් තමන්ගේ ගැහැණු දරුවන්ව ක්‍රිකට් ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සඳහා පිරිමි පුහුණුකරුවෙකු වෙත අප කියූ සැනින් එවන්නේ නැත. එම දරුවන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳව වගකීමක් ඇති අයෙකු කටයුතු කළ යුතු විය .එම නිසා දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව මා වග කියනා බව එම සියලුම දෙමව්පියන්ට මා පැහැදිලි කළෙමි.

කෙසේ හෝ අප දිස්ත්‍රික් සංචිත පිහිටුවීමෙන් පසුව කෙරෙන වැඩපිළිවෙළ පිළිබඳව අප ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කළෙමු.ඒ අනුව ක්‍රිකට් ආයතනය මගින් අලුතින්ම දිස්ත්‍රික් සහ පළාත් මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම සඳහා අවශ්‍ය සියලුම ප්‍රතිපාදන ලබා දුන්හ .අප නිර්මාණය කළ සංචිතවල සිටින දක්ෂ දරුවන් සමග දිස්ත්‍රික් තරගාවලියක් පවත්වා එහිදී හොඳින් ක්‍රීඩා කරන දරුවන් සමග පළාත් තරග පවත්වා ඉතා හොඳින් ක්‍රීඩා කරන දරුවන්ව තෝරා සංවර්ධන සංචිතයක් නිර්මාණය කළෙමු .අවුරුදු 21 ට අඩු දක්ෂ දරුවන් ජාතික තලයේ පියවර තැබුවේ එසේය.අවුරුදු කිහිපයක් පුරාවටම අප එම කාර්යය සිදු කළෙමු .

අවුරුදු දෙකක පමණ කාලයක් මා දක්ෂ දරුවන් සොයමින් ගමින් ගමට සංචාරය කළෙමි.අඩු පහසුකම් සහිත ඉතා දුෂ්කර පාසල් වල පවා දක්ෂ දරුවන් සිටි අතර ,සමහර පාසල් වල ක්‍රිකට් කණ්ඩායමක් වත් සිටියේ නැත.නමුත් ඒවායේ ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුව සහ දක්ෂ කම ඇති දරුවන් සිටියහ.එම දරුවන්ගේ දෙමව්පියන් ගෙන්වා සාකච්ඡා කොට ඔවුන්ව ක්‍රීඩාව වෙත යොමු කිරීමට මා කටයුතු කළෙමි. මේ කටයුතු සම්බන්ධව ඉතා සුන්දර අත්දැකීම් මෙන්ම දුක්බර අත්දැකීම් ද මා සතුව ඇත.ඇතැම් පාසල්වල දරුවන්ගේ දරිද්‍රතාවය දුටුවිට දැනෙන්නේ අතිශය ශෝකජනක හැඟීමකි.

මුහුදේ ගමන් කිරීමට බිය වූ මා වරක් යාපනයේ පිහිටි අනලතිව් දුපතට ද ගමන් කළේ එම දූපතේ පිහිටි වසර එකසිය තිස් ගණනක් පැරණි පාසලක දරුවන් බැලීම සඳහාය .එම පාසලට ගමන් කිරීම අතිශයින් දුෂ්කර එකක් වූ අතර එම දිනවල මුහුද ද ඉතා රළු විය.යාපනයේ ගමනට මා අපගේ බාල පුතුවද කැටුව ගියෙමි.නමුත් නාවික හමුදාවට අයත් බෝට්ටුවකින් එම පාසල කරා යන ගමනට මා අපගේ පුතුව කැටුව ගියේ නැත.කුමක් හෝ අනතුරක් වේදෝ යැයි බියට මා ඔහුව හෝටලයේ නතර කර ගියෙමි.නමුත් ගමනින් පසුව මට සිතුනේ පුතුව කැටුව ආවා නම් එය ඔහුට මොනතරම් හොඳ අත්දැකීමක් වන්නට තිබුණා යැයි කියාය .

දූපතට ගොඩ බැස්ස පසු සිට පාසලට යාමට වාහන තිබුණේ නැත.අපට පාසල කරා යාමට සිදු වූයේ ත්‍රීරෝද රථවලින් ය .එම දූපතේ තිබුණේද නිවෙස් හාරසිය ගණනක් පමණි.කෙසේ හෝ එම පාසලේ අය චාරිත්‍ර වලට අනුව මා ඉතාම හොඳින් පිළිගත්හ.ඔවුන් පවසන්නේ එතරම් දුරක් ගෙවා ගෙන එම පාසලට විශේෂ අයෙක් පැමිණීම ඉතාම විරල සිදුවීමක් බවයි .මගේ පැමිණීම පිළිබඳව ඔවුන් අතිශයින්ම සතුටට වූවා මෙන්ම එය ඉතා ඉහළින් අගය කළහ .

” දුර බැහැර ගෙවාගෙන අපිව හොයාගෙන ඉස්කෝලෙටම ඇවිල්ලා, අපේ ළමයින්ට එන්න ක්‍රිකට් ගහන්න කියලා දැනුවත් කරලා මේ ළමයින්ව ගෙනියන කට්ටිය නැහැ.කවදාවත්ම එහෙම වෙලා නැහැ “

ඔවුන් පැවසුවේ එසේය.සමහර දෙමව්පියන් මට ආචාර කොට ඔවුන් ගේ දරුවන්ව ඉදිරියට රැගෙන යාමට උදව් කරන ලෙස ඉල්ලා සිටියහ.

” පොඩි කාලේ අපේ දක්ෂතා තිබුණා.අපිට මේවා කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ ඒත්.අපි දුප්පත් නිසා අපිට පහසුකම් තිබුණෙත් නැහැ.ඒ නිසා අපේ දක්ෂතාවයන් එහෙම්මම යට ගියා.පස්සේ අපේ අම්මලා තාත්තලා අපිව බන්දලා දීලා අපි ගෙවල් වලම නතර වුණා.අනේ මිස් අපේ දරුවන්ව වත් ඉස්සරහට ගෙනියන්න උදව් කරන්න “

සමහර දෙමව්පියන් ඒ ආකාරයට ඇවිටිලි කල අතර ඔවුන් ඔවුන්ගේ ජීවිත අත්දැකීම් ද අප සමග බෙදා ගත්හ. සමහරු ප්‍රදේශ වල පිහිටා තිබුණේ ඉතා කුඩා පාසල් වුවද ඒවායේ සිටින මිනිසුන්ගේ හදවත් වල තිබෙන ආදරය කියා නිම කළ නොහැකි තරම් විශාලය.ඒ වගේම ඔවුන් සිදුකරන ආගන්තුක සත්කාර සහ පිළිගැනීම ද අති විශාලය.අප රැස්වීම් පවත්වා අදාළ කටයුතු සාකච්ඡා කොට අවසන් වූ පසු ඔවුන් විසින්ම සකස් කළ ඉතා රසවත් ආහාරවලින් අප හට සංග්‍රහ කරන්නේ ය.එම සංග්‍රහයන් හැමවිටම දේශීය ආහාර සහ රසවත් කැවිලි වර්ග වලින් සමන්විත විය.එම මිනිසුන් මොන තරම් දුප්පත් වුවද ඔවුන්ගේ හදවත් ඉතාම පොහොසත් ය .

මා සෑම විටම උත්සාහ කරන්නේ පාසල් වල දක්ෂතා සහිතව සැඟවී සිටින දරුවන්ව ඉදිරියට රැගෙන ඒමටය .විවිධ පාසල් වල සංචාරයේ යෙදෙන විට ක්‍රීඩාවට අවශ්‍ය උපකරණ ඇත්තටම අවශ්‍ය කුමන පාසල් වලට දැයි තේරුම් ගැනීමට මා හට හැකි වේ.පාසල් ක්‍රිකට් සංගමය සහ ආයතනය හරහා අවශ්‍ය පාසල් වලට ඒවා ලබා දීමේ කටයුතු ද මා සම්පාදනය කර දෙමි.විශේෂයෙන්ම මෙය මා දකින්නේ එක් අතකින් සමාජ සත්කාරයක් හැටියටය.සමහර අවස්ථාවන් වලදී මාගේ හිතවතුන්ද කර පාසල්වල දරුවන්ට ක්‍රිකට් උපකරණ ලබාදීම සඳහා ඉදිරිපත් වූ අවස්ථා ද ඇත.

සමහර වැඩ කටයුතු වලට යන විට හෂාන් ව ද කැටුව යන්නේ ඔහුට නිවාඩු සහිත දිනවලදීය.ඔහුව දැකීම ගම්වල සිටින ජනතාවට ඉතාම සතුටක් ගෙන ගෙන දෙනවා මෙන්ම මගේ කටයුතු කරගැනීමට ද මට විශාල ශක්තියක් දැනේ. මා සමග හෂාන් පැමිණෙන බව දැනගත් විට සමහර ප්‍රදේශවල තොරණ් ඉදි කර ඉතා විශාල පිළිගැනීමේ උත්සව සූදානම් කර තිබුනි.ඔවුන්ගේ දුෂ්කරතා පිළිබඳව හොඳින්ම දන්නා නිසා අප බොහෝවිට සඳහන් කරන්නේ ආහාර පාන සහ පිළිගැනීම් ආදිය සූදානම් නොකරන ලෙසයි.නමුත් සිතුවිලිවලින් පොහොසත් එම ජනතාව අපව පිළි ගන්නේ අප සිතනවාටත් වඩා ඉහලින් ය.මා බළන්ගොඩ ප්‍රදේශයේ කළ සංචාරයකට මා අපගේ වැඩිමහල් පුතුව කැටුව ගියෙමි. ඔහු දැකීමෙන් එම ප්‍රදේශයේ අය විශාල ලෙස සතුටට පත්වූ අතර ඇතැමුන් පුතු සමඟ ඡායාරූපද ලබා ගත් හ.

” මේක නේද අම්මි වෙන්න ඕන.අපි හැමෝම මේක කරන්න ඕනේ.මෙහෙම ඇවිල්ලා මේ දරුවොත් එක්ක කතා කරලා ගියාම මේ දරුවෝ කොච්චර motivate වෙනවද ? තාත්ති වගේ කෙනෙක්ව දකින්න හම්බ වෙන්නේ නැහැනේ .ඉතින් මෙහෙම දැක්කම කොච්චර සතුටු වෙනවද එයාලා “

මා කරගෙන යන වැඩපිලිවෙළ පිළිබඳව මගේ දරුවන් ද නිරන්තරයෙන්ම මා හට ආශිර්වාද කරයි.ඇතැම් දිනවලට මම දින දෙක තුන එක දිගට නිවසෙ නැතිවන අවස්ථාවන් ද ඇත.මා දරුවන් වෙනුවෙන් අවශ්‍ය කටයුතු සියල්ලම සූදානම් කර යන අතර මගේ කාර්යභාරයන් පිළිබඳව තේරුම් ගෙන සිටින ඔවුන් ,ඔවුන්ගේ කටයුතු තනිවම කර ගනීයි.එවැනි අවස්ථාවන් වලදී හෂාන්ගේ දෙමව්පියන්ද මා හට විශාල සහයෝගයක් ලබා දෙති.මා නිවසේ නොමැති වුවද ඔවුන් සියල්ලම කළමනාකරණය කර ගන්නෙ එසේය.ඒ වගේම මගේ කටයුතු වලට හෂාන් ගෙන් ලැබෙන සහයෝගය ද කිව යුතුමය.මා කෙරෙහි විශ්වාසය තබන හෂාන් රාජකාරි කටයුතු ඉටු කිරීම සඳහා පූර්ණ නිදහස මා හට ලබා දී තිබේ.එපමනක් නොව ක්‍රිකට් ආයතනයේ සිටින රියදුරු මහත්වරුන් හටද මා ස්තුතිවන්ත වන්නේ අතිශය දුෂ්කර ගමන් වලදී පවා ඉතා ආරක්ෂාකාරීව මා රැගෙන යන බැවිනි.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles