හිතේ හයිය.

“ඔයාට තියෙන්නේ ආපහු කසාදයක් කර ගන්න..”

එක්දාස් හයසියවෙනි පාරට බිත්තර එකම කතාව ආයෙ ආයෙම ඇහෙනකොට මධූට ඇති වෙන්නේ මහා කේන්තියක්.හැමදාම මධූගේ සාර්ථකත්වය මනින්න හැමෝම පාවිච්චි කරන්නේ එකම එක මිම්මක්.

“මැරි කරන්න මධූ..”

“පොඩි දෙන්නට තාත්තා කෙනෙක් ඕන නේද?”

“ඔයාගේ බිස්නස් එක ඔය විදියට අරගෙන යන්න අමාරුයි. ඔයාට හයියක් වෙයි ඕන..”

” මහන්සි වෙනවා හොඳටම ඇති.හරි කරලා ඒ දේවල් හස්බන්ට බාර දීලා ඔයා ටිකක් නිදහසේ ඉන්න..”

හැමෝටම තියෙන්නෙ එකම එක කතාවක්.ඒ අයම අවුරුදු පහකට කලින් කියපු කතාවක් මදූට අමතක නැහැ.

මධූත් අවුරුදු දහයකට කලින් විවාහ වුණේ අනිත් හැම ගෑනියෙක් ම වගේ හිතේ හීන කෝටියක් පුරෝගෙන.ලස්සන වෙඩින් එකකට පස්සෙ ආදර කතාවක් ජයගත්ත කියන සතුටත් එක්ක මධු ජීවත් වුණේ සුරංගනා ලෝකෙක.ඇත්තටම මධූට දුකින් ඉන්න කාරණාවක් තිබුණෙත් නෑ.රස්සාවට යනවා.ගෙදර එනවා.සති අන්තයේ ඇවිදිනවා.අලුත් කෑම ජාති හදන්න ට්‍රයි කරනවා.ජීවිතයක් සාර්ථකයි කියලා මේ වගේ පොඩි රටක පිළිගන්න හැම මිනුමක් ම මධු සම්පූර්ණ කරගෙන තමයි හිටියෙ.

“වෙනුරට වෙන සම්බන්ධයක් තියනවා..”

Couple in angry

ඒ කතාව කණින් කොණින් ඇහෙද්දි පවා මධූ වැඩ කරේ ඉවසීමෙන්.එහෙම එක පාරට එන කුණාටු වලට කලබල වෙන්න හොඳ නෑ කියලා මධූ දැනගෙන හිටියා.ඒ උනාට හැමදාම බොරුවට හැංගිලා ජීවත් වෙන්න බෑ.වෙනුරගේ බොරුවටත් සිද්ධ වුණේ අන්න ඒ දේ.දෙන්නෙකුට ආදරය කරනවා නම් එක්කෙනෙක්ව තෝරගන්න ඕනෑ! ඒක බොහොම ප්‍රසිද්ධ කතාවක්.මං දෙන්නෙක්ට ආදරය කරනවා කියලා වෙනුර තේරුම් ගන්නකොට ලොකු දුවට අවුරුදු තුනක් වීමත් චූටි පුතා ඉපදෙන්න මාස තුන හතරක් ඉතුරු වෙලා තිබීමත් මහා විනාශයක් වගේ හැමෝටම පෙනුණා.

ගෑනු හරි සංවේදී.හැබැයි තමන්ගේ ශක්තිය තේරුම් ගත්ත දවසට ගෑනුන්ට වඩා හයිය තියෙන කවුරුත්ම නෑ!

මධූ එහෙම හිතන්න පටන් ගත්තෙ වෙනුරට දික්කසාදය දෙන්න ඕනේ කියලා තීරණය කරපු දවස්වල.මේ දවස් වල කතා කියන ඒ දවස් වල කිව්වේ වෙනම කතාවක්.

“අම්මා කෙනෙක් වුණානම් ඉවසන්න ඕන. මධූ ඔයා වෙනුරට සමාව දෙන්න.ඔයාට ළමයි දෙන්නෙක් තනියම හදාගන්න බෑ.ඔයා දික්කසාද නොදී හිටියොත් වෙනුරට කර කියා ගන්න දෙයක් නැතුව යනවා.”

ඒ වගේ කතා හඬ මානසිකත්වයක මධූ හිටියේ නැහැ.වෙනත් ගැහැනියකට ආදරේ කරමින් ඇය වෙත බැඳුණු කෙනෙක් තමන් ළඟ බලෙන් රඳවා ගන්න අවශ්‍ය නෑ කියලා මධූ හිතුවා.

“මගෙන් වෙන් වුණාට ඔයා බබාලා ගෙ තාත්තා.එයාලට ඔයාට තියෙන යුතුකම් ඉෂ්ට කරන එක ඔයාගේ වැඩක්.”

දික්කසාදය ලැබුණු දවසෙ මධූ වෙනුරට කිව්වේ එච්චරයි.ඒ උනාට වෙනුවට ඒ කතාව ඒ තරම් මතකයක තිබුණෙ නෑ.වෙනුරගේ අලුත් පවුල වියදම් වැඩි වුණු නිසාද තමන්ගේ දරුවන්ව අමතක වුණු නිසාද කියලා හේතුව මධූ නොදැන හිටියත් වෙනුර දරුවන්ගේ යුතුකම් පවා මගාරින්න පටන් ගත්තා.

“නෙත්මි ඇඳගෙන ඉන්න ගවුම හරිම ලස්සනයි.අනේ ඔයා කොහෙන්ද ඒක ගත්තෙ.”

සමහර තීරණාත්මක මොහොතවල් උදා වෙන්නේ අපි නොහිතන වෙලාවක.මධූට ඒ මොහොත උදා වුනෙත් ඒ වගේ.මධූගේ දුව,නෙත්මිගෙ පෙර පාසල් මිතුරියකගේ අම්මා එහෙම ඇහුවේ නෙත්මි ඇඳගෙන ඉන්න පුංචි ගවුම දිහා ආසාවෙන් බලන ගමන්.වියදම් සතේටම පිරිමහ ගන්න ඕන නිසා ලස්සන ලස්සන සාප්පු ගවුම් දිහා ඇහැක් ඇරලා නොබලා නෙත්මිගේ ගවුම් තමන්ම මහන බව ඒ නොදන්න ගැහැණියට කියන්න මධූට හිතුණේ නෑ.ඒ වෙනුවට මධූ වෙනත් කතාවක් කිව්වා.

“අපේ බබාට ගොඩක් වෙලාවට ගවුම් මහන්නේ මම.”

ඒ කතාව අවසන් වුණේ තමන්ගේ දරුවාට ගවුමක් මහන ඉල්ලපු මිතුරියක් මධූට ඇතිවෙලා.මධූගේ පළමුවෙනි පාරිභෝගිකයා උනේ ඇය,හිමාලි.මධූ ජීවත් වෙන්නේ මල් පිපුණු ලෝකයක නොවෙන බව තේරුම් ගත්ත හිමාලි බොහොම ඉක්මනින් මධූට හොඳම මිතුරියක් වුණා.

“අනේ ඔයාට කරදරයක් නැත්නම් මගේ බබාටත් මේ වගේ ගවුමක් මහන්නකෝ..”

පෙරපාසල් අම්මලාගේ ඇණවුම් ගලාගෙන එනකොට ෆේස්බුක් පේජ් එකක් හදලා ඇඳුම් ව්‍යාපාරයක් පටන් ගන්න මධූව දිරිමත් කළේ ම හිමාලි.මධූ ඒ සිහිනය බාරගත්තා.දියණියන් කුඩා සුරඟනන් බවට හරවන මධූගේ මැජික් අත් දෙක දවසින් දවස සාර්ථක විලාසිතා කරන්න පටන් ගත්තා.මධූ දවසින් දවස සාර්ථක වුණේ සාර්ථක ව්‍යාපාරික කාන්තාවක ලෙස තමන්ගේ නම විලාසිතා ක්ෂේත්‍රයේ රඳවා ගනිමින්.ෆේස්බුක් පේජ් එක කුඩා රෙදිපිළි වෙළඳ සැලක් බවටත් රට පුරා පැතිරුණු නිමි ඇඳුම් ජාලයක් බවටත් පත් වෙන්න ගත වුණේ බොහොම ටික කාලයයි.

අහඹු සිදුවීමකින් ධෛර්යය අරගෙන මධූ බොහෝම දුරක් ඇවිදගෙන ආවා.ඒ මාවත කිසිම විදියකට පහසු එකක් නෙමෙයි.ඒ කටුක මාවතේ බොහෝ දේවල් ඇය දරා ගත්තේ ගැහැනියක මොනම විදියකටත් කඩා වැටෙන්න උවමනා නෑ කියන එක තරයේම හිතමින්.දැන් ඇය හිතන්නේ ඇය දිනලා අවසාන බවක්.

“දැන් ඔයා සාර්ථකයිනෙ.ආපහු කසාද බඳින්න. වෙනුරට සෑහෙන්න දුක හිතෙයි.”

මධූ ට දුක හිතෙන්නේ එහෙම කියන අය ගැන.ඇය ඇගේ ගමන ආවේ අමාරුවෙන්.ඒ කාලේ ශක්තියක් වෙන්න කවුරුත් උවමනා නොවුණානම් දැන් අවශ්‍යයි කියලා මධූට හිතෙන්නෙ නෑ.ඇය ඇගේ ගමන ප්‍රවේශමෙන් ඉදිරියට ඇවිදගෙන යන්න දන්නවා.ඉතින් මොකටද පිරිමියෙකුගේ හයියක්.අනික වෙනුරට රිදවන්නත් ඇයට ඇති උවමනාවක් නෑ.ඔහු පිට වෙලා ගියේ ඇයට වඩා සතුටක් හොයාගෙන.ඒ නිසා මධු රටේ අගමැතිනිය වුණත් වෙනුරට රිදෙයි කියලා මධූ හිතන්නෙත් නෑ.

“මට පිරිමියකුගේ හයියක් ඕනෙ නෑ.ඒ වගේම තමයි වෙනුරට රිද්දන්න ඕනිත් නෑ.මට මේ විදියට හැමදාම ජීවත් වෙන්න පුළුවන්..”

මීට විනාඩි කිහිපයකට කලිනුත් මධූ ආපහු විවාහ වීමේ ඇති වැදගත්කම පැහැදිලි කරපු මිතුරියකට බොහොම කරුණාවෙන් කියපු මධූ හිනා උනේ සැනසිල්ලෙන්.

“මට මම හිටියම ඇති!” කැඩපතෙන් පේන රුව දිහා බලාගෙන මධු මුමුණා ගත්තෙ විශ්වාසයෙන්.

More Stories

Don't Miss


Latest Articles