ශරදාකාසේ -34

“විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ නීති අයිතිය ගැන තමයි. ආදරේ යකාට ගියාවෙ බං. ඔය ආදරේ ගැන මොන හෑලි කිව්වත් තඹ සතේකට විස්සාස කරන්නෙපා පිරිමිව. නීතියෙං බැඳ ගත්තනං මොන සෙල්ලං දැම්මත් හැම දේකම අයිතිය තියෙන්නෙ කසාද ගෑනිට. උරුමෙ කසාද ගෑනිගෙ දරුවන්ට”

පංචලී ගේ මව් කියවා ගෙන ගියා ය. ශාරද හා විවාහ වීම ට පංචලී පසුබාමින් සිටීම ඇගේ උදහසට හේතු වී තිබිණි. පංචලී අලුත උපන් බිළිඳා ගේ කිරි මුහුණ ට එබී ගෙන සිටියා ය. ඒ ඇස් වීදුරු බෝල මෙන් දීප්තිමත් ය. පිවිතුරු ය. නැවුම් ය. ඒ කිරි සිනහා සදෙව් ලොවක් සමග කරනා සන්නිවේදනයක් සේ ය. මේ ටිකට ඇය විසි තිස් වකාවකට වඩා පැටියා ගේ කොපුල් සිප ගත්තා ය.

“ඔය තරං ඉඹින්න එපා. කොල්ලගෙ කම්බුල් මහත් වෙලා එල්ලෙන්න ගනී”

එවර අම්මා කෑ ගැසුවා ය. පංචලී දරුවා වෙතින් මෑත් වූවා ය.

“කසාදෙ ලියලම යන රටකට යන එකයි. මේ දවස් ටිකේ මිනිස්සුන්ගෙ පදයක් අහ ගන්නෙ නැතුව අපි හිටියෙ මහත්තය උඹත් එක්ක හිටිය නිසා. නැත්තං මොන නව නිංගිරහවක්ද වෙන්නෙ…පස්සෙ කටු ගෑවුණත් කමක් නෑ බං. ගෑනියෙක්ට බැන්දයි කියන්න හරි කසාදයක් කෙරිල තියෙන්න ඕනෙ”

අම්මා ගේ සියලු අදහස් හා මති මතාන්තර සමග එකඟ වෙන්නට පංචලී ට නො හැකි ය. නමුත් සම්මත සමාජ ක්‍රමයට අනුව ඇය කියන කතා වල අසත්‍යතාවයක් නොවන බව ද ඇය දනී. 

“මට බයයි අම්මෙ ඔය කසාදෙ කියන දේට. ඕකෙං හිර කළහම මිනිස්සු බලන්නෙ ඒකෙං ගැලවිලා යන්න. බැඳිල හිර වෙලා ඉන්නවට වැඩිය නිදහස තියනව කියල දන්න තැනක මිනිස්සු කැමැත්තෙන් ඉන්නව. කසාදෙ කියන කෙහෙල්මල නිසා ශාරද මටත් නිශාමනීට කරපු දේම නොකර ඉඳීද…එහෙම හිතනවට වැඩිය මට ලේසියි කසාද බඳින්න ඕන නෑ කියල හිතන එක. එයා ඔහොම හිටපුදෙං. යන්න ඕන වුණොත් ගියදෙං”

“මෝඩියෙ”

අම්මා දත් මිටි කෑවා ය.

“යන එකා බැන්දත් යනව නොබැන්දත් යනව. අනික උඹ හිතන්න එපා ඔය උඹ කියවන පොත් වල ඉන්නව පිරිමි ඇත්ත ලෝකෙ ඉන්නවයි කියල. ඉඩක් ලැබුණ ගමන් පිරිමි පිට පනිනව තමයි බං. ඒක මේ අද ඊයෙක සිද්ද වෙන්න පටං ගත්ත දෙයක් නෙවෙයි. අන්න ඒ නිසා තමයි ගෑනුන්ගෙ ආරස්සාවට නීතියයි කසාදයයි කියන දේ ඕන වෙන්නෙ”

පංචලී දිගු සුසුමක් හෙළුවා ය. ආදරය කරනා පිරිමියෙකුට දාව දරුවෙකු ලබා ගන්නට ගැහැනියක ගේ යටි හිතෙහි සැඟවී ඇති ප්‍රවේණිගත ආශාව ගැන ඇය අම්මා ට කියන්නට ගියේ නැත. ශාරද කියන්නේ කිසි දා හිමි කර ගත නො හැකි පුරුෂයෙකු බව පංචලී සිතුවා ය. ඔහු ගේ දරුවෙකු ලබා ගන්නට ඈ තුළ වූ නො සන්සිඳෙන ආශාව, ඒ වලක්වා ගන්නට තිබූ අවස්ථා හා පහසුකම් මගහැර ගන්නට හේතුවක් වූවා විය හැක. ලංකාව වන් රට වල එය අරුමයක් වී ද පිට රට වල ගැහැනුන් තමන් ප්‍රිය කරන මිනිසෙකු ගෙන් දරුවෙකු ලබා ගෙන ඒ දරුවා හදා වඩා ගනිමින් සාඩම්බර මව්වරු ලෙස ජීවත් වෙන බව පංචලී පොත පතින් කියවා තිබුණා ය. ඒ ආකාරයෙන් රටින් පිට වී හෝ ඇය වඩාත් ආශා කරන ජීවිතය ගත කිරීමේ අදහසක් පංචලී ගේ යටි හිතෙහි හෝ වන්නට ඇත.

“යකෝ මිනිහෙක්ට අයිති දේපළ වුණත් දවසක අයිති වෙන්නෙ කසාද ගෑනිගෙ දරුවන්ට”

එවර නම් පංචලී ගේ මුවගට සමච්චල් සිනහවක් ආවේ ය.

“මං ශාරදව බඳිනවනං…කොහොමත් එයාට අයිති හැම දේම එයාගෙ දුවගෙ නමට ලියල එන්න කියල කියනව”

අම්මා දෙතොල් ඇද කොට කේන්තියෙන් ඉවත බැලුවා ය.

“මට ඒ මොනාත් ඕන්නෑ අම්මෙ. ඇත්ත. මං ශාරදට ආදරේ කළා. හැබැයි එතන අවලං හැඟීමක් තිබුණෙ නෑ. වෙන යටි අරමුණක් තිබුණෙත් නෑ. එයා ඒක දන්නව. එයා මටයි මේ පැටියටයි ආදරෙයි කියන එකත් මං දන්නව”

“උඹ චූටි කාලෙ මං එක ගේක වැඩ කළා. හරි ලස්සන නෝනයි මහත්තයයි. ඒ වගේමයි පුතයි දුවයි. පුදුම ලස්සනක්. කුරුලු කූඩුවක් වගේ. හරි සතුටෙන් ජීවත් වුණේ. හිටි ගමං මහත්තය පපුවෙ අමාරුවකින් මැරුණා. හැබැයි මේ නෝනට මිණිය ලැබුණෙ නෑ. එතකොට තමයි ඒ පැත්තෙ මිනිස්සු දැන ගත්තෙ ඒ ජෝඩුව කසාද බැඳල නෑ කියල. කසාද නෝනගෙන් වෙන් වෙලා තමයි මේ නෝනත් එක්ක දරුවොත් හදං ජීවත් වෙලා තියෙන්නෙ. කසාද නෝනා දික්කසාදෙ දුන්නෙම නෑලු. ඒ මහත්තයගෙ දේපල දරුවන්ට අයිති වෙන්න ඕන කියල. මහත්තයගෙ මරණෙන් පස්සෙ ඒ නෝන කට්ටිය එක්ක ආව මේ නෝනව පන්නල ගේ අයිති කර ගන්න. හැබැයි මහත්තය මේ නෝනගෙ නමට ගේ ලියලයි තිබිල තියෙන්නෙ. මහත්තයගෙ අනිත් දේපලත් පවුල් දෙකේ දරුවො හතර දෙනාටම සමානව ලියල තිබිල. මිනිස්සුන්ගෙ පවුල් ජීවිතයි ඔය ආදරේ කියන කෙහෙල්මලයි මටනං තේරුං ගන්න බෑ බං. මන්නං කියන්නෙ ශාරද මහත්තය ඔච්චර කියන එකේ එයාව බැඳපං. රටේ ලෝකෙ මිනිස්සු හිනස්සන්නෙ නැතුව”

අවසානයේ පංචලී ට එසේ කරන්නට හිත හදා ගන්නට සිදු වූයේ ඔවුන් පවුලක් ලෙස විදේශ ගත වෙනවා නම් විවාහ සහතිකයේ අවශ්‍යතාවය වඩා වැදගත් ලෙස ඉස්මතු වූ නිසා ය. දරුවා ලැබී දෙමසක් ගෙවුණ තැන, මව් පියන් විවාහකද යන තීරයෙහි ඔව් ලෙස සනිටුහන් කරමින් බිළිඳා ගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කළ හැකි විය. නමුත් විවාහ ලියාපදිංචිය පංචලී ට දැනුණේ සැහැල්ලුවක් ලෙස නොව බරක් ලෙස ය. 

“මේ හැම දේම මේ තරං ඉක්මනට මෙහෙම වෙයි කියල මං හිතුවෙ නෑ මල්ලි”

විදේශ ගත වීම සඳහා ලේඛණ සකසන අතර වාරයේ ශාරද වතාවක් ආකාස මුණගැසී කීවේ ය. ආකාස අදහසක් ප්‍රකාශ කරන්නට ගියේ නැත. දැන් මොනවා කීවත් පලක් නොවන බව ඔහු දනී. 

“එසඳිගෙ හිතේ මං ගැන මොන විදිහෙ චිත්‍රයක් ඇඳෙයිද කියල මං දන්නෙ නෑ. හැබැයි තමුසෙ නිසා එයාගෙ හිත සන්සුන් වෙයි කියල මට හිතෙනව”

“ඒ දරුව පව් ඕයි”

“එසඳි කියන්නෙ මගෙ පලවෙනි දරුවා. දරුවො දෙන්නටම මං එක වගේ ආදරෙයි මල්ලි”

“අයියල පදිංචියටමද යන්නෙ…”

“එහෙම වෙයි. කොහොමත් මං ඈත් වෙලා ඉන්න එක නිශාමනීටත් එයාගෙ අනාගතේ හදා ගන්න ලේසියක් වෙයි. සමහර විට එසඳි මාව අමතක ම කරයි. හැබැයි මල්ලි ඔයා එයා ළඟ ඉන්න නිසා මට ඒ ගැන වුණත් හිත හදා ගන්න පුළුවන්. හැබැයි හැමදාමත් එයා මගෙ හදවතේ මගෙ දුව. ඒක වෙනස් වෙන්නෙ නෑ”

“ඇයි ඕයි අපිට මෙහෙම වුණේ…”

ආකාස ගේ ඇස් වල කඳුළු පටලයක්  විය. ශාරද ඔහු ගේ උරහිසට තට්ටුවක් දැමුවේ ය. ඒ ප්‍රශ්නයට පිළිතුරු ආකාස ට දෙන්නට තබා තමන්ට ම දී ගන්නට වුව ශාරද දන්නේ නැත. 

“වෙන්න තියන විදිහට වෙන්නැති මල්ලි හැම දේම වුණේ. මං හිතන්නෙ මට පංචලී ළඟ සතුටෙන් ඉන්න පුළුවන් වෙයි නිශාමනී ළඟ හිටියට වඩා. නිශාමනීටත් වෙන කෙනෙක් එක්ක හොඳ ෆැමිලි ලයිෆ් එකක් තියෙයි. එයා සතුටෙන් ඉඳී. එයා හරි හොඳ ගෑනියෙක්. මං නෙවෙයි එයාට ලැබෙන්න තිබුණ පිරිමියා”

ගුවන් ගත වීමට නියමිත දිනයේ ඔවුන් සමග දිවා ආහාර ගන්නට කැමති දැයි ශාරද නිශාමනී ට දුරකතන ඇමතුමක් දී ඇසුවේ ය. 

“ඇයි බැරි…ඔයා එසඳිට බායි කියන්න ඕනනෙ. මං දුවව එක්කං එන්නං”

ඇය ගත් කටට ම කීවා ය. තමන් තුළ වේදනාවක් නැත්දැයි ඇගෙන් ම අසන්නට නිශාමනී මේ අවස්ථාව කර ගත්තා ය. සිත ඇය ට දුන් පිළිතුර නැත ය යන්නයි. දික්කසාද නඩුව ඇසී ගෙන යන අතර වාරයේත් එවන් දුකක් නො තිබුණායි කිව නො හැකි ය. නමුත් දැන් ඒ සියල් හැඟීම් නෂ්ට ව ගොසිනි. එසඳි හැරුණු විට යටගියාවෙන් ඉතිරි ව ඇත්තේ හිස් කමක් පමණකි. සමහර විට ඒ හිස් කම තුළ ද කලකිරීමක හෝ පසුතැවීමක සලකුණු නැත්තේ ය.ඒ වෙනුවට නිදහස් හා සැසිලිදායක බවක් දැන් ඇය ට දැනේ. 

“ඒක මටත් තේරුං ගන්න බෑ. ශාරදත් එක්ක ජීවත් වෙන කාලෙ ඒ පවුල් ජීවිතේ ඇතුළෙ ඉන්න ඕන කියන හැඟීම මිසක් අලුත් වෙන ආදරයක් නොතිබුණාද කියල මට දැන් හිතෙනව. ඒක හරියට ගොළුබෙල්ලෙකුට එයාගෙ කටුව ආරක්ෂාවක් වගේ…මැරේජ් එක කියන කටුව ඇතුළෙ මං ඔහේ හිටිය ද කියල හිතෙනව”

නිශාමනී චේතනා සමගින් සිය ආත්මය පාපොච්චාරණය කිරීමේ උත්සාහයක් ගත්තා ය. 

“ඔයාටම දොස් කියා ගන්න එපා”

චේතනා ට සිය මිතුරිය ගැන අවංක සංවේගයක් දැනිණ.

“නැත්තං මට කිසි ගාණක් නැත්තෙ ඇයි…ශාරද පංචලීව බැන්දයි කියලවත් මට ඊරිසියාවක් දැනෙන්නැත්තෙ ඇයි…මට හිතෙන විදිහට අපි දෙන්නම සෑහෙන දුරකයි ඉඳල තියෙන්නෙ අපේ හදවත් වලින්. එයාට වෙන සම්බන්දයක් තියනව කියල දැන ගත්ත වෙලාවෙ මං ඇඬුවෙ හැපුණෙ මගෙ අර ගොළුබෙලි කටුව කැඩිල බිඳිල මං අනතුරෙයි කියන හැඟීමෙන් වෙන්න ඕන. මං සේෆ් කියල දැනෙනකොට ශාරද නැති වෙන එක ගැන බයක් දැනුණෙ නෑ. හැම දේම තියෙන්නෙ අපේ හිත් වල චේති”

“හ්ම්”

“ශාරද පංචලී එක්ක හොඳින් ඉඳියි. මට වඩා එයාට පංචලී ගැලපෙයි”

“ශාරද ගැන එයා බලා ගනී. දැන් ඔයා බලා ගන්න ඕන ඔයා ගැන. එසඳිගෙ පැත්තෙනුත් හිතුවොත්…ආකාස ගැන ඔයා මොකද හිතන්නෙ…”

“මං මුකුත් හිතන්නෑ චේති”

“හිස් වෙලා යන්න එපා. අපිට දරුවෙක් හදා ගන්න පිරිමියෙක් ඕන නෑ. ඒකට හිතේ හයිය විතරයි ඕනෙ. හැබැයි ගෑනියෙක් විදිහට සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන්න පිරිමියෙක්ගෙ ආදරේ ඕනෙ”

චේතනා ගේ ඒ වචන ටික නිශාමනී ගේ අභ්‍යන්තරයේ පිළිරැව් දෙමින් තිබියදී ය ශාරද ට සමු දෙන්නට තරු පන්තියේ හෝටලයක දිවා භෝජනය සඳහා ගියේ. ශාරද ගේ පුතා බලන්නට යන්න හිටියා ට නිශාමනී ට ඊට වෙලාවක් තිබුණේ නැත. සමහර විට ඇය උවමනාවෙන් ම වෙලාවක් සොයා ගැනීම මගහැර දැමුවා වන්නටත් පුළුවන. කෙසේ වෙතත් මේ සමු ගැනීමේ භෝජන සංග්‍රහයට යන්නට පෙර නිශාමනී බිළිඳා වෙනුවෙන් රන් දම්වැලක් සහ පංචායුධයක් මිල දී ගත්තා ය. ඇය හෝටලය වෙත ගියේ එසඳි ද කැටිව රිය පදවා ගෙන ය. ශාරද ලාව ගුවන් තොටුපළ වෙත ගෙන යන්නට ආකාස ට භාර වී තිබුණෙන් ඔහු ආවේ ඔවුන් ව රියෙහි නංවා ගෙන ය. රථ ගාලේ දී නිශාමනී රිය පදවා ගෙන විත් නතර වනු දුටු ශාරද ඇදෙස ම බලා සිටියේ ය. පංචලී ඒ දැක ඉවත බලා ගත්තා ය.

“බාප්ප…”

එසඳි දිව ගොස් ආකාස වෙත දැවටිණ. ඔහු දැරිය ඔසවා ගත්තේ ය. නිශාමනී පංචලී වෙත ගොස් ඈ තුරුළේ උන් බිළිඳා ගේ මුහුණට එබී, තිළිණය පංචලී අත තැබුවා ය.

“එසඳි පුතා…තාත්තට ආයෙ ගොඩක් කාලෙකට ඔයාව වඩා ගන්න වෙන්නෙ නෑ. එන්න පුතේ තාත්ත අතට”

ශාරද එසේ පවසමින් එසඳි ට දෑත පාත්දී නම් නිශාමනී ගේ පපුව පැලෙන්නට හැදුවේ ය. එසඳි ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොමැති වූයෙන් නිශාමනී ආකාස අතින් දියණිය ගෙන ශාරද ට දුන්නා ය.

“ආයෙ දකිනකොට එයාට තාත්ත අමතක වෙලා තියෙයි”

ඇය ට එසේ කියවී තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...

නිබ්බුත ගීත -28

මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක්...

සුහදිනි -77

අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු  දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ...