ලේසියෙන්ම හදන්න පුලුවන් ලෝකේ වටේම තියෙන විවිධ පාන් වර්ග

පාන්, ශ්‍රී ලංකාවෙ අපිට බොහොම ළඟ කෑමක්නෙ. 

පාන් එක්ක සම්බෝල, පාන් එක්ක පරිප්පු එහෙමත් නැත්නම් කුකුල් මස් හොද්දක් කාල තේ එකක් බොද්දි දැනෙන අමුතුම රසවත් හැඟීම සමහර වෙලාවට තරු පහේ හෝටලයකින් ගන්න මිල අධික කෑම වේලකින් ගන්න බෑ කියලයි සමහරු කියන්නෙ.

ඒ වගේම බටර් එක්ක සීනි, බටර් එක්ක මාමයිට් සහ අල එක්ක බිත්තර එකතු කරල පාන්වල තවරල කන අපිටම ආවේණික ක්‍රමත් ඒ අතරේ හරිම ජනප්‍රියයි. 

තැටි පාන්, රෝස් පාන්, කිරි පාන් වගේම ඉන්දියානු නාන් පාන් වර්ගත් මේ වෙද්දී ලංකාවෙ හරිම ජනප්‍රිය වෙලයි තියන්නෙ. 

ඉතිං මේ වගේම විවිධ රටවල පාන් වර්ග තියෙනව. අද අපි ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ

ප්‍රංශයට ආවේණික baguettes,

තුර්කියට ආවේණික turkish pide සහ 

චීනයට ආවේණික mantou කියන පාන් වර්ග හදන්නෙ කොහොමද කියලයි. 

French Baguettes 

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි 500g ක් (all purpose powder නම් වඩාත් හොඳයි)
  • වතුර 360 g ක් 
  • ලුණු කුඩු 10 g ක්
  • ඊස්ට් 3 g ක් 
  • මී පැණි 30 g ක් 

සාදාගන්නා ආකාරය 

වීදුරු භාජනයක් ගෙන එයට සූදානම් කරගත් අමුද්‍රව්‍ය සියල්ල එක්කර හොඳින් මිශ්‍රකර ගන්න. 

පොලිතින් කොළයකින් භාජනය සීල් වන ලෙස වසා විනාඩි 10 ක් තබන්න.

පැය 1 ½ ක කාලයක් තුළ විනාඩි 30 ක් 40 ක් අතර කාල පරාස වලදී විටින් විට මිශ්‍රණය ඉහළට ඇඳ උඩ යට මාරු කරන්න. 

මෙලෙස වාර 03 ක් කළ යුතුයි. 

දැන් නැවත මේ භාජනය පොලිතීන් ආවරණයක් භාවිතයෙන් හොඳින් ආවරණය කළ රැයක් එළිවන තුරු ශීතකරණයේ තබන්න. 

(පැය 12- 14 ක් පමණ)

පිටි මිශ්‍රණය ශීතකරණයෙන් ඉවතට ගෙන කොටස් තුනකට වෙන් කරගන්න.

වෙන් කරගත් කොටස් තුන සෘජුකෝණාස්‍ර හැඩයට සකස් කර ආවරණය කර නැවත විනාඩි 45 ක් 60 ක් අතර කාලයක් සාමාන්‍ය කාමර ඌෂ්ණත්වයේ තබන්න. 

මේ අතර අවන් එක ෆැරන්හයිට් 500 / සෙල්සියස් 260 ඌෂ්ණත්වය රත්වීමට තබන්න.

පිටි ඉසගත් මේසයක් හෝ ලෑල්ලක් මතට සමචතුරස්‍රාකාර පිටි මිශ්‍රණ තුන දමා සිලින්ඩරය හැඩයට සාදාගෙන දෙපැත්තෙන් රවුම් හැඩයට සකස් කරන්න. 

දැන් සෙමින් අතින් අඳිමින් අඟල් 14 ක් 16 ක් අතර ප්‍රමාණයේ දිගු සිලින්ඩර හැඩයට සාදාගන්න.

පිටි ස්වල්පයක් ඉසගත් මතුපිටක් මත සාදාගත් සිලින්ඩර හැඩැති පිටි මිශ්‍රණ තුන අතුරා ආවරණය කර විනාඩි 30 ත් 60 ත් අතර කාලයක් තබන්න.

තැටියක් මතට තෙල් කඩදාසියක් දමා පිටි මිශ්‍රණ තුන ඒ මත තබන්න. තෙල් කඩදාසිම යොදාගෙන එකිනෙක වෙන්කරගන්න. 

උඩින් පිටි ස්වල්පයක් ඉස පිහිතලයක් ආධාරයෙන් හැඩයට ඉරි කීපයල් ඇඳගන්න.

ෆැරන්හයිට් 475 / සෙල්සියස් 246 ඌෂ්ණත්වයේ විනාඩි 15 ක් බේක් කරගන්න. 

දැන් නැවත උඩ යට මාරු කර ෆැරන්හයිට් 450 / සෙල්සියස් 232 ඌෂ්ණත්වයේ විනාඩි 15 ක් බේක් කරගන්න. 

Mantou / Chinese steam bun

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි 250g ක්
  • ඊස්ට් තේ හැඳි 01 ක්
  • බේකින් පවුඩර් තේ හැඳි ¾ ක්
  • සීනි මේස හැඳි 01 ක්
  • කාමර උෂ්ණත්වයේ පවතින ජලය 130ml ක්

සාදාගන්නා ආකාරය

මුලින්ම වීදුරු භාජනයක් ගෙන එයට පිටි, ඊස්ට්, බේකින් පවුඩර් සහ සීනි එක්කර හොඳින් කලවම් කරන්න දැන් එයට වතුර ස්වල්පය බැගින් එක්කරමින් හොඳින් අතින් කලවම් කර අතේ නොඇලෙන මෘදු පිටි මිශ්‍රණයක් සාදාගන්න. 

දැන් ඒ පිටි මිශ්‍රණය සිලින්ඩර හැඩයට සාදාගෙන සමාන කොටස් වලට කපා ගන්න.

වෙන් කරගත් කොටස් අල්ලෙන් රවුමට තද කරමින් පැතලි කර රවුමේ දාරය මැදට එකතු කර බෝල හැඩයට සාදාගන්න. 

(මල් හැඩයට සාදාගන්නත් පුළුවන්)

විනාඩි 30 ක් තබන්න. 

වතුර භාජනයක් ලිප තබා ඊට උඩින් තට්ටු වල සාදගත් පිටි බෝල හෝ මල් අතුරා භාජනය වසා තබන්න. ස්ටීමර් එකක් භාවිතයෙන් හෝ රයිස් කුකරයේ තම්බා ගන්න වුනත් පුළුවන්. වතුර නටන විට උෂ්ණත්වය අඩුකර විනාඩි 10 ක් තම්බා ගෙන ලිපෙන් ඉවතට ගන්න. 

පිටි මිශ්‍රණයට රම්පා, නිවිතිය, වදමල් හෝ නිල් කටරොළු මල් භාවිත කර සෑදූ විවිධ පාටවල් එක් කරන්න වගේම තම්බා ගැනීමට පෙර මුද්දරප්පලම්, කජු හෝ වෙනත් ඇට භාවිතා කර හැඩගන්වා ගන්නත් පුළුවන්. 

Turkish Pide 

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි කෝප්ප 3 ¼  ක්
  • ලුණු තේ හැඳි 01 ක්
  • සීනි තේ හැඳි 01 ක්
  • ඊස්ට් තේ හැඳි 02 ක්
  • කිරි කෝප්ප 1 ක්
  • ඔලිව් තෙල් මේස හැඳි 04 ක්
  • වතුර කෝප්ප ¼ ක්
  • යෝගට් මේස හැඳි 01 ක්
  • බිත්තර 01 ක්
  • තල ඇට

සාදාගන්නා ආකාරය

තරමක් විශාල භාජනයක් ගෙන එයට පිටි, සීනි, ලුණු සහ ඊස්ට් දමා හොඳින් කලවම් කරගන්න.

එයටම ඔලිව් තෙල්, කිරි සහ වතුරද එක්කර කලවම් කරගන්න. 

අතින් අනමින් මෘදු සහ ඇලෙන සුළු පිටි මිශ්‍රණයක් සාදාගන්න. 

ඔබට අවශ්‍ය නම් විනාඩියක් දෙකක් පමණ අනන්න පුළුවන්, නමුත් මේ පාන් වලට එසේ අතින් බොහෝවේලා මිශ්‍ර කරගත් පිටි මිශ්‍රණයක් අවශ්‍ය වෙන්නෙ නෑ. 

තෙල් ස්වල්පයක් ආලේප කරගත් භාජනයකට පිටි මිශ්‍රණය දමා හොඳින් ආවරණය කර පිටි මිශ්‍රණයේ ප්‍රමාණය දෙගුණ වනතෙක් පැයක් පැය 1 ½ ක් පමණ තබන්න. 

අවන් එක සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයේ රත්වීමට තබන්න. තැටියකට තෙල් කඩදාසියක් දමා සූදානම් කරගන්න. 

පිටි ස්වල්පයක් ඉසගත් මතුපිටකට පිටි මිශ්‍රණය දමා එය මඳක් අතුරා ගන්න.

පිටි මිශ්‍රණය කොටස් දෙකකට වෙන් කරගන්න. 

එම කොටස් දෙක සූදානම් කරගත් බේකින් තැටිය මත අතුරා අඟල් 07 ක හෝ 08 ක පමණ විශ්කම්භයකින් යුතු රවුම් හෝ ඕවල් හැඩැති තැටි ආකාරයට අතින් සාදාගන්න. 

ඔබේ ඇඟිලි තුඩු තෙමාගෙන සාදාගත් පිටි රවුම් වල තැනින් තැන ඇඟිලි තුඩු වලින් තද කරන්න. 

බිත්තරයේ කහ මදය සහ සුදු මදය මිශ්‍රකර බුරුසුවක ආධාරයෙන් උඩින් ආලේප කර කැමති නම් තල ඇට ඉසගන්න. 

පාන් වල උඩ රන්වන් පැහැවන තෙක් සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයේ විනාඩි 20 ක් 25 ක් පමණ බේක් කරගන්න. 

අවන් එකෙන් එළියට ගෙන විනාඩි 10 ක් පමණ තබා ආහාරයට ගන්න. 

ඔබට කැමති නම් බිත්තර ආලේප කරනවා වෙනුවට මස් හෝ එලවළු මිශ්‍රණයක් වුනත් උඩින් අතුර ගන්න පුළුවන්.  

ඉතිං මේ පාන් වර්ගත් හදල බලමුද ?

Related Articles

Don't Miss


Latest Articles