කවුරුත් කැමති අඹ ව්‍යාංජනය පිළියෙල කළ හැකි වෙනස්ම ක්‍රම 3 ක්

අඹ අපි කවුරුත් කැමති රසවත් පළතුරක්.රසම රස අඹ ජූස් හදලා අච්චාරු දාලාත් පළතුරකට අමතරව කන්න අපි කැමතියි.ඒත් අඹ කන්න තව ක්‍රම තියනවා. අද අපි ඔබට කියන්නේ අන්න ඒ ක්‍රම ගැන.

අඹ ව්‍යාංජනය

අවශ්‍ය දේවල්

පැහී ගෙන එන අමු අඹ ගෙඩි 4-5ක්
ලියා ගත් රතු ලූණු ගෙඩි 6-8ක්
රම්පේ
කරපිංචා
කපා ගත් අමු මිරිස් කරල් 2-3ක්
මිරිස් කුඩු තේ හැදි 2ක්
කහ කුඩු තේ හැදි ¼ ක්
බැදපු තුනපහ කුඩු තේ හැදි 1ක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
බැද ගත් උළුහාල් ඇට ස්වල්පයක්
අබ ඇට ස්වල්පයක්
කුරුඳු පොතු කැබැල්ලක්
ලුණු (රස අනුව)
සීනි මේස හැදි 1-2
උම්බලකඩ කෑලි ටිකක්
පොල්තෙල් ස්වල්පයක්
මීටි කිරි අඬු කෝප්ප 1 ¼ ක් පමණ
දිය කිරි අඬු කෝප්ප ¾ ක් පමණ

සාදා ගන්නා ආකාරය


අඹ ටික හොඳින් සෝදා පිරිසිදු කර ලෙල්ල පිටින්ම දික් තීරු ලෙස කපා ගෙන බදුනකට දමා ගන්න.
එයටම කහ කුඩු, මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු හා ගම්මිරිස් කුඩු දමා අත ගා ගෙන පසෙකින් තබා ගන්න.
දැන් මැටි වලඳක් හෝ සුදුසු භාජනයක් ලිප තබා ගෙන එයට තෙල් ටික දමා ලිප තබා ගන්න.
තෙල් ටික රත් වී ගෙන එන විට එයට රම්පේ, කරපිංචා, කුරුඳු පොතු කැබැල්ල සහ රතු ලූණු එකතු කර ටිකක් බැදෙන්න හරින්න.
ඒවා යන්තමින් රන්වන් පාට වී ගෙන එන විට එයටම අබ ටික එකතු කර පියනකින් වසා ගෙන අබ පුපුරවා ගන්න.
අබ පිපිරුනු පසුව එයට පහේ අත ගා ගත් අඹ ටික එකතු කර හොඳින් කලවම් කර විනාඩියක් පමණ පියනෙන් වසා තබන්න.
දැන් එයට උම්බලකඩ, අමුමිරිස්, උළුහාල් ඇට හා දිය කිරි ටික එකතු කර විටින් විට හැදි ගාමින් පිස ගන්න.
පසුව දිය කිරි නටා ගෙන එන විට එයට රස අනුව ලුණු එකතු කර ගන්න.
අඹ හොඳින් තැම්බී කිරි හිඳී ගෙන එන විට එයටම මිටි කිරි ටික ද මිශ්‍ර කර උතුරන තෙක් හැදි ගාමින් අඩු ගින්දරේ පිස ගන්න.
ඉන් පසුව රස අනුව සීනි ටික ද එකතු කර ගන්න.
අවසානයේ දී කිරි හිඳෙන තුරු හෝ ඔබට අවශ්‍ය ප්‍රමාණයට හොද්ද උකු වන තෙක් පිස ගෙන ලිපෙන් බා ගන්න.

ලුණු දැමූ අඹ

මේ ලුණු අඹ කෑල්ලක් ඔබේ කෑම පිඟානට අපූරු රසයක් එකතු කරාවි.

අවශ්‍ය දේවල්

අඹ
ලුණු කැට
ලුණු වතුර
විනාකිරි 150ml සහ කෑලි මිරිස් ටිකක්

සාදා ගන්නා ආකාරය

අඹ ටික දෙකට හෝ හතරට පලා ගෙන මැද ඇටය අයින් කරලා අඹ ටික සෝද ගන්න.
මැටි ඇතිලියකට ලුණු කැට සහ ලුණු වතුර දමා ලිපේ තියන්න.
උතුරනකොට අඹ ටික දා ගන්න.
අඹ තැම්බුණු පසු ලිප නිවා ඉස්ම නැතුව තැටියකට දාලා අව්වේ වේලෙන්න තියන්න.
වේලුණු අඹවලට කෑලි මිරිස් හා විනාකිරි දමා බෝතලයක අසුරන්න.

අඹ බැදුම

අවශ්‍ය දේවල්


හොඳින් පැසුණු තරමක විශාල අඹ ගෙඩි 02
කෑලි මිරිස් තේ හැඳි 02
සීනි තේ හැඳි 1/2
එනසාල් කිහිපයක්
කරාබු නැටි 02
කුඩා කුරුඳු පොතු කැබැල්ලක්
රට කජු ග්‍රෑම් 50
රම්පෙ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
ලුණු රසට අනුව
රතු ළූණු ග්‍රෑම් 100
බැදගැනීමට තෙල්

සාදාගන්නා ආකාරය


අඹ පොතු හැර සිහින්ව කපා ගන්න.
ළූණු ද සිහින්ව කපා ගන්න.
දැන් අඹ කැබලි, ළූණු සහ රටකජු වෙන වෙනම ගැඹුරු තෙලේ දමා රන්වන් පාටට බැද ගන්න.
තෙල් ටිකක් ලිප තබා රත්වන විට එයට රම්පෙ, කරපිංචා, තලාගත් එනසාල්, තලාගත් කරාබු නැටි හා කුරුඳු දමා බැදෙන්නට හරින්න.
එයට කෑලි මිරිස්, ලුණු හා සීනි ද එකතු කරන්න.
දැන් බැදගත් අඹ, රටකජු හා ළූණු ද දමා හොඳින් මිශ්‍ර කර ගන්න

Related Articles

Don't Miss


Latest Articles