ශරදාකාසේ – අවසන් කොටස

ශාරද වූ කලී නිශාමනී ගේ ප්‍රථම ප්‍රේමය වේ. ඇය මුලින් දකිත්දී ඔහු කඩවසම් තරුණයෙකු ව සිටියේ ය. යොවුන් කෙල්ලක වසඟ කර ගන්නට ඒ බාහිර සියල්ල ඕනාවටත් වැඩි වූයේ ය. ඔවුන් දෙදෙනා පෙමින් බැඳුණේ ඉතාමත් ඉක්මනිනි. උනුන් නොදැක බැරි තරමට, උනුන් නැති ව බැරි තරමට ඒ ප්‍රේමය දවසක් ගානේ දලු ලා වැඩුණේ ය. දෙමාපියන් ගේ විරෝධය මැද වුව ශාරද තෝරා ගන්නට නිශාමනී ගේ තීරණය ප්‍රබල වන තරමට ඇය ට ඔහු ගේ ප්‍රේමය දැනුණේ ය.

රණ්ඩු සරුවල් කල කෝලාහල බැණ අඬගැසීම් නැති ඒ විවාහය අතිශය සාමකාමී වූයේ ය. කල් ගත වෙත්දී ඕනඋ

ආකාස චමත්කාරයක් වූයේ ය. නමුත් ඒ චමත්කාරය එළිපිට විඳින්නට ඇය අතිශය බිය වූවා ය. සම්මත සදාචාර රාමුවෙන් පිට වන ජීවිතය ගැන නිශාමනී දැක්වූයේ දැඩි බියකි. ඒ නිසා කිසි සේත් ආකාස ගෙන් ඇය දකිනා චමත්කාරය පිටතට දනවන්නට ඇය ට ඕනෑ නොවිණි. 

ඇය මල්ලී කියනා ආමන්ත්‍රණය ආකාස අරබයා ආරක්ෂිත පලිහක් ලෙස යොදා ගත්තා ය. ඒ නිසා ම ඇගේ හිත දැක ගන්නට ඔහු ට කිසිදු අවස්ථාවක ඉඩක් ලැබුණේ නැත.

ආකාස ගේ පිරිමි පෞරුෂයේ සොඳුරු වූ ඉසව් වලින් නිශාමනී ගේ නිහඬ හද මඬල මඳින් මඳ පිරෙන්නට විය. ඇය වඩාත් හීන දුටු පුරුෂයා, ඇතැම් විට ශාරද හමු වන්නටත් පෙර සිට ම යෞවනියක ගේ හීන වල සැරිසරන්නා වූ සංසාර මතකයක් ඇති පිරිමි රුව හා ඇවතුම් පැවතුම් වඩ වඩාත් ආකාස හා සසැඳෙන්නා සේ ඇය ට දැනිණ. එය ශාරද ගැන නො දැනෙන්නා වූ තිගැස්මක් ඈ තුළ ජනිත කළා වූ අරුමැසි අරුමයකි. ශාරද සිටියදී වෙනත් පුරුෂයෙකුට පෙම් කොට ආනන්නතරීය පාප කර්මයක් කර ගන්නට ඇය කිසි දා ක සිතුවේ නැත. කොටින් ම ඕ ආකාස ගැන දුරට දිගට සිතන්නට හෝ නො ගියා ය. නමුත් ඔහු සම්බන්ධ ඉතා කුඩා සිදුවීම් පවා ඈ අමන්දානන්දයට පත් කළ බව පිළි ගත යුතු ය.

එතැන්හිදී ශාරද ගැන අසිරිය ආකාස ගැන තිගැස්ම නිසා විස්ථාපනය වී ගියේ නිශාමනී පවා නො දැනුවත් ව ය. එක් පිරිමියෙකු හදවතේ රජ කම් කරනා විට ළඟ ම සිටිනා පිරිමියා ගේ කිරුළ ගැලවී යන බවක් ඇය දැන සිටියේ ම නැත. නමුත් කාලයත් සමග සිදු වෙමින් තිබුණේ එයයි. ශාරද ලං වන්නට උත්සාහ කළ තැන් වලත් කිසියම් පරතරයක් ඔහු ට දැනිණ. නිශාමනී නො දැන සිටියාට ඒ පරතරය පියැවී තිබුණේ ආකාස ගෙනි.

“ඔයා දන්නව මං කවදාවත් ඔය දෙන්නා අතරට එන්න උත්සාහ කළේ නෑ. හැබැයි මං පිළිගන්නව මට ඔයාට ආදරේ කරන එක නතර කරගන්න බැරි වුණා කියල”

නිශාමනී තේ මග් එක ආකාස වෙත පෑවා ය. එය ගනිත්දී ඔවුන් ගේ අතැඟිලි අතරේ සියුම් ස්පර්ශයක් ඇති විය. එය ගින්දරක උණුහුමක් හා හිමයක සිසිලක් එක වර දෙදෙනා තුළ ම උපදවන ලදී. නිශාමනී ගේ ඇස් බිමට හැරවී ගෙන තිබි අතර ආකාස ගේ දෑස් ඈ වසා පායා තිබුණේ ය.

“ශාරද ගෙ ළඟින් හිටියත් මට එයාගෙ ළඟින්ම ඉන්න බැරි වෙන්න ඇති”

නිශාමනී කොඳුළා ය.

“එක පිරිමියෙක් හිතේ ඉද්දි තව පිරිමියෙක් එක්ක සම්පූර්ණයෙන් ජීවිතේ බෙදා ගන්න ගෑනියෙකුට බෑ. පිරිමියෙකුටනං හුඟක් දුරට එහෙම කරන්න පුළුවන් ඇති”

එසේ සිතුවාට ඒ සිතිවිල්ල වචන බවට හරවන්නට, ආකාස ඉදිරියේ එසේ කරන්නට තරම් දිරියක් නිශාමනී වෙත වූයේ නැත.

“ඒ හිස්තැන් වලට පංචලී එන්න ඇති. පංචලී ආවටත් වඩා…ශාරද ඒ හිස්තැන් පියවගන්න පංචලීට ලං වෙන්න ඇති”

“එතකොට දැං මේ ඔක්කොටම මමද වැරදිකාරය..”

නිශාමනී අසලට ම පැමිණි ආකාස, අඟල් බාගයක තරම් හෝ පරතරයක් ඔවුන් අතර නොමැති ව ඇගේ මුහුණට එබුණේ ය. සිය සිරුර උණුහුම් වී යනවා නිශාමනී ට දැනුණේ ය. මුළුතැන්ගෙයි වැඩ කරන අතරේ තරමක් දුරින් මීට පෙර ද අනන්ත වාරයක් දැනී ඇති ඒ පිරිමි සුවඳ මේ තරම් සමීප ව දැනෙත්දී ඇය තව තවත් ඈ තුළට ම නැඹුරු වූවා ය. තව තවත් ඇගේ වත බිමට හැරවිණ. 

“කවුරුවත් වැරදි නෑ. එහෙනං වැරදි ආදරේ”

සිතුවාට එය හෝ කියා ගන්නට ඇගේ මුව විවර වූයේ නැත. 

“හරි ඉතිං මං ලෑස්තියි ඒ ඔක්කොම වැරදි වලට වන්දි ගෙවන්න…ජීවිත කාලෙංම…”

ඔහු ගේ හුස්මක සුවඳ ඇය ට දැනිණ. ශාරද ගේ හුස්ම සිය සිරුරෙහි වැදීම නොරුස්සන්නට ගත් දින වකවානු ද ඇය පසු කර ආ බව දැන් නිශාමනී ට සිහි වේ. එදා නො දැන සිටි ඊට හේතු, වඩා හොඳින් පසක් වන්නේ දැන් ය. බුදු බණෙහි සඳහන් වන පරිදි සියල් ඵල වලට හේතුවක් තිබේ. 

“ඒත් ඔයා තාම එක ඉඟියකින්වත් මට ඒකට ඉඩ දීල නෑ”

නිශාමනී වහා ඔහු ගෙන් ඉවතට හැරුණා ය . සියතෙහි වූ තේ මග් එක පැන්ට්‍රි කබඩ් එක මතින් තැබූ ආකාස ඇගේ බඳ වටා දෑත් යවමින් ඈ සිය සිරුරට බර කර ගත්තේ ය. නිශාමනී තදින් ආකාස ගේ අත් බාහු අල්ලා ගත්තා ය. ඇගේ සිනිඳු ඇඟිලි තුඩු, ඔහු ගේ අත් වල ඝණ රෝම අතරින් තද විය. 

“එක සැරේ පිරිමි දෙන්නෙකුට ආදරේ කරන්න ගෑනියෙක්ට බෑ ආකාස. ඔයාව හිතේ හංගගෙන මං ශාරද එක්ක ජීවත් වුණා. ඒ වැරැද්දට මට දඬුවම් විඳින්න වුණා”

“අපි දෙන්නට එකට දඬුවම් විඳින්න පුළුවන්. ඒ ආදරේ වෙනුවෙන්. අර මැණික් කැටේ එසඳි වෙනුවෙන්”

නිශාමනී සිය හිස යන්තම් පිටුපසට කොට ආකාස ගේ පපුවෙහි එය නතර වෙන්නට හැරියා ය. ඊ්ළඟට ඇස් දෙක පියා ගෙන ටික වෙලාවක් සැනසිලි සුවයෙන් සිටියා ය.

“මට එසඳි හදාගෙන තනියම ඉන්න පුළුවන්”

“එහෙනං දුරින් ඉඳන් ඔය දෙන්නව බලා ගෙන තනියම ඉන්න මටත් පුළුවන්”

“ඒත් මං හුඟක් කල් තනි වෙලා හිටිය ආකාස. ශාරද මගෙ හස්බන් විදිහට හිටියත්…මගෙ හිත ඇතුළෙ මං ආදරයක් ළඟ නැතුව තනි වෙලා හිටිය. මැෂින් එකක් වගේ ගෙදර වැඩ කරගෙන…දුවගෙ වැඩ කරගෙන…ශාරදට යුතුකම් ඉෂ්ට කරගෙන…නෑදෑයො ගැන බලන්න ඕන වෙලාවට බලාගෙන…ගේ ලස්සනට සරසගෙන හුඟක් කල් බලං හිටිය. හවසට ටීවි එක ඉස්සරහ ඉඳං හිටියට…නෑදෑයො ගෙදරට ආවහම නෑදෑ ගෙදරක ගියාම හිනා වෙලා හිටියට…මිදුලෙ මල් වවාගෙන මල් පිපෙනකල් පෝර දදා හිටියට…හැම වෙලේම අඩුවක් තිබුණා ආකාස. එසඳිගෙ හිනාවකින් නිවා ගත්ත…ඔයාගෙ බැල්මකින් සනසගත්ත දුකක් හිත ඇතුළෙ තිබුණා. ඒ දුක මොකද්ද කියල මං කවදාවත් දැනං හිටියෙ නෑ.  නොතේරෙන හිස් කමක් මාත් එක්ක ඔට්ටුතාං කර කර හිටිය. ඒ මොකද්ද කියල හරියට හොයල දැනගන්න එකත් මං මග ඇරිය. ශාරදගෙ කලිසම් සාක්කුවක තිබිල පංචලී දාපු මුද්ද හම්බ වුණ වෙලාවෙ මං පණ පිටින් පොළොව යට වැළලිලා ගියා. මාව හැම පැත්තෙන්ම තනි වෙලා මං අසරණ වෙලා කියන බය තදින් දැනුණෙ එදා. ආත්මෙං මැරිල ජීවත් වෙන ගෑනියෙකට…කසාදෙ කියන්නෙ පිදුරු ගහක් ආකාස. එල්ලිල ඉන්න ඒ පිදුරු ගහත් නැති වෙලා යනව කියල දැන ගත්තහම මට පිස්සු හැදුණෙ නැතුව විතරයි. ඒත් අන්තිමට මට තේරුණා එල්ලිල ඉඳල තේරුමක් නෑ කියන එක. අඩු ගානෙ මගෙං ශාරදට වුණ වරදට එයාට යන්න අරින එක විතරයි පව් සමා කර ගන්න තිබුණ එකම මාර්ගෙ.  ඒ තීරණේ ගන්න අමාරු වුණත්…ඒ තීරණේ මාව අලුත් නිශාමනී කෙනෙක් විදිහට ආයෙ ඉපැද්දුව”

ආකාස ගේ දෑත් අතර මැද සිටියදී ම නිශාමනී හැරී ආකාස දෙස බැලුවා ය. වසර පහක් තිස්සේ ඔහු ගෙන් හංගා ගෙන සිටි සිත නිදහස් වී ඇති බවක් ඇය ට දැනුණේ ය. 

“තවත් මට ඒ තනිකම ඇතුළෙ දුක් විඳල මැරිල යන්න ඕන නෑ. ජීවිත කාලයක් නැතත් එක දවසක් හරි ඇත්ත ආදරේකිං හුස්ම ගන්න ඕනෙ මනුස්සයෙක් වුණාම. කොහොමත් මට වැඩි දවසක් තනියෙං ඉන්න දෙන්නෙ නෑ අම්මල. ආයෙත් සැරයක් මගෙ ජීවිතේට වැරැද්දක් කර ගන්නෙ නැතුව ඉන්න ඕනෙ”

ඔහු ගේ දෑත් හා පපුතුර අතර අවකාශයේ ඈ ඉතා තදින් සිර වී යන බවක් නිශාමනී ට දැනිණ. ඇය ඒ පපුවේ සුව යහනේ මුහුණ ඔබා ගත්තා ය.

පසු වදන…

සමීපතම කිහිප දෙනෙකු ගේ පමණක් සහභාගිත්වයෙන් සිදු වූ විවාහ ලියාපදිංචියෙන් පසු නිශාමනී හා එසඳි යළි ශරදාකාසයෙහි පදිංචියට පැමිණියහ. පිලපිටිය මහතා සිය රූපලාව්‍ය නිෂ්පාදන ව්‍යාපාරය නිශාමනී ට හා ආකාස ට පවරා විශ්‍රාම සුවය උදා කර ගත්තේ ය. එසඳි සතුටෙන් වැඩුණා ය. ඇගේ පුංචි හිත ශාරද ව ආකාස ගෙන් විස්ථාපනය කළා යයි කීවාට වරදක් නැත. බාප්පා කියන වචනය ඇය නො දැනී ම තාත්තා ලෙස වෙනස් විය. 

ඉඳහිට ශාරද වීඩියෝ ඇමතුමක් ගත් වෙලාවක එසඳි ඔහු ට ලොකු තාත්තා යි කීවා ය. 

“ඔයා නෙවෙයි මගෙ තාත්ත. මගෙ තාත්ත ආකාස. තාත්ත කිව්ව ඔයා ලොකු තාත්ත කියල”

ශාරද ගේ හිත නො රිදුණා නොවේ. නමුත් එසැනෙන් ඔහු සිය හිත හදා ගත්තේ ය. ආකාස එසඳි ට තාත්තෙකු ගේ ආදරය දෙන එක ගැන සතුටු විය යුතු යයි ඔහු සිතුවේ ය. නමුත් සිය දියණිය ජීවිතයෙන් ඈත් වී ගිය එක ගැන හිතේ ඇති වූ හිස්තැන තව දියණියන් කොපමණ ලැබුණත් නැති වී නොයන බව ඔහු ට විශ්වාස ය.

“අපිට වෙන දරුවො ඕන නෑ”

ආකාස නිශාමනී ට එවන් පොරොන්දුවක් දී තිබේ.

“බැරි වෙලාවත් ඒ දරුව නිසා එසඳිගෙ හිත තුවාල වුණොත්…ඒ තුවාලෙ සනීප කරන්න අපිට කවදාවත් පුළුවන් වෙන එකක් නෑ. අනිත් එක මට ඔයාගෙ හිතට එහෙම සැකයක් බයක් දෙන්නත් ඕන නෑ. කොහොමත් එසඳි මගෙ දුව”

ශරදාකසය දැන් ඉස්සරට වඩා ලස්සන ය. හුරතල් ආදරණීය කටහඬවල් වලින් පිරී ගොසිනි. උදේට ඔවුන් තිදෙනා එකට ම ඉන් නික්ම යති. එසඳි පාසලට ඇරලවා ආකාස හා නිශාමනී ආයතනයට යති. පාසල් නිම වන වෙලාවට ආකාස නිශාමනී ව හා එසඳි ව ගෙදර ගෙනවිත් දමයි. විශේෂ වැඩක් නො තිබුණොත් තෙමේ ද ගෙදර නතර වෙයි. නැත්නම් නැවතත් කාර්යාලයට ගොස් හවස ගෙදර එයි. 

ගෙදර සද්ද වැඩි ආකාස සිටින විට බව අසල්වැසියෝ පවසති. එතකොට එසඳි සිටින්නේ ප්‍රීතිමත් දරුවෙකු විලාශයෙනි. ‘තාත්තා’ ඇගේ හිතේ වීරයා ය. 

ජීවිතයක් මැද්දේ වැරදීම් සිදු වන්නට පුළුවන් බව නිශාමනී දැන් සිතයි. නමුත් එය වඩාත් සුන්දර තැනක් වන්නේ වැරදි නිවැරදි වූ විට ය. කිසිවෙකු හට කිසිවෙකු ගේ ජීවිතයක් විනිශ්චය කිරීමේ හැකියාවක් නැත. එසේ කරනවාට බියෙන් ජීවත් වෙන තාක් ජීවිතය සිර මැදිරියකි.

ශරදාකාසය ඔවුන් ට මෙලොව වන ස්වරග රාජ්‍යයයි. එසඳි එහි පුංචි සුරංගනාවක සේ උසින් මහතින් ද රුවින් ගුණයෙන් ද වැඩෙමින් සිටීම ඔවුන් ට වන ලොකු ම සතුටයි.

සමාප්තයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content