මා හද තුළ ඔබ 08

බස් එකත් බිග් මැච් ට්‍රක් රථයත් වරින් වර එකිනෙකට ඉස්සර විය. පසු විය. බස් එකේ ගමන් කරන්නවුන් ද ට්‍රම්පට් නදින් හා කොල්ලන් ගේ ගී හඬින් ගීතවත් වෙමින් සිටියහ. බසයට ඉස්සර කරන වෙලාවට ට්‍රක් එකේ කොල්ලෝ “බිම් තඹරූ” කියමින් කෑ ගෑහ. තඹරු වෙනුවට බිම් තඹරු කියත්දී නම් තඹරු ගේ දෙතොල් අතරේ සිනහවක් නලියන්නට වූයේ ය. ඇය ඒ සිනහව සමනල් වෙතින් සඟවා ගැනීමේ උත්සාහයක් දැරුවා ය. සමනල් සිය ජංගම දුරකතනයෙන්, ට්‍රක් රියෙහි ඉන්නා සගයෙකුට ඉක්මන් කෙටි පණිවිඩයක් ලීවේ ය.

“වද නොදී පලයල්ලකො”

එවර ඔවුහු ඉස්සර වී ගියහ. නමුත් පොලිස් පාක් එක ළඟදී ට්‍රක් රථය නවතා, එහි උන් කොල්ලන් කිහිප දෙනෙක් බසයට කඩා වැදුණහ. ඒ ඔවුන්ගේ තොප්පි වලට මුදල් එකතු කරන්නටයි. ඔවුහු තඹරු හා සමනල් අතරින් ද තොප්පියක් මානා ගෙන ආධාර ඉල්ලා සිටියහ. තඹරු නම් සිනහව හිර කර ගෙන ඉවත බලා සිටියා ය. සමනල් මුදල් පසුම්බිය ඇද තොප්පියට නෝට්ටුවක් දැමුවේ ය.

“පලයල්ලකො ඉතිං…”

ඔහු ඉතා හෙමිහිට අයාචනා කරත්දී තඹරු දෙතොල් තද කොට ගෙන සිනහ වූවා ය. හංගන්නට හැදුවාට ඒ සිනහව ඇගේ කම්මුලක ඩිම්පල් එක තියුණු ලෙස මතු කළේ ය.

“ඔයාගෙ ඔය කම්මුලේ වළ හිතලම හදාගත්ත එකක් නේද…”

බිග් මැච් කොල්ලෙකු එය ද දැක තිබිණ.

“ඕකට කොංක්‍රීට් ටිකක් දාල වහල දෙන්න පුළුවන් ඕන්නං නංගි”

තඹරු දත් ඇඳි තද කොට ගෙන වීදුරු කවුළුවෙන් පිටත ම නෙතු නතර කොට ගෙන සිටියා ය.

“ඩිම්පල් එකට ඔයා ලස්සනයි ආ”

කොල්ලන් යළි නැගුණ පසු ට්‍රක් රථය නික්ම ගියේ එසේ කෑගසමිනි. සමනල් ගේ දෙතොල් අතරේ සමනල් සිනහවක් පොපියමින් තිබිණ. නමුත් තඹරු තරහින් දැයි ඔහු ට බියක් නො දැනුණා ම නොවේ. එනමුදු ඇය තරහින් නො සිටියා ය. මේ වගේ තත්වයකදී මේ තරමට සැහැල්ලුවෙන් ඉන්නට හැකි වීම, ඇයට ම අමුත්තක් සේ දැනුණ තරමි.

කතා කරන්නට සුදුසු කිසිවක් සමනල් ට සිහි වූයේ නැත. මතක් වූ සියල්ල මෝඩයි වාගේ ඔහුට ම දැනුණෙන් ඔහු ඒවා මුවින් පිට නො කරන්නට පරිස්සම් විය. කතා නොකළත්, බස් එක මත්තෙගොඩට යන තුරා මෙලෙස ඇය ළඟින් ඉන්නට ලැබෙන එකත් ඔහුට ලොකු දෙයකි. ක්‍රමයෙන් බස් රිය සෙනගින් පිරෙමින් තිබිණ. තදබදය අතරේ කිසිවෙකු සිරුරට තෙරපෙන බවක් තඹරු ට දැනිණ. ඇය ඒ මැදි වියෙහි මිනිසා දෙස බැලුවත් සෙනග ගොඩ අතරේ ඔහු සිටියේ හිතා මතා එවන් තෙරපීමක් නො කරන්නා සේ ය. නමුත් ඔහු එසේ කරන්නේ හිතා මතා බව ඇයට දැනිණ. තඹරු කිසියම් අපහසුතාවයකට පත් වී ඇති බව දැනුණ ගමන් සමනල් ඇය වෙනුවෙන් ඉදිරිපත් වූයේ ය.

“ඔයා මේ පැත්තට එන්න”

ප්‍රතික්ෂේප කිරීමකින් තොරව ම තඹරු සමනල් ගේ ඉදිරියෙන් හිර වී ගෙන ඔහු ගේ දකුණු අත පැත්තට ආවා ය. ඇයට ආරක්ෂිත හැඟීමක් දැනිණ. ටික වෙලාවකින් සමනල් හිටගෙන උන් තැන අසුන හිස් විය.

“ඉඳගන්න”

කියා ඔහු ඇයට ඇරයුම් කළේ ය.

“ඔයා ඉඳගන්න”

“ඉඳ..ගන්න”

ඒ බල කිරීමෙන් පස්සේ තඹරු අසුන්ගත වූවා ය. ඇය ළඟින් ම ඔහු සිටගෙන සිටී. ඇගේ සිරුරේ යන්තමින් හෝ ස්පර්ශ නොවන්නට ඔහු උත්සාහ කළේ ය. නමුත් අධික තෙරපීමක් එත්දී එසේ කළ නො හැකි අවස්ථා උදා නොවුණා ම නොවේ. තඹරු කිසිත් නො සිතා සිටීමේ උත්සාහයක් ගත්තා ය. නමුත් ඒ සිදුවීම් පෙළ චිත්‍රපටයක් වාගේ ඇගේ මනසේ දර්ශන මවමින් තිබිණ. හදිසියේ ම, අනපේක්ෂිත ලෙස ඇයට දකුණු පසින් කවුළුව අයිනේ අසුන් ගෙන උන් තැනැත්තා බසයෙන් බහින්නට නැගී සිටියේ ය. තඹරු අයිනට වූයේ හිස නගා සමනල් දෙස බලමිනි. ඔහු ඒ ඉතිරි ඉඩෙහි අසුන්ගත වෙත්දී රළ නගන සයුරක් සේ හිත කැළඹී ගිය බව ඇයට දැනිණ. ඇගේ වම් අත ඔහු ගේ දකුණු අත් ගොබයට යට වී තිබිණ. ඈ දිය වෙමින් හෝ ගල් වෙමින් යන්නා සේ තඹරු ට දැනිණ. සීරුමාරු වීමේ අවකාශයක් ඒ පටු අසුනෙහි වූයේ නැත. ඊටත් වඩා කිසිත් කර කියාගත නො හැකි තරමට ඇගේ අත පය අක්‍රිය වී තිබිණ. එතකොට නුගේගොඩ ය. අහස් පාලම මත්තෙන් ඉදිරියට ඇදෙන රිය ඉන්ධන පිරවුම්හල ඉදිරියේ නැවතිණ. තඹරු ගේ හදවත ඇතුළේ, ට්‍රම්පට් හඬ නැගුවේ ය. මීට දින කිහිපයකට පෙර මෙතැනදී  මුලින් ම ඔහු හමු වූ සිදුවීම හිත මතුපිට පෙරලියක් කළේ ය. අතීතය යළි යළිත් සිදු වේ! ඇය සන්සුන් වීමට උත්සාහ කළා ය. නමුත් හදවත ඇතුළේ නන්නාඳුනන තොවිලයක් නැටෙමින් තිබිණ.

සන්සුන් වනු වස් තඹරු ජංගම දුරකතනය අතට ගෙන අරමුණකින් තොර ව ඒ මේ අත ඔබන්නට වූවා ය. සමනල් තුළ හදිසි සිතිවිල්ලක් පහළ විය. ඔහු ඇගේ දුරකතනය අංකනය කළේ ය. එහි තිරය ආලෝකමත් ව හැඬවෙන්නට ගත්දී ම ඊට එබුණේ ය. තඹරු ට කිසිත් කර කියා ගන්නට වෙලාවක් තිබුණේ නැත. සමනල් ට නො පෙනෙනු වස් එය අනිත් පැත්තට හරවා ගන්නට හෝ පමා වූවා වැඩි ය. ඔහු එය දුටුවේ ය.

‘මංකි’

ඉංග්‍රීසි අකුරෙන් එහි ලියැවී තිබුණේ එසේ ය.

“හරි හරි…මංකි කියල මාව සේව් කරං තියෙන්නෙ…සමනල් කියන නමට වැඩිය ඒක ලස්සන ඇතිනෙ”

ඔහු අඩ සිනහවකින් මිමිණුවේ ය. නැගෙන්නට එන සිනහව යටපත් කොටගෙන තඹරු සම්‍යප්‍රයෝගයක් යෙදුවා ය.

“සේව් කරද්දි මට නම මතක් වුන්නෑ ඉතිං…”

මෙතැන දැන් සනාරා හා යුතාරා සිටියේ වී නම් ඇයට සිනහව නතර කර ගන්නට බැරි වන බව තඹරු දනී. ඒ දඟකාර සිනහව හිත තුළ සරැලි නැගුවේ ය. කොට්ටාවේ දී සමනල් බසයෙන් බැස ගත්තේ ය.  ඔහු හදවත තුළ සලකුණක් තබමින් සිටිනා බව තඹරු ට නො දැනෙනවා නොවේ. නමුත් ඕ එය නො දැනුණා සේ සිටීමේ උත්සාහයක් දැරුවා ය.

“ඔයාට පාර්සල් එකක් තිබුණ”

කේක් ඇන්ඩ් කොෆී තුළින් ගෙට ගොඩවෙනකොට ම රන්මුතු කීවා ය. තඹරු ගේ දෙපා එතැන එහෙම ම නතර විය.

“පාර්සල් එකක්…මොනාද…”

මේසයක් මත වූ ඒ ලොකු පෙට්ටිය රන්මුතු ඇස් වලින් පෙන්වූවා ය.

“කුරියර් සර්විස් එකකින් ගෙනාවෙ”

එය ටෙඩී බෙයාලා සහිත රැපින් පේපරයකින් ආවරණය කොට රිබන් වලින් හැඩ කෙරූ පාර්සලයකි. තඹරු විගස එය විවර කෙරුවා ය. මධ්‍යම ප්‍රමාණයේ බටර් පැහැති හුරතල් පාට ටෙඩී බෙයා කෙනෙකු ද, විවිධ වර්ග වල චොක්ලට් විශාල ප්‍රමාණයක් සහිත පාර්සලයක් ද, සුරක්ෂිතව අසුරන ලද – මලක් සහිත පතොක් පැළයක් සිටවූ බඳුනක් ද එහි විය.

“කවුද මේ එවල තියෙන්නෙ…”

ඒ ප්‍රශ්නය මුවින් පිට වෙත්දී ය ඇයට ඊට පිළිතුර සිහි වූයේ. සමනල්!

“මන්දන්නෑ ඉතිං. ඔයානෙ දැනගන්න ඕනෙ”

රන්මුතු ගේ මුහුණේ වූයේ බොරු තරවටුවක් සහිත ආදරණීය සිනහවකි. එක අතකට එය තරුණ දියණියක ගේ හොරයක් අල්වා ගත් අම්මා කෙනෙකු ට දැනෙනා ගැස්මෙන් සමන්විත මිහිරි ආඩම්බරයකි.

“මං දන්නෑ…”

නමුත් තඹරු ගේ ඇස් වල සිය ප්‍රකාශය තහවුරු කිරීමට තරම් ප්‍රබල වූ බැල්මක් වූයේ නැත! චොක්ලට් පාර්සලය ශීතකරණයෙහි දැමූ ඕ ටෙඩියාව තුරුලු කොට ගෙන පතොක් බඳුන ද සමග මතු මහලට නැගුණා ය. ටෙඩියා යහන මත තබා පතොක් බඳුන ජනේල කණ්ඩිය උඩ තැබුවා ය. ඒ මල කෙතරම් නම් ලස්සන ද? කටු කඳක් මත වුව පතොක් මලක් ලස්සනට පිපෙන හැටි දනී. බෑග් එකට අත දමා ඇය ජංගම දුරකතනය අතට ගත්තා ය. මීට ටික වෙලාවකට පෙර බස් එකේදී තිබූ සැහැල්ලුව කොහේ පැන ගිහින් ද කියා සිතා ගත හැකි නොවේ. ඇය සමනල් ගේ දුරකතනය අංකනය කළා ය. තිරය මත වූ ‘මංකි’ යන නම පවා ඈ තුළ කිසිදු වෙනසක් දැනවූයේ නැත.

“කියන්න තඹරු”

“ඇයි අරව එවල තියෙන්නෙ…”

ඇගේ හඬෙහි මොනවට තැවරී තිබි නොරිස්සුම හැඳින ගන්නට ඔහු ට අපහසු වූයේ නැත.

“මොනාද…”

“දන්නෑ වගේ මොනාද කියල අහන්නෙපා. ඔයා මිසක් ඔය වගේ  වැඩක් කරන්න තරං පිස්සෙක්ව මං වෙන දන්නෑ”

“ඔව් ඉතිං…අපි පිස්සු වඳුරොනෙ”

ඒ ස්වරයෙහි වූයේ බිඳීමක් ද? පාවිච්චි කළ වචන ටික ද ඒවා ඉසිරවූ රිද්මය ද පමණට වඩා වැඩි බව තඹරු ට ම දැනිණ. නමුත් ගිය නුවණ ඇතුන් ලවා හෝ ඇද්දවිය නො හැක. කටින් පිට වූ වචනයක් ආපසු තමන් වෙත කැඳවා ගත නො හැක.

“කමක්නෑ…ඔයාට එපානං බැල්කනි එකෙන් ඒව පාරට විසිකරන්න. මං ඇහිඳගන්නං”

හදවතෙන් පදාසයක් නාය ගියා වන් හැඟීමකින් ඇඳෙන් බිමට පැන ගත් තඹරු, කාමරයේ ෆ්‍රෙන්ච් වින්ඩෝ එක විවර කොටගෙන සඳැල්ලට දිව්වා ය. දුරකතනය සවනෙහි තිබියදී ම බැල්කනි වැටෙන් පහළට එබී බැලුවා ය. පාර අනිත් පැත්තේ ඇක්වා රිය නතර කොට ගෙන සමනල් දිවයුරු රණසිංහ ඊට පිට දී ගෙන සිටියේ ය. මීට ටික වෙලාවකට පෙර කොට්ටාවේ දී බස් එකෙන් බැස ගත් කොල්ලා දැන් මෙතැන! තඹරු අතකින් මුව වසා ගත්තා ය. ඊළඟට හැරී සඳැල්ලෙන් කාමරයට දිව ගියා ය. දුරකතන සම්බන්ධය බිඳ දමා ඇය යහනෙහි මුණින්තලා වැතිරුණා ය. කන් දෙකෙන් දුම් දමනවා වන් හැඟීමක් මිස අනෙකක් ඇයට නො දැනේ. තවත් විනාඩි කිහිපයක් ඒ ඉරියව්වේ ම හිඳ නැගිටගත් ඕ දිය නා ඇඳුම් මාරු කොට ගෙන කේක් ඇන්ඩ් කොෆී වෙත පහළට බැස්සා ය. පියගැට පෙළෙහි අන්තිම අග්ගිස්සේදී ය ඇය දුටුවේ, සමනල් කුඩා හතරැස් මේසයක හිඳ පළතුරු සලාදයක් රස විඳිමින් සිටියේ ය. රන්මුතු ඒ අසල මේසයකට හේත්තු වී ඔහුත් සමගින් සිනහ මුහුණකින් කතා කරමින් සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles