නැන්දම්මාගේ ගුරුකම නිසා අනූනවයෙන් දිවි බේරුණු බිරිඳක්

(නීතිඥ මේකලා දහනායකගේ වෘත්තිය අත්දැකීමක් ඇසුරිනි. වෘත්තීය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

චමරි සහ සහන් එකම විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හැදෑරූ යුවලක්. ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වන්නේ දිගු කාලීන මිත්‍රත්වයක ප්‍රතිඵලයක් ලෙස. එකට අධ්‍යාපනය ලබන මිතුරියක සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වීම ගැන අම්මාට කියන්නට සහන් මැලි වන්නේ නැහැ. එකම අධ්‍යාපන මට්ටමක් සහ පවුල් පසුබිමක් ඇති චමරිට විරුද්ධ වන්නට අම්මාට කිසිම හේතුවක් නැති බව සහන් විශ්වාස කළා.

“මාතර කෙල්ලක්?”

එහෙම අහන සහන්ගේ අම්මා කෝපයෙන් නළල රැලි කරගන්නට පටන් ගත්තා. 

“ඒ වාසගම බලනවා. ඒ පහතරට මිනිස්සු. කුලේ අඩු මිනිස්සු.”

අම්මාගේ තර්කය වෙන්නේ එහෙම එකක්. සහන්ට මහත් කෝපයක් දැනුණත් ඔහු නිහඬවම ඉන්නට තීරණය කරන්නේ විවාහයට තවත් කාලයක් ගත වන නිසා.

“මම අප්පච්චිත් නැතුව බොහොම අමාරුවෙන් උඹ උස් මහත් කර ගත්තේ. අපේ පරම්පරාවට නොගැලපෙන තැනකින් කටයුත්තක් කරගන්න දෙන්න බෑ.”

සහන්ට අම්මා එසේ දෝස්මුර තබන්නට නිරන්තරයෙන්ම කටයුතු කළා. ඔහුට මෙය දැඩි මානසික පීඩාවක් රැගෙන ආ නමුත් ඔහු ඉවසීමෙන් කල් ගත කළා.

“science degree එකක් කරන ගමන් ඔය වගේ කුල කතන්දර චමරිට කියන්න එපා. පස්සෙ කාලෙක කැමැත්ත ගන්න පුළුවන් වෙයි. දැන් අම්මා ගැන කිසිම දෙයක් නොකියා පාඩුවේ හිටපං”

සහන්ගෙ මිතුරන් ඔහුට උපදෙස් ලබා දුන්නේ ඒ ආකාරයෙන්. විශ්ව විද්‍යාලයෙන් නික්මී රැකියාවක් ලබා ගත් පසු  සහන් මේ සම්බන්ධයෙන් ඔහුගේ ලොකු මාමා සමග කතා කරන්නට තීරණය කරනවා. ලොකු මාමා අම්මාට සෘජුව බලපෑම් කරන්නට සමත් කෙනා නිසා ඔහු ලොකු මාමාව මේ සඳහා තෝරා ගන්නට තීරණය කළේ. සහන්ගේ උත්සාහය සාර්ථක වෙනවා.

“අප්පච්චි වගේ හැමදේටම ඉන්නේ ලොකු මාමා. ඒ මනුස්සයගේ වචනේ අහක දාන්න බැරුවයි මං මේ මංගල්ලෙට කැමති වෙන්නේ”

සහන්ගේ අම්මා එසේ ගෝරනාඩු කර ඔහු සහ චමරි අතර විවාහයට කැමැත්ත පළ කරනවා.

සහන් මුල්ම වැරැද්ද කරගන්නේ ඉන්පසුවයි. චමරිටට ඒ වෙද්දි භෞතික විද්‍යා ගුරුවරියක ලෙස රජයේ පාසලකට පත්වීමක් ලැබී තිබූ අතර එය සහන්ගේ ගම් පළාතට මාරු වීමක් ලෙස සකසා ගන්නට සහන් කටයුතු කරනවා. 

“වෙනම ගෙවල් වලට යන්නේ මොකටද? මේ සාගරයක් වගේ ගෙයක් තියෙනකොට?”

සහන්ගේ අම්මා එසේ කියනවිට චමරිගේ දෙමව්පියන් ද එයට විරුද්ධත්වය පළ කරන්නේ නැහැ. අනවශ්‍ය වියදමක් නොකර මහගෙදර රැඳී සිටින්නට ඔවුන් චමරිට උපදෙස් ලබා දෙනවා.

විවාහයට පසු ජීවිතය චමරිට කිසිසේත්ම පහසු වන්නේ නැහැ. ඇයට සහන්ගේ අම්මා නොයෙකුත් වෙනස්කම් කරන්නට පටන් ගන්නවා. සහන්ට සමහර දවසට රැකියාවේ කටයුතු වෙනුවෙන් කොළඹට එන්නට සිදු වෙනවා. එදිනට නිවසේ හිඳින්නේ චමරි සහ අම්මා පමණයි.

“අයියෝ අම්මේ.මං උදේ ඉස්කෝලේ යනකොට වනලා ගිය රෙදි ගෙට ගත්තේ නැද්ද? ලොකු වැස්සක් වැහැලානෙ”

චමරි දිනක් එසේ ඇසූ විට නැන්දම්මා එය විශාල රණ්ඩුවකට පාදා ගන්නවා. චමරි ඇයට වැඩ කරන්නට අණ දෙන බව පවසමින් ඇය සහන්ගෙ හිතට ද විසබීජ ඇතුළු කරනවා. චමරිට අවවාද කරන්නැයි ලොකු මාමා පොළඹවා ගන්නට උත්සාහ කළත් ඔහු ඒ ප්‍රතික්ෂේප කිරීම නිසා චමරිට නැවත යම්තාක් නිදහසක් නිර්මාණය වෙනවා.

“මං ඔයාලගේ අම්මට එහෙම වැඩ කරන්න කිව්වේ නෑ සහන්”

චමරි කියන කතාව සහන් අවසානයේ පිළිගැනීමෙන් පසු අම්මා මහත් කෝපයට පත් වෙනවා. ඇය අනතුරුව ක්‍රියාකරන්නේ ඉන්දීය ටෙලි නාට්‍යවල මෙන් නාට්‍යානුසාරීවයි.

“ඔයා උයලා තිබුණු මාළු වෑංජනේ පුදුම තරම් ලුණු. මං හිතන්නෙ ඔයා දෙපාරක් ලුණු දාලා වෙන්නැති.”

සහන් එසේ කියද්දී තමන් එසේ අවසිහියෙන් කටයුතු නොකළ බව චමරි පවසනවා. ඒවා කරන්නේ කවුදැයි හොඳින්ම වැටහෙන නමුත් ගැටුම් ඇති කර ගන්නට නොහැකිව ඇය නිහඬව ඉන්නට තීරණය කරනවා.

“මේ බලන්නකො!! වඳ වෙන පෙති බොනවා මේකි. මහ අමුතු ගෑනියෙක්නෙ”

ලොකු මාමා සහ නැන්දා පැමිණ සිටි දවසක සහන්ගේ අම්මා ඔවුන් වෙත පැමිණෙන්නේ චමරිගේ කාමරයෙන් සොරා ගත් උපත් පාලන පෙති පැකට්ටුවක් රැගෙනයි. අම්මා තමන්ගේ පුද්ගලිකත්වය ඕනෑවට වඩා අතික්‍රමණය කරමින් සිටින බව චමරි තේරුම් ගන්නේ ඒ මොහොතේදී.

“ඔය වඳවෙන පෙති නෙමෙයි. උපත් පාලන පෙති.”

චමරි එසේ පැවසූ විට සහන්ගෙ අම්මා ඇයට නින්දිත ලෙස බැණ වදිනවා. විවාහ වූ යුවලක් දරුවෙකු සෑදීම ගැන තීරණය කළ යුත්තේ ඔවුන්ට පහසු කාලයක බව පවසා ලොකු නැන්දා සහන්ගේ අම්මට දොස් නගනවා.

ඇය වඩාත් විකාර ලෙස හැසිරෙන්නට පටන් ගන්නේ ඉන් පසුවයි.

“පල්ලියගුරු නෝනා මේ දවස් ටිකේම දේවාලෙට යනවා. ටීචට සහන් පුතාව එපා වෙන්න ගුරුකම් කරන්න තමයි ඒ යන්නේ. පරිස්සමට ජීවත්වෙන්න”

අසල්වැසි කාන්තාවක් චමරිට එසේ උපදෙසක් ලබා දෙනවා. විවිධ ආහාර සාදා ඒවා සහන්ට පමණක් කන්නට දෙමින් ඔහුගේ ඇඟේ විවිධ  තෙල් වර්ග ආලේප කරමින් අම්මා නටන නාඩගම චමරි දරා සිටින්නේ ඉතාම අපහසුවෙන්.

“සහන්, මේක හරිම විකාරයක් වෙන්නයි යන්නේ. මම මාරුවක් හදාගෙන අපේ ගෙදර යන්න ද? නැත්තං අපි දෙන්නම කොළඹට යමුද?”

පවුල රැක ගැනීමේ වැදගත්කම ගැන සිතමින් චමරි එසේ විමසනවා. එය මේ වන විටත් සහන්ට දැඩි ලෙස ආදරය කරමින් සිටින නිසා ඇයට ඔහුව මඟහැර ගන්නට කිසිසේත් උවමනාවක් නැහැ. නමුත් අම්මා නිවසේ තනි කර යන්නට සහන් අකමැත්ත පළ කරනවා. අම්මාගේ ගුරුකම් නාඩගම දිනෙන් දින වැඩි වුණත් ඔහු චමරිට උපදෙස් දෙන්නේ ඒවා දරාගෙන සිටීමටයි.

“අපි සයන්ස් ඉගෙන ගත්ත මිනිස්සු නේ. ඔය ගුරුකම් වලට කිසිම දෙයක් කරන්න බෑ කියලා අපි හොඳටම දන්නවා නේ. සහන්ගෙ අම්මට ම එපා වෙලා ඔය නාඩගම් නවත්වනකම් ඔයා ඉවසන්න චමරි.”

ඔවුන්ගේ මිතුරන් ඇයට එසේ උපදෙස් ලබා දෙනවා. නමුත් චමරිගේ ඉවසීම කෙළවර වන්නේ මහත් විනාශයකින්.

චමරිට දරුණු උදරාබාධයක් හට ගන්නේ ඇය පාසලේ උගන්වමින් සිටියදී. දරාගත නොහැකි වේදනාවකට පසු ඇය සිහිසුන් වෙනවා. පාසලෙන් ඇය රෝහල් ගත කරන්නට කටයුතු කරනවා. නොකඩවා වමනයත් බඩ එළිය යාමත් දරාගත නොහැකි  වේදනාවකිනුත් ඇය පීඩා විඳිනවා. ඒ කුමක් හෝ රෝගී තත්ත්වයක්දැයි පරීක්ෂණවලට ලක් කිරීම අවසන් වන්නේ ඇයට යම් විසක් ශරීරගත වූ බව දැන ගන්නට ලැබීමෙන්. චමරිව දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන්නේ විෂ ශරීරගත වීමෙන් ඇය දැඩි අසාධ්‍ය මට්ටමක පසුවන නිසා.

“චමරිට එයාගේ නැන්දම්මගෙන් ලොකුවටම කරදර තිබුණා. එක්කෝ ඒ කරදර දරාගන්න බැරුව එයා ජීවිතේට හානි කරගන්න මොනවා හරි බොන්න ඇති. නැත්නම් නැන්දම්මා එයාට මොනවා හරි වසක් දෙන්නැති.”

චමරි සමඟ එකට රැකියාව කරන ගුරුවරියක් රෝහලට එසේ දන්වා සිටිනවා. චමරිට සිහිය ලැබීමෙන් පසු ඇය සියදිවි හානි කරගන්නට උත්සාහ දැරුවාද යන්න දැන ගන්නට වෛද්‍යවරු උත්සාහ කරනවා.එහෙත් චමරි ඉන් පුදුමයට පත් වෙනවා. හදිසි රෝගාතුර වීම සිදු වන තුරුම ඇය තමන්ට  සිදු වූයේ කුමක්දැයි දන්නේ නැහැ. මේ සිදුවීම නිසා කෝපයට පත්වෙන  චමරිගේ දෙමාපියන් සහ වැඩිමහල් සහෝදරයා මේ ගැන සහන්ගේ අම්මාගෙන් සෘජු විමසීමක් කරනවා. ලොකු මාමා ද මේ සිදුවීම විභාගයට සම්බන්ධ වන නිසා භීතියට පත් වුණ සහන්ගේ අම්මා සත්‍ය කතා කරන්නට තීරණය කරනවා.

“මට එහෙම වහ දෙන්ඩ උවමනාවක් තිබුණේ නෑ. මේ ළමයා අපේ පුතාට ගැලපෙන්නෙ නැහැ. පරම්පරාවේ ඉස්සරහට ගෙනියන්න වත් එයාට කිසිම උවමනාවක් නෑ. අනිත් එක අඩුකුලේ ගෑනු කෙනෙක්ගේ බඩේ අපේ පරම්පරාවේ ළමයි හැදෙනවා දකින්න මට උවමනා නෑ . මම දේවාලේ කපු මහත්තයගෙ  ඉල්ලගත්ත කුඩු එකක් චමරිගේ කිරි එකට දැම්මා. එහෙම දැම්මෙ චමරීව මරන්න හිතාගෙන නෙමෙයි. ඒක එයාට අපේ පුතාව එපා වෙන්න කරපු ගුරුකමක්.”

මේ සිදුවීමට සියල්ලන්ම මහත් කෝපයට පත් වෙනවා. චමරි පූර්ණ සුවය ලැබූ වහාම ඇයව මාතර මහ ගෙදරට රැගෙන යන්නට ඇගේ ඥාතීන් ක්‍රියා කරනවා.

“අපිට හැමදේම අලුතින් පටන් ගන්න බැරිද?”

අනුමිත ද්වේෂ සහගත හැරයාම යටතේ චමරි දික්කසාද නඩුවක් පැවරූ පසුව සහන් ඇයගෙන් අසන්නේ වේදනාවෙන්.

“මම ඔයාට මොන තරම් අවස්ථා දුන්නද? අම්මා මට හිරිහැර කරනකොට මම ඔයාට කිව්වේ අම්මා අත් අරින්න කියලා නෙමෙයි. අපි වෙනම තැනකට යං කියල විතරයි මං ඔයාට යෝජනා කළේ. ඒත් ඔයා ඒ කිසිම දෙයක් අහන්න ලෑස්ති වුණේ නෑ. අන්තිමට අම්මා  මගේ ජීවිතේ අනතුරේ දැම්මා. දොස්තරට පිං සිද්ද වෙන්න මම ආපහු ජීවිතේ ලැබුවේ. මට තවදුරටත් ඔයත් එක්ක ජීවත් වෙන්න බෑ.”

චමරි ඇගේ අවසාන තීරණය එසේ දන්වා සිටිනවා. අවසානයේ නඩුව හබ කිරිමකින් තොරව ඉදිරියට ගෙන යන්නට සහන් කැමැත්ත පළ කරනවා. දෙපාර්ශවයේම එකඟතාවය මත ඉක්මනින් දික්සාදය ලබාගන්නට ඔවුන්ට හැකි වෙනවා.

මේ සියල්ල අතර වඩාත් ඛේදනීය සිදුවීම වන්නේ තමන්ගේ පුතුගේ ජීවිතය තමන් අතින් විනාශ වූ බව සහන්ගෙන් අම්මා නොපිළිගැනීමයි. ඒ වෙනුවට චමරි දික්කසාද වූයේ ගුරුකම සියයට සියයක් සාර්ථක වීම නිසා බව ඇය මහත් අභිමානයෙන් ප්‍රකාශ කර සිටිනවා.

වැඩිහිටියන් තමන්ගේ පාරම්පරික මත කිසිසේත්ම විශ්වාස නොකරන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඒවාට අප එකඟ නොවූ තැන ඔවුන් සමහර විට වියරුවෙන් හැසිරීමට ඇති ඉඩ වැඩියි. ඒ නිසා එවැනි අවස්ථා උද්ගත වෙද්දි දෙදෙනාට දෙදෙනා නැති නොකරගෙන ඉතාම සුපරික්ෂාකාරීව වැඩ කිරීම කළ යුතුමයි. නැතිනම් චමරි – සහන් ආදර කතාව මෙන් මහත් ඛේදාන්තයකින් අවසන් වන තවත් කතා අපට අසන්නට ලැබේවි

Related Articles

Don't Miss


Latest Articles