බිඳෙන හීන

අමායා ඇඟලුම් කම්හලෙන් එළියට ආවේ හිස් හැගීමකින්. වේලාසනින් බෝඩිමට ගියොත් බෝඩිම හිමි කාන්තාවගේ දහසකුත් ප්‍රශ්න වලට උත්තර බඳින්න සිද්ධ වෙන නිසා අමායා ළඟම තිබුණ සයිවර් කඩේ ඇතුලට ගියා. තේ එකක් ඇණවුම් කරපු අමායා කල්පනාවට වැටුනේ ඊට පස්සෙ.

නොකරපු වැරැද්දකට වැරදිකාරිය වෙලා සොච්චම් පඩියක් ලැබුණ රැකියාවත් අහිමි වුන අමායට ඊළඟ මොහොත ගැන කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ . අත් බෑගය ඇතුලෙන් කුඩා ජංගම දුරකථනය එලියට ගත්ත අමායා බෝඩිමේ තමන්ගේ මිතුරිය වුණ මල්කි ට ඇමතුමක් ගත්තා.

” මම ඉක්මනින් එන්නම් “

කාරුණික හදවතක් තියෙන මල්කි අමායාගේ කතාව අහගෙන ඉඳල එහෙම කියලා දුරකථන ඇමතුම අවසන් කරා . මල්කි රැකියාව කළේ පොත් සාප්පුවක. ඒත් ඇය පුළුවන් ඉක්මනින් අමායා හිටපු තැනට ආවේ ඇය ඉන්නේ මොනතරම් ගින්දරකට කියලා දන්න නිසා .

” මං කොහොමද මල්කි දැන් අම්මටයි නංගිටයි සල්ලි යවන්නෙ ?”

අමායාට තිබුන ලොකුම ප්‍රශ්නේ ඒක. තාත්තා මිය ගිය දවසේ ඉඳලා පවුලෙ බර කරට ගත්තෙ අමායා. රැකියාවක් හොයාගෙන කොළඹ ආව අමායාට ඒක ඒ තරම් ලේසි නොවුණ තැන තමන්ට කියලා කාත් කවුරුත් නැති කොළඹ රටේ ඇඟලුම් කම්හලක සේවයට යන්න අමායාට පුළුවන් වුණා. තමන් සේවය කරන්නේ පෞද්ගලික ආයතනයක කියලා අම්මටයි නංගිටයි කියන්න අමායා පරිස්සම් වුනේ තමන් ගැන ඒ දෙන්නා කම්පා වෙන එක නතර කරන්න. ඉගෙනීමට අති දක්ෂයෙක් වුන අමායාගේ නංගී ඒ වෙනකොට උසස් පෙළ හදාරමින් හිටියා.

” උන් හොයන්නෙ බලන්නෙ නැතුව කොහොමද එහෙම උඹව එළියට දැම්මේ ? “

තමන් කරපු වැරැද්ද මොකක්ද කියලවත් කියලාවත් හරියට දැනගෙන හිටපු නැති අමායාට මල්කි ගේ ප්‍රශ්නයට උත්තර දෙන්න බැරි උනා.

දවසක් දෙකක් බෝඩිමට වෙලා කල්පනා කරමින් හිටපු අමායාට බෝඩිමේ ඇන්ටිගෙ ප්‍රශ්නවලින් නම් ගැලවෙන එක ලේසි උනේ නෑ.

” එතන පඩි මදි . ඒ නිසා අයින්වුනා “

අන්තිමට අමායා බෝඩිමේ ඇන්ටිට කිව්වේ එහෙම

” දැන් එතකොට ඔය ළමයා කොහොමද මට බෝඩිං ගාස්තු දෙන්නෙ ? “

එයාගෙ ඊළඟ ප්‍රශ්නේ වුණේ ඒක. අමායා ඒකට නිහඬවම ඉද්දි බෝඩිමේ ඇන්ටි ම ඒ නිහඬතාවය බින්දා

” ඔය ළමයා හොයන්නේ මොන වගේ රස්සාවක් ද ?”

” මේ වෙලාවේ හැටියට මොකක් වුණත් කමක් නෑ ඇන්ටි . මට අම්මා අම්මටයි නංගිටයි සල්ලි කීයක් හරි මාසේ අන්තිමට යවාගන්න තිබුනනම් ඇති “

” මේ ළඟපාත මගේ යාළුවෙක් ඉන්නවා ඩල්සි කියලා . මට වැඩිය අවුරුදු කීපයක් වැඩිමල් .හොඳට සල්ලි තියෙනවා. ළමයි රට ගිය නිසා ගෙදර වැඩපළ කර ගන්න ගෑනු ළමයෙක් හොයනවා . ඔය ළමයා කැමතිනම් මම කතා කරලා බලන්නම් “

අනුරාධපුරයේ පිටිසර පැත්තක තරුණියක් වුණ අමායාට ගෙදර වැඩ පළ කරන එක හරිම සුළු දෙයක් වුණා . බෝඩිමේ ඇන්ටිගෙ යෝජනාවට අමායා එක පයින්ම කැමැති වුණත් මල්කි නම් ඒකට විරුද්ධ වුණා

” උඹට පිස්සුද අමායා එක එකාගේ වළං හෝදන්න යන්න.දවසක් දෙකක් බැලුවොත් උඹට හොඳ රස්සාවක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. අනික උඹ ඒ ලෙවලුත් පාස් නේ “

මල්කි එහෙම කිව්වත් නාස්ති කරන්න තරම් කාලයක් අමායාට තිබුණෙ නැහැ. දවස් කීපයක් ඇතුළත අමායා ඩල්සි ගේ ගෙදර වැඩට ගියා .

නවීන පන්නයේ ගෙයක් වුණ ඩල්සි ගෙ ගෙදර අමායාට කරන්න වැඩ ගොඩක් තිබුණා. ඩල්සිගේ දරුවන් පිටරට ජීවත් වුණත් ඩල්සි කියන්නේ හොද රැකියාවක් කරපු වැදගත් කාන්තාවක් නිසා ඇයට හිතමිත්‍රාදීන් ඕනෑ තරම් හිටියා.

සතියක් දෙකක් ගියාට පස්සේ අමායාව තමන්ගේ ගෙදර නවත්ත ගන්නත් බෝඩිමට තව කෙනෙක් හොයාගන්නකම් අමායාගේ බෝඩිං ගාස්තු බෝඩිමේ ඇන්ටිට ඒ විදිහටම ගෙවන්නත් ඩල්සි කටයුතු කරා

” උදේ හවස යන්නයි එන්නයි නිකං කාලේ නාස්ති කරන්න ඕනේ නෑනේ . මෙහෙත් කවුරුත් නැති එකේ ඔය ළමයා මෙහෙම නවතින්න “

ඩල්සි ව බලන්න එන මුණුබුරු මිණිබිරියන් ට වගේම යාලු හිත මිත්‍රාදීන්ට කෑම උයන්නත් ගෙදර වැඩ කරන්නත්, රෙදි හෝදන්නත්, විශාල මිදුලේ වැඩ කටයුතු ඇතුළු හැම දෙයක්ම අමායා පිට පැවරුනේ එහෙම.

උදේ පාන්දරම වැඩ පටන් ගන්න අමායා නිදාගන්නකොට හැමදාම රෑ 12 , 1 වුණා . තමන් ඕනෑවට වඩා වෙහෙස වෙනවා කියලා අමායාට දැනුනත් ඉන්න තැනක් වගේම කෑම බීමත් නොමිලයේම ලැබෙන නිසා අමායා පුළුවන් තරම් කැපවීමෙන් ඩල්සිගේ ගෙදර වැඩ කරා .

” ගමේ ආවෙත් නෑ නේද පුතේ ගොඩ දවසකින් ?”

” මම එන්නම් අම්මේ, මේ දවස් ටිකේ වැඩ ටිකක් වැඩී “

” උඹ මේ මාසේ ටිකක් වැඩිපුර සල්ලි එවුව නිසා නංගි අලුත් පන්තියකට යන්න පටන් ගත්තා . ඒකිගේ ලකුණුත් වැඩි වෙලා ඔන්න “

අමායාගේ අම්මා කියන්නේ සතුටින්. තමන් මේ තරමටම නැහීගෙන වැඩ කරන්නෙ අම්මගෙයි නංගිගේයි සතුට වෙනුවෙන් නේද කියලා අමායා හිත හදා ගත්තා .

” උඹ කොළඹට වෙලා ඉන්නවා මිසක් උඹට කටයුත්තක් කර ගන්න වත් හිතන්නේ නැහැ නේද ? උඹට කවුරුවත් ඉන්නවද පුතේ ?

” දැන්ම මම ඒ ගැන හිතන්නේ නැහැ අම්මේ “

හැමදාම වගේ අම්මා අනාගතය ගැන කතා කරන්න හදනකොට අමායා ඒ කතාව මග හැරියා.

ඩල්සි ගේ මිණිබිරියක් විවාහයට ලෑස්ති වුණේ ඒ අතර. පවුලේ ප්‍රධාන පුරුකක් උන ඩල්සි ගෙන් උපදෙස් ගන්න සොනාලි නිතරම ඩල්සි ගේ ගෙදරට ආවා ගියා .

” අමායා ,අනේ ඩාලිං මාත් එක්ක ගමනක් යමුද ? මම ග්‍රැනීගෙන් අවසර ගන්නං “

ගොඩ දවසකින් එළියට නොගිය අමායා යෝජනාවට කැමති වුණා.

” ග්‍රැනී. ප්‍රී ශූට් එකට ඇඳුම් සිලෙක්ට් කරගන්න මම අමායා ව එක්කන් යන්න ද ? අද රොමේශ් නෑ අනේ “

සොනාලි එක්ක එළියට යන්න අමායාට ඩල්සිගෙන් අවසර ලැබුණා.

අමායා සොනාලිගේ මෝටර් රථයට නැගුනේ යන්නේ කොහෙද කියලවත් හැඟීමක් නැතිව. කවදාවත් සුඛෝපභෝගී මෝටර් රථයක ගිහින් නැති අමායාට ඒක අමුතුම විදිහේ විදිහේ අත්දැකීමක් වුණා.

” මටත් කවදහරි අම්මවයි නංගිවයි දාගෙන මගෙම වාහනය කයන්න පුලුවන්නම් “

අමායාට එහෙම හිතුනා.

” 4300 ට මේ බ්ලවුස් එක මාර ලාබයි අනේ “

තමන් කවදාවත් මිලදීගන්න හිතන්නෙවත් නැති තරමේ මිල අධික ඇඳුමක් පෙන්නලා සොනාලි අමායාට එහෙම කිව්වා.දවසම ගත කරලා තමන්ටත් තමන්ගේ පෙම්වතාටත් හරියන ඇඳුම් මිලදී ගත්ත සොනාලී අමායාටත් ඇඳුම් අරන් දෙන්න තරම් කාරුණික වුනා.

” අමායා හරි ශෝක් shopping partner කෙනෙක් ග්‍රැනී. ඊලග දවසෙත් ඔන්න එයාව එක්කන් යනවා මං “

සොනාලිගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් පිටරටට ගිය ඩල්සි ගේ දරුවන් ආපහු ලංකාවට ආවා. කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක අති උත්කර්ෂවත් විදිහට සොනාලි ගේ විවාහය පැවැත්වුනා . ඒ උත්සවයට අමායා වත් එක්කං එන්න කියලා සොනාලි ඩල්සිට කියලා තිබුණා. ඒ විතරක් නෙමෙයි විවාහ උත්සවයට ඇඳගෙන එන්න කියලා ඉතා වටිනා ගවුමකුත් සොනාලි විසින් අමායාට තෑගි කළා.

ගමේ පැවැත්වුණ විවාහයකට සහභාගි වුණාට පස්සේ අමායා අවුරුදු ගණනාවකින් විවාහයකට සහභාගි වෙලා තිබුනෙ නෑ. ලස්සනට හැඩ වෙලා සොනාලිගේ විවාහයට සහභාගි වුණ අමායාට ධනපති පන්තියේ විවාහයක් වුන ඒ විවාහය අමුතුම අත්දැකීමක් වුනා .

වෙනදාටත් වඩා ලස්සනට හැඩ වෙලා පෝරුව මත හිනාවෙලා ඉන්න සොනාලිව දැක්කහම , ලස්සන මනමාලියක් වෙන එක හැම තරුණියකගේ ම සිහිනයක් නේද කියලා අමායාට හිතුනා. ඒත් තමන්ගේ ලොකුම අරමුණ නංගිට හොඳින් ඉගැන්වීමත්, අම්මටත් නංගිටත් සැපපහසු ජීවිතයක් අත් කරදීමත් කියලා අමායාගේ හිත ඇයට මතක් කළා .

” මට ඒ හීනේ ගොඩක් දුරයි “

සොනාලි තමන්ගේ සැමියාගේ අතින් අල්ලගෙන හරිම ආඩම්බරයෙන් පෝරුවෙන් බහින කොට අමායාට හිතුණේ එහෙම

More Stories

Don't Miss


Latest Articles