මව අහිමි වූ පුංචි දරුවන්ට නිවසක් දුන් කාරුණික මවක්

අප යහපත් ජීවිතයක් ගෙවද්දී අපට සිතනවාටත් වඩා බොහෝ දේ ලැබෙන්නට පුලුවන්.කිසිම ලාභාපේක්ෂාවකින් තොරව තවත් කෙනෙකු වෙනුවෙන් කැප වෙන මිනිසුන්ට යහපත සැලසෙන්නේ සිතනවාටත් වඩා වන්නටත් පුලුවන්.

මේ එවැනි පවුලක් ගැන අපූරු කතාවක්.තමන් ගැන පමණක් නොසිතා අනුන් ගැන කැපවූ පවුලක කතාවක්.

ඇමරිකාවේ ලාස් වේගාස් හි ජීවත් වෙන ටීෂා සහ කෙවින්ගේ නිවස ආසන්නයේ ඖඩ්‍රි නම් ගැහැනියක් ජීවත් වෙනවා.ඇය සැමියා අහිමි කාන්තාවක්.ඇයට දරුවන් තිදෙනෙකු සිටිනවා.ඖඩ්‍රිට සිරුරේ යම් යම් අපහසුතා නිසා ඇය වෛද්‍ය පරීක්ෂණයකට යොමු වෙනවා. ඒ වෛද්‍ය පරීක්ෂණ අවසානයේ දී ඇයට පිළිකාවක් වැළඳී ඇති බව ඖඩ්‍රි දැන ගන්නවා.ඖඩ්‍රිට උදව් කරන්නට කිසිවෙකුත් නැහැ.ඇය දරුවන් නිවසේ රඳවා තබා රෝහල වෙත යනවා.

ඖඩ්‍රිගේ නිවස අසලින් ගමන් කරද්දී ඇගේ දරු තිදෙනා තනිව නිවසේ ජීවත් වන ආකාරය ටීෂා දකින්නේ අහම්බයකින්.ඇය දරුවන්ගෙන් ප්‍රශ්නයක් අසනවා

“අම්මා කෝ පුතේ? ඔයාලා තනියමද ඉන්නෙ?”

මව වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගත වූ දරුවන් පවසනවා.මුදල් අයකැමිවරුන් වූ ටීෂා සහ කෙවින් ඉතා කාර්යබහුලයි.ඔවුන් මේ ගැන දැනගන්නේ ඒ මොහොතේ.දරුවන් පස් දෙනෙකු සිටි නිසා බරපතල ජීවන සටනක නිතරව සිටි කෙවින් සහ ටීෂාට ඖඩ්‍රි එතරමට ගැටළුවක බව වැටහෙන්නේ ඒ මොහොතේ.

“අම්මා බෙහෙත් ගන්න හොස්පිටල් යන දවසට ඔයාලා තුන් දෙනා අපේ ගෙදර එන්න.”

ටීෂා දරුවන්ට එසේ පවසන්නේ ඇය තුළ වූ මව්වත් ගුණය නිසාමයි.මව රෝගාතුර වූ නිසා අසරණ වූ දරුවන් ඒ යෝජනාව වහාම පිළිගන්නවා.මව රෝහලට යන රාත්‍රීන්වල ඔවුන් අසල්වැසි නිවසට එන්නට පටන් ගන්නවා.ඖඩ්‍රිට දිනෙන් දින රෝගය උත්සන්න වනවා මිස සුවයක් ලැබෙන්නේ නෑ.මුලදී එක් දිනයක් ටීෂාගේ නිවසේ ඉන්නට ආ දරුවන්ට ඉන්පසු දවස් දෙක තුන,සතියක් පමණ එහි නැවතී ඉන්නට සිදු වෙනවා.

ටීෂාගේ නිවස ඉතාම කුඩා එකක්.ඇයත් සැමියාත් දරු පස් දෙනාටත් එහි ඉඩකඩ එතරම් සෑහුණේ ද නෑ.නමුත් ඔවුන්ගේ දරුවන් අසල්වැසි දරුවන් සමඟ තමන්ගේ ඇඳ බෙදා ගන්නට එකඟ වෙනවා.සමහර දවසට ටීෂාගේ වැඩිමහල් දියණිය ගබඩා කාමරයේ සහ වැඩිමහල් පුතු සෝෆාවේ පවා නිදාගෙන තිබෙනවා.ටීෂා සහ කෙවින් කෑම මේසයේ පුටු මතට වී රැය පහන් කර තිබෙනවා.එහෙත් ඔවුන් ඖඩ්‍රිගේ කුඩා දරුවන්ට වචනයකින්වත් වේදනාවක් ඇති වන්නට ඉඩ තබන්නේ නෑ.

දරුවන්ට සුරක්ෂිත නවාතැනක් ලැබීමේ සැනසීම පමණක් හදවතේ රඳවාගෙන ඖඩ්‍රි මිය යන්නේ ඔය අතර.ටීෂා දරුවන්ට තනිවන්නට ඉඩ තබන්නේ නෑ.ඇය ඔවුන්ව තමන්ගේ නිවසේ ස්ථිර පදිංචියට රැගෙන එනවා.නමුත් ටීෂාට සහ කෙවින්ට මේ විශාල දරු පිරිසකගෙ වගකීම පහසු එකක් වී තිබුණේ නෑ.

එලිසබෙත්,ටීෂාගේ තවත් අසල්වාසිනියක්.ඇය Fox5 Surprise Squad නම් රූරූපවාහිනී වැඩසටහනට ටීෂා ගැන ලිපියක් යවන්නේ ඒ අතර.ඔවුන් උදව් කළ යුතු පුද්ගලයන් තෝරාගෙන උදව් ලබා දෙන රූපවාහිනි වැඩසටහනක්. Fox5 කණ්ඩායම ටීෂා සොයාගෙන ඇගේ නිවසට පැමිණෙනවා.ඖඩ්‍රිගේ දරුවන්ට පිහිට වූ කතාව ඇගෙන් අසා දැන ගන්නවා.

“මම ළමා කාලයේ හැදී වැඩුණේ අනාථ නිවාසයක.එවැනි ජීවිතයක ඇති වේදනාව මම දන්නවා.මට මේ දරුවන්ට පවුලක් ලබා දෙන්නට අවශ්‍ය වූයේ ඒ නිසා.ඔවුන් දරුවන්.ඔවුන්ට මගේ නිවස යැයි පවසන්නට තැනක් තිබිය යුතුමයි.”

ටීෂා පවසන්නේ එවැනි කතාවක්.

රූපවාහිනි නාලිකාව ටීෂාගෙන් අවශ්‍ය කුමක්දැයි ඇසුවත් ඇය කිසිවක්ම ඉල්ලා සිටින්නේ නෑ.නමුත් ඔවුන් සතියක කාලයකට මේ පවුල හෝටලයක නිවාඩුවකට යවන්නට කටයුතු කරනවා.අනතුරුව මුළු නිවසම ඉතා නවීන ලෙස අලුත්වැඩියා කරන්නට කටයුතු කරනවා.සතියකට පසු නිවසට එන දරුවන් ද දෙමාපිය යුවල ද දකින්නේ සහමුලින්ම වෙනස් වූ තැනක්.ගබඩා කාමරයේ නිදාගත් වැඩිමහල් දියණියට ඇයටම කියා තනි කාමරයක් පවා ලැබී තිබුණා.වසරක කාලයක් මුළු පවුලටම සෑහෙන ලෙස ග්‍රොසරි භාණ්ඩ ලබා දෙන්නටත් රූපවාහිනි නාලිකාව කටයුතු කරනවා.පුදුම කිරීම් එතැනින් අවසන් වන්නේ නෑ.ඔවුන්ට නවීන පන්නයේ වාහනයක් පවා තිලිණයක් ලෙස ලැබෙනවා.

ඒ සියල්ල ඔවුන්ට ලැබිය යුතුම දේවල්.ටීෂා සහ කෙවින් අසල්වැසි දරු තිදෙනා දාරක ප්‍රේමයෙන් තුරුලට ගන්නේ ද ඔවුන් ඇතිදැඩි කරන්නේ ද කිසිම ලාබප්‍රයෝජනයක් පිණිස නොවේ.දරුවන් තිදෙනෙකුට ඔවුන්ට පිහිට විය හැකි හොඳම ක්‍රමය එය වූ නිසා.ඔවුන්ගේ දරුවන් ද තමන්ගේ ජීවිතයේ සැපපහසුව ගැන නොසිතා අසල්වැසි මිතුරන්ට සහයෝගයේ දෑත් දිගු කරනවා.

ඔවුන්ට පෙරළා ලැබුණේ ඔවුන් සිදු කළ යහපත මිස අන් කිසිවක් නොවේ.

More Stories

Don't Miss


Latest Articles