ආදරයෙන් සුවපත් වෙන්න!

මනුරංග කුස්සියට ආවේ අළුයම හයහමාර පසුවෙද්දි. විදුලි කේතලය ට වතුර පුරවපු ඔහු ඒක ක්‍රියාත්මක කරලා වතුර උතුරනකන් බලාගෙන හිටියා. මේ ගෙවීගෙන යන්නේ ජීවිතයේ සුන්දරම දවස්.මනුරංගට හිතුණේ එහෙම. වන්දනා තමන්ගේ ජීවිතයට ආව දවසේ ඉඳලා තමන් ජීවත් වෙනවා කියලා මනුරංගට දැනුනා .

” මනූ ඔයා මොකද කරන්නේ ?”

වන්දනා එහෙම අහගෙන කුස්සියට එද්දි මනුරංග ඒ දෙන්නම වෙනුවෙන් තේ ලෑස්ති කරලත් ඉවරයි.

” ඔයා හැමදාම පාන්දර ඇහැරෙන නිසා අද ඔයාට නිදාගන්න දීලා මම තේ හැදුවා. අපි පස්සෙ උයමු “

මනුරංග වන්දනා ගේ අතට තේ එක දුන්නේ සුපුරුදු ආදරණීය බැල්මෙන් ඇය දිහා බලන ගමන්.

” මොන මූසල ගෑනියෙක්ද ,නැගිටිනවා ඕයි “

අතීතයේ එක දවසක අසනීපයෙන් හිටපු වෙලාවක නින්ද ගියා කියලා, උදේ පාන්දරම තමන්ගෙ පිටට තද පහරක් එල්ල කරන ගමන් අශේන් එහෙම කියපු හැටි වන්දනාට මතක් උනා. ඉස්සරම දවස් වල ඒ දේවල් මතක් වෙද්දි තදින්ම හිත රිදුනත් දැන් වන්දනා ට ඒ දේවල් ජීවිතේ එක මතකයක් විතරයි.
අශේන් කියන්නේ අම්මලා ගෙනාව විවාහ යෝජනාවක් . අකමැත්තෙන් උනත් අශේන්ව විවාහ කර ගනිද්දී තමන්ට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා වන්දනා හිතුවත් ඒක හීනයක් විතරක්ම වුණා . වන්දනා මනුරංග එක්ක විවාහ වුණේ දෙමව්පියන්ට පිටුපාලා.තමන් ඒ ගත්ත තීරණය වැරදි නැහැ කියලා වන්දනාට දැන් දැන් හිතෙනවා.

එක පාරක් ගත්ත වැරදි තීරණයක් නිසා ජීවිතය හොඳම කාලයේදී විඳවන්න සිද්ධ වුණත් මනුරංග තමන්ගේ ජීවිතයට ආවට පස්සෙ විඳවපු කාලයටත් හරියන්නම ජීවිතය විඳිනවා කියලා වන්දනා ට දැනුනා .

” අද මට ෆේක් ප්‍රොෆයිල් එකකින් mesages වගයක් ඇවිල්ලා තිබුණා වන්දනා “

මනුරංග කිව්වේ හවස ගෙට ගොඩ වෙන ගමන් . වන්දනා ඒ වෙලාවේ තැතිගැන්වුනත් මනුරංග නම් ඒක ගානකටවත් ගත්තෙ නැති බවක් පෙනෙන්න තිබුනා .

” ඔයාගෙන් පරිස්සම් වෙන්න කියලා තිබුනේ. මේ කසාදේ හරියන එකකුත් නෙවෙයි කියලා තිබ්බා “

නිර්නාමිකව ආපු පණිවිඩ ගැන මනුරංග එහෙම කියද්දී කියද්දී වන්දනා නිරුත්තර වුණා .

” මං මේ කල්පනා කළේ වන්දනා , තමන්ට කියලා හරි හමං වැඩක් කරගන්න බැරි මිනිස්සු මේ ලෝකෙ කොච්චර ඉන්නවද කියලා . හැබැයි අනුන්ගේ දේවල් හොයන්න ඒ මිනිසුන්ට ඕනතරම් වෙලා තියෙනවා “

” ඒ අශේන් වෙන්න ඇති නේද ? “

වන්දනා එහෙම කිව්වේ පහත් හඬින් වගේම බයෙන්

” ඉතින් ? ඇයි ඔයා බය වෙලා? ඔයා හිතන්නෙ ඔය එක එක්කෙනා කියන දේවල් විශ්වාස කරන්න තරම් මම මෝඩයෙක් කියලා ද ? “

වන්දනා ට තිබුණ එකම සැනසීම උනේ මනුරංග තමන්ව ඇත්තටම විශ්වාස කරන එකයි. තමන්ගේ ජීවිතයම අපායක් කරපු අශේන් ගැන වන්දනාගේ හිතේ තිබුණ කලකිරීම ඒ මොහොතේ තවත් වැඩි වුණා .

” වන්දනා.. වන්දනා “

ඊළඟ දවස මනුරංග රැකියාවට ගියාම අල්ලපු ගෙදර හිටපු , වන්දනාලාගෙ ගෙවල් හිමි සුසිලා ගේට්ටුව ගාව ඉඳන් බෙරිහන් දෙන්න ගත්තා

” එන්න ඇන්ටි ගෙට “

සුසිලා ගෙට ගොඩ උනේ වටපිට බලන ගමන්.

” ඔය ළමයව හොයාගෙන පිරිමි ළමයෙක් ආවා. මගෙන් විස්තර ඇහුවා”

” මං ගැන ? “

වන්දනාට යමක් ගැන ඉව වැටුනේ ඒ වෙලාවේ .

” හ්ම්ම්.. ඔයාගේ හැඩරුවත් ඒ විදිහටම කිව්වා . අනේ මන්දා ඉතින් ඕවා “

සුසිලා වන්දනා දිහා බැලුවේ අමුතු අමුතුම බැල්මකින් .

” සමහරවිට අපේ ගමේ කෙනෙක් වෙන්න ඇති “

ටික වෙලාවක් කතා කර කර හිටපු සුසිල ආපහු ගෙදර ගියේ ඒ තරම් හිත හොඳින් නෙමෙයි කියලා වන්දනා ට තේරුණා. කොහොමහරි සුසිලා ඒ කතාව මනුරංග ටත් කියලා තිබුනේ හවස මනුරංග ගෙදරට එන්නත් කලින් ගේට්ටුව ගාව දීමයි .

” ඒ ගෑනිටත් ඕනේ නැති එකක් නෑ. දවසම ඔයා ගෙදර තනියෙන් ඉන්න නිසා ඔයා ගැන මීට වඩා හොයලා බලන්න ලු . එයා එනවා මගේ ගෑනි ගැන මට කියලා දෙන්න “

මනුරංග හිටිය කෝපයෙන්.

” අනේ අපි වෙන කොහාට හරි යමු මනූ. මෙහෙම ගියොත් මට ඔයාවත් නැතිවෙයි. මම දන්නවා මේ සේරම අශේන්ගෙ වැඩ කියලා .එයාට ඕනේ අපිව අවුල් කරන්න “

වන්දනා ඉකි බිඳින්න පටන්ගත්තෙ ඇත්තටම මනුරංග ව නැති වෙයි කියලා බයෙන් .අශේන් කියන්නේ මොනවගේ මනුස්සයෙක් ද කියලා හොඳින්ම දැනගෙන හිටපු මනුරංග අශේන්ගෙ කිසිම උගුලකට අහු වුණේ නැහැ.

විවිධාකාරයේ දුරකථන ඇමතුම් වගේම නාදුනන මිනිස්සු වන්දනා ගෙ ගෙදර ගේට්ටුව ගාව සැරිසැරීම දවසින් දවස වැඩි වුණා . ආපහු සැරයක් වන්දනා එන්න එන්නම නොසන්සුන් වුණත් මනුරංග ඒ කිසිම දෙයක් ගානකටවත් ගත්තෙ නෑ.

” මං තමුසෙට හොදින් ඉන්න දෙන්නෙ නෑ “

එක දවසක් ගෙදරට ආපු දුරකථන ඇමතුමකින් කියැවුණේ එහෙම. විවාහ වුණ දවසේ ඉඳලම තමන්ට නොයෙක් වද වේදනා දීපු අශේන් දික්කසාදයෙන් පස්සෙත් ඒක නතර කරලා නෑ කියලා දැනෙද්දි වන්දනාට ඒක දරා ගන්න බැරි වුණා. නිතරම හිතේ බයෙන් හිටපු වන්දනාට රෑට හරියට නින්ද ගියේ බොහොම කලාතුරකින් . නිතරම හීනෙන් බයවෙන වන්දනා ගැන විතරක් මනුරංග බය උනා .ඒ හැරුණුකොට බාහිරින් එන කිසිම බලපෑමකට මනුරංග ගෙ ආදරය අංශු මාත්‍රයකින් වත් අඩු කරන්න බැරි වුණා .

” වන්දනා, ලබන මාසේ අපි රට යනවා”

එක දවසක් හවසක ගෙට ගොඩ වෙන ගමන් මනුරංග එහෙම කියද්දි වන්දනාට හිතාගන්න බැරි වුණා.

” මට කැනඩාවට යන්න චාන්ස් එකක් ලැබුණා අපේ ඔෆිස් එකෙන්ම . මං නවත්තලා දාපු degree එකේ ඉතුරු ටිකත් එහෙදීම කරගන්න පුළුවන් “

” එතකොට ? “

” එතකොට ඉතින් අපි එහෙ පදිංචි වෙනවා “

එතනින් එහාට මනුරංග ඒ ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ. සති දෙක තුනක් ගෙවිල ගියාට පස්සෙ මනුරංග ගෙදර පුංචි සාදයක් ලෑස්ති කළේ කාර්යාලයේ මිතුරු මිතුරියන්ට සමු දෙන්න හිතාගෙන.

” මනුරංග ඔයා ගැන නිතරම කියනවා “

මනුරංගගේ කාර්යාලයේ වැඩ කරන දීප්ති වන්දනා ලඟින් වාඩි වුණේ එහෙම කියාගෙන .

” වෙන මිනිස්සු වගේ නෙමෙයි , මනුරංග ඔයා ගැන අපිට කිසිම දෙයක් හැංගුවේ නැහැ වන්දනා. ඔය දෙන්නා මුණ මුනගැහුනෙ පරක්කු වෙලා, ඒක තමයි එකම වැරැද්ද “

දීප්ති කිව්වේ හිතේ කිසිම කහටකින් නෙමෙයි කියලා වන්දනා ට හිතුනා .

” ඔයා දන්නවද , කැනඩාවට යන ගමනට මනුරංග සෑහෙන්න මහන්සි වුනා. එයා ඒ තීරණය ගත්තේ ඔයා නිසා. මනුරංග කියන්නේ ඔෆිස් එකේ හොඳම සේවකයෙක් නිසා එයාව ජොබ් එකෙන් අයින් නොකර කැනඩාවේ ම වේකන්සියක් හදලා දෙන්න management එක ලෑස්ති කරා “

දීප්ති තවදුරටත් කියාගෙන යනකොට වන්දනාගේ දෑස් කඳුළින් පිරෙනවා දීප්ති දැක්කා

” ඔයා හරි වාසනාවන්තයි වන්දනා. වෙන මනුස්සයෙක් නම් මේ වගේ දේවල් වෙනකොට මුලින්ම කරන්නේ තමන්ගෙ වයිෆ්ව සැකකරන එක . හැබැයි මනුරංග කළේ ඔයාව සතුටින් තියන්න පුළුවන් පාරක් හොයාගන්න මහන්සි වුන එක “

තමන් මේ ලෝකෙ ඉන්න අවාසනාවන්තම ගැහැනිය කියලා හිතාගෙන හිටපු වන්දනා ට දැන් තමන් මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම ගැහැණිය කියලා හිතුනා.

තවත් සතියකින් මනුරංග වන්දනා එක්ක කැනඩාවට යන්න ලෑස්ති වුණා. වන්දනාගේ හිතට දැනුනේ කියාගන්න බැරි තරමේ සැනසීමක්.

” අපි මේ කරන්න ප්‍රශ්න වලින් පැනල යන එකද මනුරංග ? “

” අපෝ නෑ . අපි මේ යන්නෙ අපේම ලෝකයක් හොයාගෙන වන්දනා. ඒ ලෝකේ ඉන්නේ ඔයයි මමයි විතරයි ! “

එහෙම කියපු මනුරංග වන්දනාගේ නළල මතින් හාද්දක් තිබ්බා.

ජීවිතයේ ඔබ ගන්න තීරණ ඔබට එක වරක් වරදින්නට පුළුවන්. ඒ නිසා ඔබ අසීමිත දුක් කන්දරාවක් විඳින්නත් පුළුවන්. නමුත් ඔබට ජීවිතය සතුටින් විඳින්න පුළුවන් තීරණයක් ගන්න අවස්ථාවක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඔබ කරන්නට ඕනේ ඒ අවස්ථාව හඳුනා ගැනීම පමණයි .

More Stories

Don't Miss


Latest Articles