” මිස්ටර් මල්දෙණියට මගේ වටිනාකම තීරණය කරන්න පුලුවන් කොහොමද ?”
” තමුන්ට ඕන ගාණක් කියනවා , ඕන දෙයක් කියනවා. හැබැයි මේ වැඩේ ඉක්මන්ට වෙන්න ඕනේ. දැන් ඉතිං ලෙඩේ මොකද්ද ? ලෙඩේ තියෙන්නේ කොතනද කියලත් දන්නවනේ ? ඒ හින්දා වෙන වෙන ලෙඩ පස්සේ යන්න ඕන වෙන එකක් නෑ.. “
මනුහස් නැවතත් මුවඟින් සිනාසුණේය.
” ගාණ කීය උනත් මට ප්‍රශ්නයක් නෑ. සල්ලි නැත්තන් වෙන ඕන දෙයක් උනත් කිසිම ප්‍රශ්නයක් නෑ. තමුසෙට ඕන දේ කියනවා. වෙන්න ඕන කොහොමද ඒකේ ලොකුම එකෙන් තමුසෙට හම්බෙයි “
” නෙත්‍යා සඳනාරී ඉද්දමල්ගොඩ …. මට ඕනේ එයාව. “
මනුහස් කිසිඳු අපහසුවකින් තොරව එක එල්ලේ මයන් මල්දෙණියගේ දෑස දෙස බලමින් පැවසුවේය. මනුහස් පැවසූ දේ ඇසුණු මයන් තුෂ්නිම්භූතව ඔහු දෙස බලා සිටි අතර මනුහස්ගේ කතාවට තිගැස්සී ගිය නදීල්ද දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවේය.
” මාත් එක්ක සෙල්ලං කරන්න ලෑස්ති වෙන්න එපා. “
මනුහස් දෙසට දබරැඟිල්ල දිගු කළ මයන් කෝපයෙන් කෑගැසුවේය. නමුත් ඔහුගේ කෝපය මායිම් නොකළ මනුහස් එක දිගට ඔහුගේ මුව දෙස බලා සිටියේය.
” නයින් මවුන්ටන්ස් එකේ තර්ඩ් ෆ්ලෝ එකේ ඉඳන් මූණ පෙන්නගෙන ෆෝර්ත් ෆ්ලෝ එකට ආපු මයන් මල්දෙණිය ඉමර්ජන්සි එක්සිට් එකෙන් කාටත් හොරෙන් කා පාක් එකට ඇවිල්ලා එතනින් මාරු වෙනවා. ඉමර්ජන්සි ඩෝ එක ලඟ හිටපු මයන් මල්දෙණිය වගේම ඇඳගත්තු පොරක් 221 රූම් එක ඇතුළට යනවා. ඊටපස්සේ මල්දෙණියගේ සෙකට්‍රි රමිත සේනාධීර උදේ ඇවිල්ලා කතා කරනකන්ම මිනිහා රූම් එක ඇතුළට වෙලා ඉන්නවා. පොඩි නාට්ටියක් දාපු රමිත , රණබාහු එක්ක එකතු වෙලා කලින් සෙට් කර ගත්තු සෙට් එකක් එක්ක වැඩේට බහිනවා. මයන් මල්දෙණිය වගේම රූම් එක ඇතුළට ගිය එකාව ශේප් එකේ ඊට පස්සේ එළියට ගන්නවා. ගිලිලා මැරිච්ච එකෙක්ගේ අඳුරගන්න බැරි මිනියක් තියලා , තමන්ගේ බඩු දෙක තුනක් දාලා ගෙදර මිනිස්සු ලව්ව ඒක තමන්ගේ කියලා පොලීසියයි ඔක්කොම රවට්ටලා ලොකූ ඩ්‍රාමා එකක් දානවා. ඕවා හොඳයි මිස්ටර් මල්දෙණිය පොඩි උන් රවට්ටන්න. “
මනුහස් එසේ පවසා මුවඟින් සමච්චල් සිනහවක් නැඟුවේය. මනුහස් පවසන වචනයක් වචනයක් පාසා හදවත තුළ බුර බුරා නැඟෙන කෝපයෙන් දත් මිටි කමින් මයන් ඔහු දෙස රක්ත වර්ණ දෑසින් බලා සිටියේය.
” ඔච්චර දෙයක් විනාඩි ගාණකින් හොයාගත්තු මට මේ වගේ දේකදි ඉල්ලන්න තියන ලොකුම දේ ඕක තමා මිස්ටර් මල්දෙණිය. “
” මිස්ටර් විජේවර්ධන , මෙහෙමයි .., අපි මේක හැමෝටම සාධාරණ විදිහට කරමු.. “
මඳ වේලාවකින් නැවතත් අසල තිබූ පුටුවක් තමා වෙතට ඇද ගත් නදීල් එහි අසුන් ගනිමින් මනුහස් දෙස බලා කීවේය. නදීල් දෙස එක එල්ලේ බැලූ මනුහස් හිඳ සිටි පුටුව පසුපසට බර වී දෑතම පපුව මත බැඳ ගත්තේය .
” මං මේ කතා කරන්නේ හැමෝටම සාධාරණයක් වෙන විදිහට තමා ඇමතිතුමා. නෙත්‍යා කියන්නේ මගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් . මිස්ටර් මල්දෙණිය ඒක නොදැන ඉන්න විදිහක් නෑ. ඒ දන්න නිසා තමා වජිරා මල්දෙණිය ලව්ව මාව මේ වැඩේට අල්ල ගත්තේ. හැබැයි උනේ බලාපොරොත්තු නොවිච්ච දෙයක්. මට සල්ලි වලින් වැඩක් නෑ. මං ඉල්ලුවේ මට ඕන දේ. මට වෙන දෙයක් ඕන්නෑ. දෙන්න පුලුවන් උපරිම ගාණ දීලා වෙන කාටහරි කියලා මේ වැඩේ කරගන්න පුලුවන් නං කර ගන්න. ඒකේ මට ඇති ප්‍රශ්නෙකුත් නෑ. “
මනුහස් උද්දච්ච ස්වරයෙන් මයන් දෙස බලමින් පැවසුවේය.
මයන් මොහොතක් එක දිගට කල්පනා කළේය. ඉන්පසුව නැවතත් ටීපෝව මත තිබූ මත්පැන් වීදුරුව මුවට හළා ගත්තේය.
” මයන්…!”
නදීල් මඳකට මයන් දෙස බැලුවේය. නදීල්ගේ ආමන්ත්‍රණය මනුහස්ගේ යෝජනාව පිළිගන්නා ලෙසටය.
” යකෝ … ! ඒ මගේ කසාද ගෑනි “
මයන් නදීල් වෙතටද ගුගුරා හැලුණේය.
” උඹට මේක බාර දෙන්න මීට වඩා හොඳ එකෙක් ඉන්නවද ? Who the hell you have ?”
නදීල්ගේ ඊලඟ පැනය හමුවේ මයන් නිහඬවම ඔහු වෙතින් දෑස ඉවතට ගත්තේය.
” මිස්ටර් විජේවර්ධන .., මයන් හොටෙල් එකේ ඉමර්ජන්සි එක්සිට් එකෙන් පිටවුණා කියන එක මිස්ටර් විජේවර්ධන හොයාගත්‍තේ කොහොමද ?”
මනුහස් නැවතත් වතාවක් සමච්චල් සිනහවක් පෑවේය.
” මිස්ටර් මල්දෙණිය වගේ රූම් එකට ආපු කෙනා රූම් එකේ දොර ඇරියේ දකුණු අතින්. මිස්ටර් මල්දෙණිය වමත් කාරයෙක්නේ. ? “
මයන් තිගැස්සී මනුහස් දෙස බලා සිටියේය. එතරම් කුඩා දෙයකින් ඔහු මෙතරම් විසල් නිගමනයකට ඒවි යැයි මයන් කිසි විටෙකත් නොසිතුවේය.
” ඒ එකක් විතරයි. හරියට බැලුවොත් ඒ වගේ දේවල් ඕන තරම් තිබුණා එතන වෙච්ච දේ හරියට ගෙස් කරන්න. “
නදීල් නැවතත් මයන් දෙස බැලුවේය .
” හරි.. තමුසේ වැඩේ කරනවා. තමුසෙට ඕන දේ ලැබෙයි. “
මයන් එසේ පවසා වේගයෙන් සුසුම් ළමින් මොහොතක් මනුහස් දෙස බලා සිට එතැනින් පිටව ගියේය. මනුහස් නැවතත් පිටව යන මයන් දෙස බලා මුවඟින් සමච්චල් සිනහවක් නැඟුවේය. මයන් දෙසත් මනුහස් දෙසත් බලා සිටි නදීල් කෙසේ හෝ මෙම ගැටළුවට පිළියමක් ලැබෙන්නේ නං එපමණක් ඇති යැයි තනිවම සිතමින් සුසුමක් හෙළුවේය.
**********************************************
වේගයෙන් ධාවනය කර පැමිණි මෝටර් රථය මාර්ගයේ පසෙක නතර කළ මනුහස් සුක්කානමට වැරෙන් පහරක් ගැසුවේය. ඉන් පසුව ඉතා වේගයෙන් හුස්ම ඉහල පහල දැම්මේය.
” කාලකණ්නි පර බල්ලා.. මගේ ඇස් ඉස්සරහා ඉඳලත් මට මුකුත් කරගන්න බැරි උනා. “
ඔහු කෝපයෙන් දත් මිටි කමින් දිගින් දිගටම එසේ සිතුවේය.
” සර්..!”
” කියපන්..!”
” නිකමට හරි එතන කලබලයක් උනානං අපි තාමත් මේ කිසි දෙයක් දන්නෑනේ සර්. සර් වැඩ කරලා තියෙන්නේ කරන්න ඕන හොඳම විදිහට. “
” ශිට්.. මට මං ගැනම කේන්තියි බං. මට නෙත්‍යාගේ මූණ මතක් වෙන පාරක් පාරක් ගාණේ අරූව මරන් කන්න කේන්තියක් තිබ්බේ. ඒත්.. මට අන්තිමට උනේ ඌත් එක්කම එකට එකතු වෙලා ඩ්‍රින්ක් එකක් දාන්න. “
” මයන් කාරයාව ඉවරයක් කරන එක මහ ලොකු දෙයක් නෙමෙයිනේ සර්. ඌ දැනටත් ලෝකෙටම මැරිච්ච මිනිහෙක්. හැබැයි සර් කලබල නොවුණු එකෙන් අපි නොදන්න දේවල් ගොඩක් දැනගත්තනේ ? “
” හ්ම්ම්…!”
” දැන් අපි මේකට මොකද්ද සර් ඊගාවට කරන්නේ ?”
” මං එනකන් හිටහන්. මං හෙට කොහොමත් එනවා. “
” ඕකේ සර් “
දුරකතනය පසෙකට දැමූ මනුහස් මෝටර් රථයෙ අසුනට බර වී හිස තබා ගත්තේය. කොයි යම් මොහොතක හෝ මයන් මල්දෙණිය තමා ඉදිරියට එනු ඇතැයි ඔහු දැඩිව විශ්වාස කළේය. මේ වනතුරුත් කළ කී දෑ සියල්ල ඒ සඳහාය. ක්‍රිශාන් පීරිස්ගේ නිවාඩු නිකේතනයේ සිද්ධිය මුල් කර ගනිමින් වජිරා මල්දෙණියව අත් අඩංගුවට ගැනීමේ ප්‍රධාන අරමුණද මයන් මල්දෙණියව එළියට ගැනීමය. ජීවිත කිහිපයක් එක දිගට අවසන් වීම පසුපස කුමක් හෝ බරපතල ඛේදවාචකයක් ඇති බව ඔහු මුල සිටම දැන සිටි අතර එහි මූලාරම්භය කොතනදැයි මයන් මල්දෙණිය හොඳාකාරවම දන්නා බවත් ඔහු දැන සිටියේය.
ඉදින් දැන් තලගොයා ගුලෙන් එළියට ඇවිත්ය . උගුල ඇත්තේ තමාගේ අතේය. දැන් සිදු කළ යුත්තේ උගුල ඇටවීම පමණකි. ඉන් පසුව තෙලටද , මිරිසටද කියා සිතිය හැකිය.
” උන් මැරිලා ඉවරයි. හැබැයි මං තාම ජීවත් වෙනවා. මට හැමදාම මේ විදිහට ජීවත් වෙන්න බෑ. මං ආයේ මයන් මල්දෙණිය වෙන්න ඕනේ. මං ගෙවපු ජීවිතේට ආයේ යන්න ඕනේ. “
මනුහස්ට මයන්ගේ වචන නැවතත් මතකයට නැඟුණේය.
” මං උඹට ඕන කරන ජීවිතේ දෙන්නං.. බලන් හිටහන්කෝ…!”
තමාටම මුමුණා ගත් ඔහු නැවතත් මෝටර් රථය පණ ගැන්වූයේය.
*******************************************
කෙතරම් උත්සාහ ගත්තද නෙත්‍යාගේ දෑසට නින්දක් ළං වූයේ නැත. රාත්‍රී එකොළහට ආසන්නය . උදෑසන පිට වී ගිය ඔහු පිළිබඳව තවමත් එකදු ආරංචියක් හෝ නොමැත. සචින්ද්‍ර , මව , පියා කෙතරම් වතාවක් ඒ ඔහුගේ ස්වභාවය බවත් , නිකරුණේ කලබල නොවන ලෙසටත් දිගින් දිගටම පැවසුවද නෙත්‍යාගේ සිත පුරා අහේතුක බියක් වෙළෙමින් තිබුණේය . ඈ තව තවත් මනුහස්ගේ නිදන යහන මත ගුලි වුණේය.
එක්වරම ඇසුණු මෝටර් රථයක හඬට තිගැස්සුණු නෙත්‍යා වහා යහන මත හිඳ ගත්තාය.
ගෙමිදුලට පැමිණි මෝටර් රථයක් එහි නතර කරන හඬත් , එහි දොරක් විවර වන හඬත් , නැවත වැසෙන හඬත් හොඳින් අසා සිටි නෙත්‍යා ආලින්දයේ දැල්වුණු විදුලි පහන් එළිය දැක වහා හිඳ සිටි යහනෙන් නැඟී සිටියාය.


