මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 20

0
680

මං ජීවත් උනේ පුංචි ස්ටුඩියෝ අපාට්මන්ට් එකකනෙ.

මං මතින්ද්‍ර එක්ක යාලුවෙන්න කලින් ඉඳලම ජීවත්වෙච්ච ඒ පුංචි අපාට්මන්ට් එකෙන් මට මතින්ද්‍රගෙන් බ්‍රේක් අප්….සොරි සොරි මතින්ද්‍ර මගෙන් බ්‍රේක් අප් උනාට පස්සෙවත් ගැලවිලා යන්න මට උවමනාවක් තිබ්බෙ නෑ. මගේ ඒ පුංචි කාමරේ අස්සෙ මට මගේ කියලා ජීවිතයක් දුකයි සන්තෝසෙයි මතකෙයි ඔක්කොම එක්කහු වෙලා ඉතුරු වෙලා තිබ්බා. දුක හිතෙන මතක ඒ පුංචි අපාට්මන්ට් එකේ හැම තැනකම පාහෙ දකිද්දි මතක් වෙද්දි උනත් මට එතන දාලා යන්න හිත දුන්නෙ නෑ මොකද මට මතින්ද්‍ර එක්ක තිබ්බ අන්තිම මතක ඔක්කොම ඒ අපාට්මන්ට් එකත් එක්ක බැඳිලා තිබිච්ච හන්දා.

මගෙ අපාට්මන්ට් එකේ ඇඳේ හාන්සිවෙලා ඉද්දි කුස්සියෙ උයන කෙනාව පේනවා. ඒ ඉඩකඩ දෙක අතරමැද තමයි මම මගේ ඇන්ටික් වට්නට් එක තියලා තිබ්බෙ පොතෝස් පැලකරපු පෝච්චි වලින් පුරෝලා.  ඇඳේ හාන්සිවෙලා හදිසියේ ඔෆිස් එකට යවන්න වෙච්ච ඩොකියුමන්ට් එකක් හදන ගමන් උන්න මගෙ ඇස් විටෙන් විටේ මගේ පුංචි වින්ටේජ් ලුකින් කිචන් එකේ  පැස්ටා හද හද උන්න හේසර දිහාවට ඇත්තටම ඇදිලා ගියේ අතීත මතක ආයෙ ආයෙ හිත උඩට මතුවෙද්දි.

“කවදහරි අපි බැන්දම ඔයා ඔය විදියට ඇඳේ හාන්සිවෙලා මම උයනවා බලන් ඉන්නවද?” කියල මම අතීතෙ දවසක මතින්ද්‍රගෙන් ඇහුවෙ කුස්සියට වෙල පීල් කර කර උන්න කැරට් අලේ අතේ තියාගෙන එයා දිහා බලාගෙන.

“නෑ” මතින්ද්‍ර ජබොස් ගාලා එහෙම උත්තර දුන්නම ඇත්තටම පොඩ්ඩක් මගේ හිත රිදුණා. මට ඕන උනේ එයා “ඔව් මැණිකෙ මම ඔයා දිහාම බලාගෙනම ඉන්නවා” කියලා කියන්න.

“නෑ?” මං ආයෙ එයා කිව්ව දේම රිපීට් කරේ මට ඇහිච්ච දේ ඇත්තටම හරිද කියලා ආයෙ වතාවක් කන්ෆර්ම් කරගන්න වගේ.

“නෑ” මතින්ද්‍ර කිව්වෙ හීන් සැරේ ඇඳෙන් නැගිටලා මං උන්න දිහාවට ඇවිදන් එන ගමන්. දිගටම එක එල්ලේ එයාගෙ ඇස් දෙක දිහා බලාගෙන උන්නොත් මට ඇඬෙයි කියලා හිතිච්ච බයටම මම ආයෙ වතාවක් වේගෙන් වේගෙන් කැරට් අලේ පීල් කරන්න ගත්තා.

“දැන් මූණ අලේ කරගත්තෙ තරහ වෙලාද?” කියන ගමන් මතින්ද්‍ර පිටිපස්සෙන් ඇවිත් මගේ බඩ වටේට අත් දෙක දාලා මාව බදාගත්තා. 

“බොරුවට දැන් ඉතින් හුරතල් වෙන්න එපා. මාව ඕන නෑ කියලා මෙතන”

“ආහ් දැන් කවුද කිව්වෙ ඔයාව ඕන නෑ කියලා”

“ඇයි දැන් මං ඇහුවම කසාද බැන්දම ඔහොම මං උයනකම් බලාගෙන ඉන්නවද කියල නෑ කිව්වෙ”

“ඉතින් නෑ තමයි”

“හරි හරි අපි කැතයිනෙ ඉතින් උයද්දි, ඒකනෙ බලන්නෙ නැත්තෙ. ඊලග වතාවෙ මේකප් දාලා උයන්නම් කො” කියලා මං ආයෙ කිව්වෙ නෝක්කාඩුවට.

“මං එහෙම කිව්වෙ එහෙම දෙයක් හන්දා නෙවෙයි කෙල්ලෙ”

“එහෙනම්”

“කසාද බැන්දට පස්සෙ ඔයා හිතුවද මං ඔයාව මේ වගේ පොඩි අපාට්මන්ට් එකක තියනව කියලා. මම දැනටම ඒවා ප්ලෑන් කරලා තියෙන්නෙ. අපි දෙන්න පොඩ්ඩක් කොලඹින් එහාට වෙන්න ගෙයක් ගමු. කොළඹින්ම ගන්න අමාරුයිනෙ. ඒ ගෙදර ඉතින් ලොකුයි. කුස්සිය තියෙන්නෙ පහල තට්ටුවෙ බෙඩ් රූම්ස් උඩ. එතකොට කොහොමත් මට ඇඳේ ඉද්දි ඔයා උයනවා පේන්නෙ නෑ” කියලා මතින්ද්‍ර හිමීට පල්ලෙහට නැවිලා එයාගෙ තොල් මගේ බෙල්ල අස්සෙ කිතිකැවිලා යන විදියට හංග ගද්දි ඇත්තටම මම ඇඹරිලා එයාගෙ අත් අස්සෙ හිරවුණා.

එහෙම අතීත මතක අස්සෙ කිමිදෙන ගමන් ඩොකියුමන්ට් එක වට්සැප් ගෘප් එකට දාපු මම ආයෙ ඒ අතීතෙන් වර්තමානෙට ආවෙ හේසරගෙ වචන එක්ක.

“මිස් යුවර් ඩිනර් ඊස් රෙඩි” කියලා එයා හදපු පැස්ටා එක බෝල් එකට දාලා මගේ පුංචි මේසෙ උඩට ගෙනත් තියන ගමන් මං දිහාව බලලා ලස්සනට හිනා වුණා. මං උන්නේ ඒ හිනාව දිහා බලාගෙනමයි. මට ඇත්තටම එක වෙලාවකට හිතුනා මතින්ද්‍රගෙ ඒ මතක වලට බම්බු ගහගන්න කියලා හේසරට කියලා දාන්න “Let’s give it a try” කියලා. ඒත් මොකක් හරි මංවත් නොදන්න හේතුවකට, මංවත් නොදන්න කාරණාවකට මං උන්නෙ ඒ වචන මගෙ හිත අස්සෙම හිරකරගන්න ගමන්. 

“ඔයාට මං හින්දා හරි වදේ නේද?” කියලා මං ඇත්තට ඇහුවෙ ආදරේ පෙන්නනවට වඩා අනුකම්පාව පෙන්නන එක ලේසි නිසා. මං දන්නවා ඒක වරදක් කියලා. ඒත් ඒ වෙලාවෙ ආයෙ වතාවක් ආදරේ හිතෙන් එලියට දාලා රිස්ක් එකක් ගන්නවට වඩා මට හිතුනා ලේසි කියලා අනුකම්පාවෙන් හිත දිනාගන්න එක.

“ඔයාට මං හින්දා හරි වදේ නේද?” කියලා මං ඇහුවෙ හරිම සාමාන්‍ය වචන වගේ පේන්න තිබුණත්, ඇත්තටම ඒ වචන ඇතුළේ මං හංගගෙන හිටියේ වෙනමම බයක්. මං එයාට බරක් වෙලාද කියන බය. මං එයාට දරාගන්න අමාරු කෙනෙක් කියන බය. නැත්නම්… මං ආයෙත් කාගෙහරි ජීවිතේක වැරදි තේරීමක් වෙයිද කියන බය.

“මං කැමතියි ඔයා මට වදයක් වෙනවනම්”

“ඇයි?”

“වදයක් වෙනවා කියන්නෙ ඔයා මට තව ළංවෙනවා කියන එකනෙ. ඔයා තාම අපි දෙන්නා අතරෙ ලොකු බැරියර් එකක් තියෙනවා. මං කැමති ඒ බැරියර් එක කඩලා දාලා ඇත්තටම ඔයා මට වදයක් වෙනවනම්”

මට ඒකට දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ. ඒ හන්දම මං සයිලන්ට් වෙලා උන්නා. 

“මං දැන් යනවා හොඳේ එහෙනම්. අද අම්මිව ඩොක්ටර් ලඟට එක්කරගෙන යන්න තියෙනවා”

“කලින් යන්න තිබ්බනෙ අනේ එහෙනම්”

“නෑ නෑ පරක්කු නෑනෙ. මං එහෙනම් යන්නම්. අද රෑ වෙනකම් නැගිටලා ඉන්න එපා. හෙට නිවාඩු නිසා ටිකක් කලින් නිදාගෙන හෙට උදේම ඇහැරෙන්න. අපි හෙට ගුඩ් මාකට් යන්ද? ඔයා රෙඩි වෙලා ඉන්න මං එන්නම් පික් කරන්න” කියාගෙනම හේසර මගේ අපාට්මන්ට් එකේ දොරෙන් පිටවෙලා යන ගමන් මං දිහා බලලා හිනාවෙන ඇහැක් ගැහුවා. ඇඳේ වාඩිවෙලා ලැප්ටොප් එකේ එකින් එක ටැබ්ස් ක්ලෝස් කරන ගමන් උන්න මම හේසර කියපු විහිලු කතා මතක් කර කර හිමින් සැරේ හිනාවෙන ගමන් පැස්ටා එක කෑවා.

අන්න ඒ වෙලාවෙ තමයි දොරට කවුරුහරි තට්ටු කරේ.

මම හෙමින් සැරේ ඇඳෙන් නැගිටලා ගිහින් දොර ඇරියෙ කවුද කියලා හිතාගන්න බැරුව.

“නෝනා ගෙදරද?” කියාගෙන ඒ දොර ඉස්සරහා උන්නෙ හේසර. මට ඇත්තටම හිනා ගියා එයා දොරේ එක පැත්තකට හේත්තු වෙලා මං දිහාවම මනමාලයා  වගේ බලාගෙන ඉද්දි මාත් ඒ දොරේම අනිත් පැත්තට ඒ විදියටම හේත්තු වෙලා අත් දෙක එකට බැඳගෙන හේසර දිහාවම බැලුවා.

“නෝනා නං ගෙදර? මේ මහත්තයා කවුද?”

“නෝනා කෙනෙක් නැති මහත්තයෙක්?”

“ඉතින් මෙහෙ ආවෙ”

“නෝනා කෙනෙක් ඉන්නවද කියලා බලලා යන්න”

“මෙහෙ නෝනලා නෑ ඔයාට දෙන්න”

“එතකොට මේ ඉන්නෙ”

“ඒ නෝන එහෙම මහත්තුරු එක්ක යන්නෙ නෑ”

“ආහ් එහෙමද හරි හරි එහෙනම් අපි යන්නම්කො” කියාගෙන හේසර ආයෙ ඇහැක් ගහලා කොරිඩෝ එකේ දිගට යද්දි මම ආයෙ හිනාවෙවීම දොර වැහුවා.

ඒ උනාට ආයෙ පාරක් දොරට තට්ටු වෙද්දි මට මෙච්චර වෙලා කන්ට්‍රෝල් කරගෙන උන්න හිනාව හයියෙන්ම පිටවුණා.

“ඒ පාර ඇයි?”

“ඇත්තටම බෑද?”

“මොකද්ද?”

“මට ආදරේ වෙන්න”

“අනේ හේසර ඉතින් ඕකනෙ”

“හරි හරි ඉතින් කමක් නෑ. බෑ නම් මොකද්ද කරන්නෙ. මං එහෙනම් යන්නම්කො”

“තරහද?”

“ඔයා එක්ක තරහ වෙන්න පුලුවන් නම් මට තරහ වෙන්න පුලුවන් මේ මුලු ලෝකෙම එක්ක මේඝා” කියලා හේසර ආයෙ කොරිඩෝ එකේ ඇවිදගෙන වංගුවකින් නොපෙනී යද්දි මං ඒ දිහාවම බලාගෙන ඉඳලා ලොකු හුස්මක් එක්ක කාමරේ දොර වහලා දොරට හේත්තු වෙලා ඇස් දෙක පියාගෙන සෑහෙන වෙලා කල්පනා කරා.

අන්න ඒ වෙලාවෙ තමයි ආයෙ වතාවක් දොරට තට්ටු කරන සද්දෙ මට ඇහුනෙ.

මං දොර ඇරියෙම උත්තරේ තොල් අද්දර තියාගෙනමයි.

“මං ආදරේ නැතුව නෙවෙයි. ඒත් මට හිත හදාගන්න බෑ ඔයාට ආදරේ කරන්න තාම….”

ඇරිච්ච දොරෙන් එහා පැත්තෙ දැක්ක ඒ රූපෙ ළඟ මගෙ වචන එහෙමම ගොළු වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here