“ඔයාට ආයෙ කවදාවත් හිත හදාගන්න බැරිවෙයිද මට ආදරේ කරන්න මේඝා” කියාගෙන දොරෙන් එහා පැත්තෙ උන්නෙ මතින්ද්‍ර.
අවුරුදු දෙකකට කලින් මන්දස්මිතා හින්දා මාව දාලා ගිය මතින්ද්‍ර. මගේ කියල මම කාලයක් තිස්සෙ හිතාගෙන උන්න මතින්ද්‍ර. අන්තිමේ මගෙ නෙවෙයි කියලා මට ඔප්පු වෙච්ච මතින්ද්‍ර.
මතින්ද්‍ර කතාව පටන් ගනිද්දිත් මං උන්නෙ කිසිම දෙයක් කියන්නෙ නැතුව දොර දෙපැත්තෙ හිටගෙන ඔහේ බිම බලාගෙන. ඇත්තටම මං උන්නෙ තිගැස්මක.
මතින්ද්‍රට දොරෙන් ඇතුලට, මගෙ අපාට්මන්ට් එකට එන්න දෙනවද නැද්ද කියලා හිතාගන්න බැරුව. මතින්ද්‍රව මේ දොරෙන් ඇතුලට ගන්නවා කියන්නෙ ආයෙ වතාවක් එක්තරා විදියකට එයාව ජීවිතේ අස්සට වැද්ද ගැනීමක් කියන එක හොඳාකාරවම දැනගෙන උන්නත් මට පුලුවන්කමක් තිබ්බෙ නෑ දිගටම මෙහෙම එයාව දොර එහා පැත්තෙ තියාගෙන කොල්ලටයි බල්ලටයි හැමෝටම පේන්න එයා එක්ක කතා කරන්න. මං එයාව අපාට්මන්ට් එක ඇතුලට ගත්තෙ ඒ හන්දා.
“ඔයා කොහොමද මං මෙහෙ ඉන්නවා කියලා දැනගත්තෙ?” මං ඇහුවෙ අපි අතරෙ තිබිච්ච අවුරුදු ගාණක සයිලන්ස් එක බිඳින්න වගේ.
“ඔයා මේ අපාට්මන්ට් එකට කොච්චර ආදරේද කියන එක මට කවදාවත් අමතක උනේ නෑ” කියලා මතින්ද්‍ර ඉස්සර වගේම වචන බර කරලා මං දිහාව බලාගෙනම වගේ කිව්වෙ නිකන් හරියට එයාට තාම මාව හරියටම මතකයි වගේ පෙන්නන්න උනාට ඇත්තටම මට හිත ඇතුලෙන් ඒකට හිනා ගියා. “ඒවා මතක උනාට මං කොච්චර ආදරේ කරාද කියන එකනම් බල්ලෙක් වගේ මාව දාලා යද්දි මහත්තයට මතක තිබ්බෙ නෑ නේද?” කියලා අහන්න වර්තමානෙ උන්න මේඝාට හොඳටම උවමනාව තිබ්බත් අතීතෙ උන්න මතින්ද්‍රට පිස්සුවෙන් වගේ ආදරේ කරපු මේඝා ඒ වචන වලට එළියට එන්න ඉඩ දුන්නෙ නෑ.
මං ඉස්සර වගේම නෙවෙයි කියලා ඔප්පු කරන්න හිත තිබ්බත්, මං තාමත් සම්පූර්ණයෙන් වෙනස් වෙලා නෑ කියලා මටම තේරුණේ අන්න ඒ වචන එක්ක.
මං කිසිම උත්තරයක් දුන්නෙ නැතුව කුස්සිය පැත්තට හැරිලා ගියා.
එයාට ඉඳගන්න කියලවත් මට හිත නොදුන්නත්, එයා තමන්ට හිතෙන තැනක ඉඳගත්තේ අමුත්තෙක් වගේ නෙවෙයි… හුරුපුරුදු කෙනෙක් වගේ.
ඒක මට තවත් අසහනයක් වුණා.
“ඔයා තාමත් පැස්ටා හදනවද?” එයා ඇහුවෙ මේසෙ උඩ තිබ්බ මං බාගෙට කාලා තිබ්බ පැස්ටා බෝල් එක දිහා බලලා.
මං හිනාවුණා. මට ඕන උනා මතින්ද්‍රට රිදෙන්නත් එක්ක කියන්න “ඕක හැදුවෙ මං නෙවෙයි, හේසර” කියලා. ඒත් හේසර කියන්නෙ කවුද, හේසර එක්ක මගේ තියෙන සම්බන්දෙ මොකද්ද කියලා මමවත් අයිඩෙන්ටිෆයි කරලා නැතිවෙලාවක හේසර ගැන ආයෙ එකපාර මගෙ ජිවිතේට ආව මතින්ද්‍රට කියන්න උවමනාවක් මට තිබ්බෙ නෑ. ඒ නිසාම මතින්ද්‍රට ඕන රෙද්දක් හිතාගන්න කියලා ඉඩ දීලා මම කරේ සද්ද නැතුව උන්න එක.
“ඔයා පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ මේඝා…”
මතින්ද්‍ර ඒක කිව්වෙ හරිම විශ්වාසයෙන්. හරියට ඒක කවුරුත් දන්න ඇත්තක් වගේ.
මං ඒකට කිසිම උත්තරයක් දුන්නෙ නෑ. ඇත්තටම මට හිතුණෙ ඒ වචනවලට මං මොනවා කිව්වත් වැඩක් නෑ කියලා. අපේ මැද තිබ්බ ඒ සයිලන්ස් එක මම ඒකට උත්තර නුදුන්න හන්දා තව ටිකක් වෙලා ඇදිලා ගියා.
“ඔව්… ඇත්තටම බැලුවොත්…” එයාම ආයෙ කතාව පටන් ගත්තා, “පහුගිය අවුරුදු දෙකේදි වෙනස් වුණේ මං මිසක් ඔයා නෙවෙයිනෙ… නේද?”
මං තාමත් ගොළු වෙලා වගේ බලාගෙන හිටියා මිසක් ඔය කිසි දේකට කිසි දෙයක් කියන්න ගියේ නෑ. ඇත්තටම මට කියන්න කිසිම දෙයක් තිබ්බෙ නෑ. මොනවා කියලා කියන්නද? තමන්ව දාලා ගියපු මිනිහා ආයෙ අවුරුදු දෙකකට පස්සෙ ඇවිල්ල තමන් ඉස්සරහා හිටගෙන මේ හදන්නෙ දුක කියලා ආයෙ වතාවක් තමන්ව රවට්ටගන්න කියලා හොඳටම තේරෙද්දිත් “බැහැපං බල්ලො එලියට” කියලා නොකිය ඌව ගේ අස්සට වැද්දගත්ත ගොං ගෑනියෙක් වෙච්ච මම එවෙලෙ කට පියාගෙන උන්න එක ගැන මගේ මොලේ පොඩ්ඩක් හරි වැඩ කරන පැත්ත එවෙලෙ සන්තෝස උනා කියලයි මටනම් හිතුනෙ.
“මං තමයි වෙනස් වෙන්න හදලා… බලෙන්ම වෙනස් වෙලා… අන්තිමේ…” එයා හිනාවුණා. හැබැයි ඒ හිනාවෙ තිබ්බෙ මහා අමුත්තක්. ඒක මට පෙනුනෙ තමන් වෙනුවෙන්ම එල්ල කරගත්ත මහ කිණ්ඩි හිනාවක් කියලා. “අන්තිමට මට මාවම නැති වෙලා.”
එයා ඉඳගෙන උන්න තැනින් ටිකක් ඉස්සරහට නැවිලා, අත් දෙක එකට පටලවාගෙන බිම බලලා කතා කරන්න ගත්තා.
“ඔයා දන්නවාද මේඝා… අපි හිතනවානෙ ප්‍රැක්ටිකල් ඩිසිශන්ස් ගත්තම ජීවිතේ ලස්සනට සෙට්ල් වෙයි කියලා… හැමදේම හරි පීල්ලට වැටෙයි කියලා… ඒත්…” එයා ලොකු හුස්මක් දාලා නතර වුණා. “අන්න ඒ පීල්ලට වැටෙන්න ගියපාර… මට මාවම අමතක වෙලා, මාවම අතහැරලා දාලා තියෙනවා වගේ මට දැන් දැනෙන්නෙ.”
“ගෙදර… මට ඕන කරන හැමදේම තියෙනවා මේඝා. කිසිම අඩුවක් නෑ කියලා ඕනම කෙනෙක්ට හිතෙනවා…”
“හැබැයි…” එයා වචන හොයනවා වගේ ටිකක් හිනා වුණා, “මට කවුරුත් එක්කවත් හිතේ හැටියට මම කතා කරනවා වගේ දැනෙන්නෙ නෑ. කතා කරනවා තමයි… ඒත්…”
“කවුරුත් මං කියන දේ අහගෙන ඉන්නවා නෙවෙයි. මං කොහේ හරි හිරවෙලා වගේ”
මට ඒ වචන ඇහෙනකොට… අදාල නෑ වගේ ඉන්න ඕන වුණත්, ඒ හැඟීම මටත් හුරුයි කියලා මගේ හිත ඇතුළෙන් පිළිගන්න වුණා. මං මතින්ද්‍ර දිහා මේ සම්පූර්ණ වෙලාව පුරාවටම පලවෙනි වතාවට ඇස් ඇරලා කෙලින්ම බැලුවෙ අන්න එවෙලෙ.
එවෙලෙ තමයි මං දැක්කෙ ඒ මං ඉස්සරහා මෙච්චර වෙලා හිටගෙන ඉඳලා තියෙන්නෙ මං ආදරේ කරපු මාව අවුරුදු දෙකකට කලින් දාලා ගියපු මතින්ද්‍ර නෙවේය කියන එක. මේ මතින්ද්‍රයි ඒ මතින්ද්‍රයි අතරෙ මොකක් හරි ලොකුම ලොකු වෙනසක් වෙලා තියෙනවය කියන එක. මං ඉස්සරහ මතින්ද්‍රට ආදරේ කරාට දැන් ඉන්න මතින්ද්‍ර මගෙන් ඉල්ලන්නෙ ආදරේ විතරක් නෙවි අනුකම්පාවය කියන එක.
“මං සමහර වෙලාවට හිතනවා…” එයා දිගටම කියවනවා, “මං ඉන්නෙ හරි තැනකද කියලා… නැත්නම් මං නිකන්ම ඒකට ගැළපෙන්න උත්සාහ කරනවා විතරද කියලා…” එයා ටිකක් ඉස්සරහ බලලා මගේ මූණ දිහාවට හැරුණා. “ඔයා එක්ක හිටපු කාලෙ…”
“මට කිසිම දෙයක් විස්තර කරන්න ඕන වුණේ නෑ මේඝා. මං කොහොම හිටියත්… ඔයාට ඒක ඉබේම තේරුණා.”
ඒ වචන අස්සෙ ලොකු අතීත කාමයක් තිබ්බා. ඒක හරියට තමන්ට අහිමි වෙච්ච සැපපහසුකමක් ගැන පසුතැවෙන මනුස්සයෙක්ගේ හඬක් වගේ මට ඇහුණෙ.
“දැන් මට හැමදේම විස්තර කරන්න වෙනවා… මං කරන දේවල් සාධාරණීකරණය කරන්න වෙනවා… අන්තිමේ මං හිතන දේවල් පවා මට විස්තර කරන්න වෙලා…” එයා හිනාවුණා. ඒක අසරණ හිනාවක්. “අන්තිමට මං හිතනවා… මං හීන දැකපු ජීවිතේ මේකද කියලා…”
“මට සමහර වෙලාවට…”
“ඔයා මතක් වෙනවා කියලා කියන්නත් මට බය හිතෙනවා.” එයා ඒක කිව්වෙ හරිම හෙමින්. “මං දන්නවා ඒක වැරදියි කියලා… හැබැයි… ඒක නවත්තගන්න බැරි වෙච්ච දවස් ඕන තරම් තියෙනවා.”
මං තාමත් සද්ද නැතුව හිටියා. ඒ නිහඬතාවය අස්සෙ මට එයාගේ ඇත්ත පේන්න ගත්තා. මේක ආදරේ නෙවෙයි. මේක ජීවිතේ එක්තරා විදියක හෙම්බත් වීමක් අස්සෙ අතරමං වෙච්ච මනුස්සයෙක්ට, තමන්ට හුරුපුරුදු සැනසීමක් මතක් වෙන එක විතරයි.
ඒත් ඒ මතින්ද්‍රගෙ හුරුපුරුදු සැනසීම අස්සෙ මගේ මේ අමාරුවෙන් අත්පත් කරගත්ත සැනසීම ආයෙ මට නැතිවෙයි කියන බයටමයි මම ඒ මෙච්චර වෙලා අගුළු දාන් උන්න කට ඇරලා ඒ කතාව ඇහුවෙ.
“දැන් ඔයා මට මොකක් කරන්න කියලද මතින්ද්‍ර කියන්නෙ?”


