අංගාර – 62

0
590

චායා සස්මිතගෙන් මිදී නැගිට්ටාය. යහනෙන් බැස්සාය. කුඩා ශීතකරණයෙන් බියර් කෑනයක් ගත්තේය. එය සස්මිත වෙත රැගෙන ආවාය. බියර් කෑනය සස්මිත වෙත පෑවාය. සස්මිත ඇඳ වියලට වාරු වී වඩා කෙලින්ව හිඳ ගත්තේය.  චායා අත තිබූ බියර් කෑනය ගත්තේය.

ඉන් පසුව චායා කුඩා ස්ටූලය වෙත ගොස් එහි වූ පළතුරු කූඩයෙන් ඇපල් ගෙඩියක් ගෙන කපා ගත්තාය. මිදි ගෙඩි කිහිපයක් ද ගත්තාය.

” ම්ම්ම් .. “

එය සස්මිත වෙත පා, පසුව එය යහනේම තමා සස්මිත අසලින් ඔහු දෙස බලාගෙන හිඳගත්තාය. ඇය උත්සාහ කරමින් උන්නේ සස්මිත දරා සිටින, ඔහු පවසන්නට යන කතාවේ බර අඩු කරන්නටය.

සස්මිතගේ මුවට බලෙන්ම ඇපල් කැබැල්ලක් එබූ චායා තම මුවටද ඇපල්  කැබැල්ලක් දමා ගත්තාට. සස්මිත ධෛර්‍යමත් කරන බැල්මකින් ඔහු දෙස බැලුවාය.

” අපේ තාත්තා මාරම නිවුණු මනුස්සයෙක් චායා .. මම අම්මයි තාත්තයි අතරේ රණ්ඩු ඇති වුනා කියලා ඔයාට කිව්වට, රණ්ඩු කලේ අම්මා… තාත්තා කලේ අහගෙන උන්න එක .. ඉඳලා ඉඳලා බැරිම   තැන වචනයක් දෙකක් කියපු එක ….  අම්මා වුනත් එහෙම රණ්ඩු කරන, නපුරු ගෑණියෙක් නෙවෙයි . අම්මව ඒ තැනට පත් කලේ අපේ අසරණකම … තාත්තාගේ පවුලේ අයට කොයි තර වත් පොහොසත්කම් තිබුනත්, තාත්තා වෙනුවෙන් ඒ කිසිම දෙයක් නොදෙන එකයි, තාත්තා බංකොලොත් වෙලා ගියේ, තාත්තා තාත්තාගේ පවුලේ අය වෙනුවෙන් කල උදව් සීමාව ඉක්මවපු නිසයි කියන සිතුවිල්ලත් අම්මාගේ ඔලුවේ තදටම තිබුනා…”

” ඕක කඩන්නකො…. මටත් උගුරක් ..”

චායා සස්මිතගේ කතාව ඉතා විමසිල්ලෙන් අසා සිටිමින්, ඒ බව පෙන්වමින්, එහෙත් ඒ කතාවේ බර, තමා අනාගතය වෙනුවෙන්, සස්මිතගේ උරෙන් ගන්නා බව විශ්වාසයෙන් පෙන්වමින්  කීවාය. සස්මිත බියර් කෑනය කැඩුවේය. උගුරක් බීවේය. චායා වෙත පෑවේය.

ඕ ඉන් උගුරක් බීවාය.

“එදා අයියා එක්ක අපි ගියපු දවසේ, මට ඔයා එක්ක බියර් එකක් බොන්නම ආස හිතුනා…”

චායා අතීතයට බැස්සාය. සස්මිත එයට සිනාසුනේය. තමාටද එදින චායා වැලඳගෙන තමා වෙත නතු කරගන්නට තිබූ  උන්මාදනීය ආශාව ඒ සිනහවේ ගැබ්ව තිබුනේය.

” අම්මා කිව්වා, තාත්තගේ තාත්තා..   ඒ කිව්වේ අපේ සීයා, අම්මා එක්ක තියෙන තරහ නිසා තමයි තාත්තාට කිසිම දෙයක් නොදෙන්නේ… තාත්තාව නැත්තටම නැති වෙනකල් සල්ලි ටික හූරගෙන කාලා අම්මව පාරට වට්ටවන්න හදන්නේ කියලා …”

” හ්ම්ම්…”

” මං පස්සේ දවසක  හවස සීයාව හම්බෙන්න ගියා චායා .. ඒ  අර මම අක්කාගේ ප්‍රශ්නේ ගැන ඔයා එක්ක කතා කරපු දවසේ හවස.. මම හිතුවේ නැහැ ඒ යන ගමනෙන් මගේ ජීවිතේ ඒ තරම් විනාස වේවි කියලා..”

චායා සස්මිත අතේ තිබු බියර් කෑනයෙන් තවත්  උගුරක් බීවාය. ඇපල් කැබැල්ලක් මුව රුවා ගත්තාය.

එදා මම යනකොට, සීයා විතරයි ගෙදර උන්නේ… තව මම නොදැකපු ගෑණු කෙනෙක් හිටියා. එයා උන්නේ සියාගේ ලඟ බිම වාඩි වෙලා මොනවද කන ගමන් .. එයා ප්‍රෙග්නන්ට් කියලත් දැක්කා මම …. මම දන්නේ නෑ චායා මම කොහොම එහෙම කතාවක් ගොතාගත්තාද කියලා.. මම ඒ ගෑණු කෙනාට කෑ  ගහලා බැන්නා චායා … ලැජ්ජ නැද්ද  වයසක පිරිමින්ගේ ඇඟ පත අත ගාලා දේපල හූරගන්න .. අරක මේක කියලා.. සත්තයි මම ඒ කෙනාව දැකලම තිබුනේ නැහැ චායා…”

” ඉතින් …”

” ඒ ගෑණු කෙනා මට මොනවද මන්දා කියන්න හැදුවා, ඒත් මම ඒවා ඇහුවේ නෑ.. මම හයියෙන් කෑ ගහලා බැන්නා.. ඒ එක්කම ඒ ගෑණු කෙනා කලන්තේ දාලා වගේ වැටුණා..ඔලුව පඩිපෙලේ වැදුණා… සිහිය නැති වුනා..”

චායා සස්මිතගේ අතකින් අල්ලා ගත්තාය. සස්මිත හිස සැලුවේය තමා අතීතයෙහි කල වරදෙහි දඬුවම විඳිනවාය යන හැඟීම ඔහුගේ දෑස් හී විය.

” ඒ එක්කම බාප්පා ගේ ඇතුලේ ඉඳන් දුවලා ආවා… සීයා මොනවාද මන්දා කියලා කෑ ගැහුවා.. බාප්පා කාර් එක අරගෙන ඇවිල්ලා අර ගෑණු කෙනාව දාගන්නකොට මම එහෙමම පාරට පැනලා ගෙදර එන්න  බස් එකක එල්ලුනා ….”

සස්මිත සුසුමක් හෙලුවේය. ඔහු බියර් කෑනය හිස් කලේය. චායා සස්මිතගේ අත අතැරියේමැ නැත.

” එදා හවස දැනගන්න ලැබුනා, ඒ ගෑණු කෙනා බාප්පාගේ නෝනා කියලා.. මඟුල් කන්නේ නැතිවම බැඳලා ඒගොල්ලෝ .. එයාගේ කුසේ උන්න දරුවා නැති වෙලා තිබ්බා චායා ..ඒ පුංචි උඩ තට්ටුවෙන් පැනලා එදාම නැති උනා … ඒ සිද්දිය පත්තරවලත් ගිහින් තිබුනා…. පහුවෙනිදා බාප්පා පිස්සෙක් වගේ කියවගෙන  අපේ තාත්තාව මරන්න ආවා… මම … මම බාප්පාට ගැහුවා උදැල්ලකින් ..බාප්පා නැති වුනා…එතැනම … ඒක  දැකලා අපේ තාත්තා … අසනීප වුනා… සීයාට හාර්ට් ඇටෑක් එකක් ඇවිල්ලා, ඒකට බේහෙත් කරද්දී ආයෙම ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා ඔලුවේ එයා සති දෙකකින් ද කොහෙද  නැති වුනා….

බාප්පා ගේ සිද්දියට පස්සේ අම්මා මට ගැහුවා කොස්සක් කැඩෙනකල් .. අම්මා කිව්වේම, උඹ මොකටද මහ උන්ගේ ප්‍රශ්න විසඳන්න ගියේ කියලා.. මට අම්මට කියාගන්න බැරි වුනා අම්මා මට කීව අපේ අයිතිය  ඉල්ලගන්නයි මම ගියේ කියලා… මට අක්කව බේරගන්න සල්ලියි ඕනි වුනේ කියලා .. ඒ වෙනුවට, අම්මට මගේ අත ඉස්සුණා චායා … අම්මට මගේ වචන ඇවිස්සුනා… මම .. අසිහියෙන් ඉන්නැත්තේ චායා.. එහෙම  නැත්නම් මම එහෙම කරන්න උන්න මිනිහෙක් නෙවෙයිනේ චායා… තාත්තාගේ පවුලේ අය පිස්සු වැටුනා…මං ගෙදරින් පැනලා ගියා.. මට කැම්පස් එන්න පුලුවන් කමක් තිබුනේ නෑ.. මට යන්න එන්න කියලා තැනක් තිබ්බේත් නෑ ..මං අම්මාගේ නැන්දා කෙනෙක්ගේ  දුවෙක්ගේ ගෙදර ගියා.. ඒ වෙද්දී ඒ අක්කලත් විස්තරේ දන්නවා.. ඒත් මට ඉන්න දුන්නා…..”

සස්මිත දෑස් පියාගත්තේය. තමා මේ පවසන්නේ කුමක්දැයි සස්මිතටපැහැදිලි අවබෝදයක් තිබුනේය. අතීතයේ සැබැවින්ම  සිදුවූ සිදුවීමකට තම නම හා කිරීම පමණක්ම වේ.

” බාප්පලා තාත්තා අසනීපයි නොහිතා ගෙදරට ඇවිල්ලා කෑ ගහන්න අරන් තිබුණා.. ඒ බාප්පාගේ අවසන් කටයුතු කල දවසේ.. ඒගොල්ලෝ තාත්තාට මළ ගෙදරටවත් එන්න ඉඩ දීලා තිබුනේ නැහැ.. තාත්තා හරියට අඬනවා කියලා, අර මම උන්න ගෙදර අක්කලා කතා වෙනවා අහගෙන මමත් ඇඬුවා චායා…

” වෙවුලන්නෙපා  වස්තුවේ…”

” තවම මට ඔහොම කතා කරනවාද ඔයා ?..”

සස්මිත එලෙසින් විමසද්දී චායා නැගිට ඔහුව තම බඳට වන සේ නතු කරගත්තාය. සස්මිත එක් අතක් ඇගේ බඳ වටා යවා තවත් ඇගේ කුසටම නතු වූයේය.

“මම යකාට කතා කරලා ඔයාට බොරුවක් කියන්න දේවල් හැදුවා… මං ඒ වෙද්දී තේරුම් අරන් උන්නේ මගේ ජීවිතේ ඉවරයි කියලා…”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here