අම්මාගෙන් දෝණිට – 4

මගේ දූ බලන්න නෑදෑයෝ සහ යාලුවො එන්න පටන් අරන්. හැමෝම දූ ව වට කරගෙන ඉන්නකොට මට මතක් වෙනවා අම්මා එක්ක ඉස්සර ඒ අයට කතා කරන්න තිබුණු දේවල්. අම්මා එක්ක කතා කරන්න නෙවෙයි දැන් එයාලට ඕනෑ අම්මාට උපදෙස් දෙන්න. ඔයාගේ දොස්තර නැන්දා සහ මිඩ්වයිෆ් නැන්දා දූ බලා ගන්න අම්මාට ගොඩක් උපදෙස් දුන්නු නිසාත් අම්මා හුඟාක් පොත් කියවමින් සහ අන්තර්ජාලය ඇසුරු කරමින් දූ රැක බලා ගන්න විස්තර හොයා ගත් බවත් කියන්න හිතුණත් අම්මා නිහඬවම ඉන්නවා.

අනිත් කාරණාව දූගේ අත්තම්මලා දෙන්නා ඉන්න නිසා අම්මාට ඔයා ගැන කිසිම බයක් නෑ. ඒත් එන හැමෝම උපදෙස් දෙනවා. අම්මාගේ ඔෆිස් එකේ ඉන්න තවම කසාද බඳින්නවත් හිතලා නැති නැන්දිලා පවා පුදුම දේවල් තමයි දන්නේ.

ඒකට කමක් නෑ. ඒත් සමහරු එන්නේ දැනුම් දීමක් වත් නැතුව.සමහරු බස් එකේ ඇවිත් දාඩිය පිටින්ම ඔයාව වඩා ගන්නවා. හාදු තියනවා. විෂබීජයක් වත් ආවොත් කියලා අම්මාට හරිම බයයි. අනිත් කාරණාව තමයි අම්මාත් තවම අමාරුවෙන් ඉන්න නිසා ඒ අයට හරියට සංග්‍රහ කරන්න අම්මාට අමාරුයි. අම්මා ගොඩක් මහත් වෙලා කැත වෙලා බවත් සමහරු අම්මාට මතක් කරලා දෙනවා.

අම්මාට හරිම වෙහෙසයි. ඔයාව බලන්න එන අය ඔයා තවම මේ ලෝකෙට හුරුවෙමින් ඉන්න බවත් මේ අලුත් තත්වයට හැඩ ගැහෙනවා මිසක් සංග්‍රහ කරන්න ,ලස්සනට ඉන්න අම්මාට අමාරු බවත් තේරුම් ගන්නවා නම් මොනතරම් දෙයක් ද කියලා මට හිතෙනවා මල් පෙත්ත..

කමක් නෑ..

අපි ලොකු වෙනකොට ඉගෙන ගමු, අනිත් අයට කරදර කරන එක සහ ඕනෑවට වඩා උපදෙස් දෙන්න යන එක ඒ තරම් හොඳ මදි කියන එක.

මොකද සමහර නොහිතන දේවල් ලොකු තුවාල ඇති කරන නිසා.

මම ඔයාගේ අම්මා,

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles