Vintage Eyes – 08

කම්මුල් පුපුරු ගසනවා මට දැනිණ. දෙතොල් පෙති වියළී යනවා මට දැනිණ. ඇස් දෙක කඩා වැටෙන්නට එනවා සේ මට දැනිණ. රුධිර සංසරණය රත් වී හෝ සීතල වී ඇති බවක් මට දැනිණ. කන් දෙකෙන් දුම් පිට වෙන්නා සේ මට දැනිණ. පුටුවෙන් බැස මේසය යටට රිංගා ගත් මම විහාර වෛශාක්‍ය අමරසිංහ ගේ අත්සන සහිත පැබ්ලෝ නෙරූඩා ගේ කවි පොතෙන් මූණ වසා ගතිමි. 

දෙවියනි මා දැන් ඉතින් ඔහු ට මූණ දෙන්නේ කොහොමද? ඔහු ට නොව මුළු ලෝකයට ම මූණ දී ගත නො හැකියාවකින් පොළොව යට වැළලී යන්නට ඒ වෙලාවේ මට ඕන වුණේ ය.

“මොකද මේ..”

කිසිවක් වටහා ගත නො හැකි ව නූරි පුටුවෙන් නැගිට මේසය යටට එබී බැලුවා ය. මට හදිසියේ ම පිස්සු හැදී ගෙන එනවාද කියා ඇයට සිතුණා නම් ඒ ගැන පුදුම නො විය යුතු ය. 

“වර එළියට”

කියමින් ඕ මගේ අතකින් ඇද මේසය යටින් මාව පිටතට ගත්තා ය. 

“පයිත්තියන්ද…”

“වෙලා තියන දෙයක් දන්නවනං ඔයා ඔහොම කියන්නෑ”

“මොකද්ද දැං වෙලා තියෙන්නෙ..”

“ලෙමන් අමරසිංහ එනකොට මං හිටියෙ සින්දුවක් කිය කිය පැළ වලට වතුර දදා. එයා මගෙන් ඇහුව ඇයි ඒ සින්දුවට ආස කියල”

“ඒක මාර වැඩක්නෙ. අපි එයාගෙං අහනවයැ ඇයි ලෙමන් ජින් වලට ආස කියල..”

“හිටුකො කියනකං. මං ඉතිං ඒකෙ ලිරික්ස් ගැනයි ලියපු විහාර වෛශාක්‍ය ගැනයි කියවන්න ගත්ත…ඒ කියපු හැටියට ශුවර් එකටම පොර හිතුව මං විහාරට ක්‍රශ් කියල”

“ඒක හොඳයි. එතකොට හිතන්නෑනෙ තමුසෙ එයාට ක්‍රශ් කියල”

“මොනාද මේ කියන්නෙ දෙයියනේ…මට නෝන්ඩි හිනාවක් දාල ගිහින් මේ දීපු පොත…”

මම කවරය දිග හැර නූරි ගේ ඇස් ඉදිරියේ අල්ලා ගතිමි. විශ්මයෙන් ඇගේ මුව විවර විය.

“ඒ කියන්නෙ…පොර ද විහාර…”

“ඔව් අප්පා…වහ නැද්ද වහ…බෝ ගස් හන්දියෙ හොයා ගන්න නැත්තං මට හෝමගමිං හරි ගෙනත් දීපියව් වහ”

නූරි හඬ නගා සිනහ වෙන්නට පටන් ගත්තේ ඒ වෙලාවේ ය. ඇයට ඒ සිනහව නතර කර ගත නො හැකි වූ තරමි. මුහුණ රතු වී ඇස් වලට කඳුළු පිරී තිබිණ. මම මූණ බෙරි කර ගෙන ඇදෙස බලා සිටියෙමි.

“ඒක මරු…”

ඇය සිනහ වෙමින් ම කීවා ය.

“කොහොමද මරු වෙන්නෙ…”

මගේ ස්වරය හැඬුම් බර වූයේ ය.

“ඒකා හිතා ගන්න ඇති මේකි එයාට ඩබල් ක්‍රශ් කියල”

“අයියෝ සාමි…මට පොළොව යට බිංකුණ්ඩෙක් වගේ හැංගෙන්න ඕනෙ. මේ පොත ගෙනියන්න හරි ආවොත් මං කොහොමද එයාගෙ මූණ බලන්නෙ…”

“ඔය පොත දුන්නෙ පොත බලන්නම නෙවේ. මං තමයි විහාර කියල කියන්න. දැං ඉතිං කුම්බලා මාළු කෑවනං විඳෝපංකො”

ඒ අසහනකාරී බව අතරේත් මට යම් යම් දෑ සිහි විය. විහාර ලියන වචන අතරේ දැවටී තිබුණ තේරුං ගන්නට බැරි ශෝකී හුදෙකලාව ඔහු ගේ ඇස් යට නිදන්ගත වී තියේ. ඒ ගැඹුරු ශෝකයත්, ඒ ලෙමන් සුවඳත්, ඒ ආත්මීය වචනත් අපට හිතා ගත නො හැකි අදෘශ්‍යමාන තැනක හමු වී මුහු වෙන ඒවා ය. මුහු වෙමින් ඉපදෙන ඒවා ය. ඒ වාගේ වචන ඉපිදවිය හැක්කේත් ඒ වාගේ හැඟීම් දැනවිය හැක්කේත් ඒ වාගේ පුරුෂයෙකුට පමණකි. මම නෙරූඩා ගේ පොත පපුවට තුරුළු කොට ගතිමි.

“දැන් ඉතිං අහසෙවත් පොළොවෙවත් මුහුදෙවත් හැංගෙන්න තැන් හොයන්න එපා ශිකියො. වෙන දෙයක් වෙන්න ඇරල බලං ඉන්න එක තමයි කරන්න තියෙන්නෙ. අනිත් එක ඔය ඉරණම කියන එක්කෙනාට ඕන දේ එයා අපි කොහේ හැංගුනත් කරනව. මං තමුසෙව හංගල තියන්න හැදුව හැදුව..ම්හු. බැරි වුණා. දැං ඉතිං ඔය සුළි කුණාටුවට අහු වෙන එක තමයි කරන්න තියෙන්නෙ…එක්කො ගහං යයි. එක්කො ගොඩ එයි”

නූරි එහෙම කියත්දී වෙනදා නො දැනුණ බියක් මට නො දැනුණා ම නොවේ. නමුත් දැනටමත් මා සුළි කුණාටුව මැද්දට වැටී ඇති බවක් ද යටි හිත හෙමිහිට කොඳුරා කියන හඬ ඇසිණ.

“ශිකී..අම්ම නේද එන්නෙ…”

නූරි එසේ ඇසුවේ මා නෙරූඩා ගේ පොත දිග හැර ගෙන කවියක් කියවමින් ද විහාර ගේ අත්සනේ කලාත්මක හැඩ තල රස විඳිමින් ද සිටි වෙලාවක ය. මා තිගැස්සී ගිය එක ගැන ඔබ පුදුම නො විය යුතු ය. ඒ, අම්මා එහෙම අහඹු ගමනක් ඊට පෙර ඇවිත් නැති නිසා ය. එම්බ්‍රොයිඩර් කරනා රෙදි ගෙන යනවා නම් ඇය ඒ බව මට කලින් කියයි. එතකොට ඒ වෙලාවට මම ස්කූටියෙන් ගෙදර යමි. කඩ පිලට හෝ හෝමාගම පොළට හෝ මහරගමට හෝ යන්නට ඇත්නම් ඇය ඒ ගැන කියන්නී ය. ඇගේ ගමන් ඉතා අල්ප ය. අම්මා ගේ දෛනික ජීවිතයෙන් වැඩි කාලයක් ගෙවෙන්නේ ගෙදර ය. එම්බ්‍රොයිඩර් කරනා මැෂිමත් එක්ක ය. අප ස්කූටරය ගත්තාට පස්සේ ඇය මේ විදිහට තනිව පයින් බෝ ගස් හන්දියට වරක් හෝ පැමිණ නැත. 

පොත මේසය මත තබා මා නැගිට ගත්තේ පපුව මැද හට ගත් ගින්දරක් එක්ක ය. ඇයිදෝ මන්දා මට තාත්තාත් ඔහු ගේ දෙවන බිරිඳත් එක වර ම සිහි විය.

“ඇයි අම්මෙ…”

අම්මා ගේ ඇස් වල කඳුළක් වනු මා දුටුවේ ඇය විශ් යූ තුළට පැමිණි පසු ය. මගේ හදවතේ කලබලය තවත් වැඩි විය.

“අනේ ඇයි අම්මෙ අඬන්නෙ…මොකද වුණේ කියන්නකො”

අතේ ගුලි කර ගෙන උන් පුංචි ලේන්සුව ඇහැට ඔබා ඇය කඳුළේ තෙත මාත්තු කළා ය.

“තාත්ත…”

නමුත් ඇගේ හඬ බිඳී ගියේ ය.

“ආවද…ඉතිං ඇයි මට කෝල් එකක් දුන්නැත්තෙ…එහෙම කළානං මං ටක් ගාල ගෙදර එනවනෙ අම්මෙ”

“තාත්ත ආයෙ එන්නෑ පුතේ…”

“ඒ කියන්නෙ…මොකද්ද වුණේ…”

“තාත්ත නැති වෙලා”

ඒ වාගේ වචන තුනක් ඊට පෙර කිසි දාක මා අසා නැත. ඒ වගේ සරල වචන තුනකට ආත්මයක් මුළුමනින් අවහිර කළ හැකි බවක් මා දැන සිටියේ ද නැත. එය අභ්‍යන්තර විදාරණයකි. මගේ සිරුර ඇතුළේ වූ අතුණුබහන්, ආමාශය, අක්මාව, වකුගඩු, ප්ලීහාව,ගර්භාෂය, පෙනහලු…ඒ සියල්ල ඒ විදාරණයෙන් කුඩු කුඩු වී සුණු විසුණු වී ගියේ ය. ඒවා අවකාශයෙහි විසිර යනවා සේ මට දැනිණ. මම එක තැන නතර කර ගත් දෑසකින් බලා සිටියෙමි. බලා සිටියේ කවරක් දෙස දැයි මට නිනව් නැත. මගේ ඇස් වලට සේ ම හිතට ද ඉලක්කයක් වූයේ නැත. ඒවා ඔහේ අවකාශයෙහි එල්ලී තිබිණ. අරමුණක් කියා දෙයක් අත පොවන මානයක වූයේ නැත.

“ඇන්ටි ඉඳගන්නකො”

කියමින් නූරි අම්මාව පුටුවක වාඩි කරවූවා ය. මා කේන්ද්‍ර කර ගෙන ලෝකය කැරකීගෙන ගියේ ය. මම මේසයට හේත්තු වී ගෙන ම මේස කොනක් අල්වා ගතිමි.

“ශිකී ආ…ඔයත් වතුර ටිකක් බීල ඉන්නකො”

නූරි මගේ මුවට වීදුරුවක් ලං කොට වතුර පෙව්වා ය. එක එක දේවල් මට සිතුණේ ය. පහු ගිය දින කිහිපයේ තාත්තා එතැයි මම බලා සිටියෙමි. ඒ අපේ ගේ ඉල්ලා ගෙන ඔහු ගේ දෙවන බිරිඳ පැමිණි එක ගැන හිතේ වූ කෝපයත් එක්ක ය. තාත්තා ට යමක් කියන්නට මම කට හදා ගෙන සිටියෙමි. නමුත් දැන් ඒ කිසිත් කිව හැකි නොවේ. කියන්නට ඕනෑ ද නොවේ. නමුත් ඉසිහින් පසුතැවීමක් මට දැනිණ. මේ තරම් ඉක්මනින් ඔහු නික්ම යතැයි හීනයකින් හෝ මා සිතා තිබුණේ නැත.

ඒ ආසන්න කේන්තිය අමතක කළෝතින් තාත්තා ගැන මට තියෙනා අවුරුදු විසි ගණනක් පරණ මතක, මගේ හද නිධානයෙහි මා සුරකින ඒවා ය. හුදෙකලා වෙන වෙලාවක, රෑට නින්ද යන තුරු යහනේ පෙරලෙමින් හිඳිනා වෙලාවක හිත මතුපිටට ගෙන අත පත ගා කඳුළක් පිස ගෙන යළි හද පත්ලේ තැන්පත් කරන ඒවා ය. ඒවාට මා ආදරේ ය. මගේ ජීවිතේ ආදරණීය ම යුගයට අයිති මතක කැබලිති ඇත්තේ ඒ තැන් වල ය. තාත්තා ගෙනැවිත් දුන් පාට වීදුරු වල හඬ මේ දැනුත් මට ඇසේ. කැළණිය පන්සල ළඟින් වීදුරු වළළු ගෙන ඔහු මගේ ළපටි දෑත් පුරවයි. නිදිමත ඇස් අතරින් දකිනා පෙරහැරක රූප රාමුත් එක්ක තාත්තා හා බැඳුණු මතක රාමු වී තිබේ. ඔහු ගේ ඇඳුම් වලින් දැනුණ පුසුඹ මට කවදාවත් අමතක වී ගියේ නැත. ඉඳහිට අම්මා ගේ කාමරයට යන වෙලාවක කොහේදෝ සිට ඇවිත් ඒ සුවඳ මගේ පෙනහලු වලට රිංගා ගනී. 

තාත්තා අප අතැර ගිය පසුව ද ඔහු එතැයි බලාපොරොත්තුවක් මගේ ළමා මනසේ විය. සමහර රාත්‍රියක මම තාත්තා ඕනේ කියමින් කෑ ගසා හැඬුවෙමි. එතකොට අම්මා මා තදින් තුරුලු කර ගෙන නිසල ව සිටියා ය. සමහර විට පැයක් හමාරක් එහෙම හිටියා ය. එහෙම ඉන්නා වෙලාවක ඇගේ ඇසින් වට කඳුළක සීතල මගේ පිටට දැනී තිබේ. අම්මා මා සනසනු වස් තුරුලු කර ගෙන හිඳිමින් ඇය හඬනා බව තේරුම් ගත්තාට පස්සේ මම තාත්තා ඉල්ලා හඬමින් අරගල නො කළෙමි. නැති තාත්තා කෙනෙකු නිසා ළඟින් ඉන්නා අම්මා රිදවීම පාපයක් සේ මගේ ළමා මනසට දැනුණේ ද කියා හරියට ම මතක නැත. ඒ වුණාට ඊට පස්සේ තාත්තා සිහි ව දුක හිතුණ වෙලාවක මා හැඬුවේ තනිව ය. අම්මාට හොර රහසින් ය.

මල්වර නැකතින් දිය නා පිරුවට හැඳ විත් අම්මා ට වැන්ද වෙලාවේ එක්වර ම මහා ශෝකයක් මා තුළින් පැන නැංගා මතක ය. මම ඒ හැඬුම ආයාසයෙන් මා තුළ ම හිර කර ගතිමි. පපුව කඩා වැටෙන්නට ගියේ ය. ඒ ශෝකය තුළ තාත්තා හුස්ම ගනිමින් සිටියේ ය.

තාත්තා ට අප ව මතක් වන්නේ නැති දැයි මට සිතී තිබේ. ඔහු ගේ දෙවන විවාහය තුළ සිටිනා දූ පුතුන් ගැන මා දන්නේ නැත. මා හා අම්මා අතරේ කිසි දා ක ඒ ගැන කතා බහක් සිදු වී නැත. කොහොමටත් මට යමක් කමක් තේරෙන්නට පටන් ගත්තාට පස්සේ මම තාත්තා ගැන කතා කරන එක මුළුමනින් නවතා දැමුවෙමි. මා සිටිනුයේ ඔහු ගැන කේන්තියෙන් කියා අම්මා වුව සිතන්නට ඇත. නමුත් එය සඟවා ගත් වේදනාවක් කියා මට වුව තේරෙන්නේ දැන් ය.

අඩු තරමින් ඉනික්බිති මට ඔහු දැකිය නො හැකි විය. වචනයක් කතා කළ නො හැකි විය. එසේ කළ හැකි දිනයක් උදා වනු ඇතැයි බලාපොරොත්තුවක් මගේ පපුව අස්සේ හැංගී තියෙන්නට ඇත. දැන් මේ කුඩු පට්ටම් වී ගොස් තිබෙන්නේ ඒ බලාපොරොත්තුවයි.

අප දා ගිය එක ගැන වෛරයක් හිතේ වී නම් තාත්තා මිය ගියා කියන පුවත අසා මේ තරම් කම්පනයක් ඇති නො විය යුතු ය. තාත්තා හිටි තැන ආදර සුවඳක් මිස වෛරයක් ආදේශ වන්නට විදිහක් නැත. දැන් මහත් හිස් බවක් ඉතිරි ව තියේ. විනාඩි කීයකට ද මන්දා පස්සේ මම අසීරුවෙන් උගුර යටින් වචනයක් පිට කොට ගතිමි.

“අම්ම කොහොමද දන්නෙ…”

“දැං බාප්ප ඇවිත් කිව්වෙ.  නැති වෙලා තියෙන්නෙ ඉස්පිරිතාලෙක නෙවෙයිලු. ඒක නිසා…තාත්තගෙ බොඩි එක ගන්න මට එන්න කියන්නයි බාප්ප ඇවිත් තියෙන්නෙ”

අම්මා බිම බලා ගෙන ඇස් දෙක මිරිකා ගනිමින් දෙතොල් දසන් අතරේ තද කොට ගත්තා ය.

“ඇයි අම්ම යන්නෙ…”

“බොඩි එක දෙන්නෙ ලීගල් වයිෆ්ටලු”

මම දෙපා අද්ද අද්දා අම්මා ළඟට ගොස් ඇය වැළඳ ගතිමි. අම්මා සැනසීමේ උවමනාවක් සේ ම මා සනසා ගැනීමේ උවමනාවක් ද මට තියෙන්නට ඇත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles