ශරදාකාසේ -14

පැරණි ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව ඉදි කරන ලද ‘ශරදාකාස’ නිවස්නෙහි මහත හතරැස් කුළුණු විසින් දරා ගත් බරාඳ කොටස, පසු කලෙක එක් කරන ලද්දකි. ගෙතුළ බිම සකසා ඇත්තේ ටෙරාසෝ වලින් වී ද, මේ බරාඳ කොටස රතු සිමෙන්තියෙන් මැද ෆ්ලෝ පේන්ට් ගල්වා රතු පලසක් සේ තනා තිබේ. එහි ඈතින් ඈතින්, කළුවර ලීයෙන් තැනූ බරාඳ පුටු කිහිපයකි. ඒවා නිහඬ ව කියා පානුයේ ශාරදලා ගේ පියා ගේ ආර්ථික ශක්තියයි. බරාඳයේ වූ අජීවී බව පහ ව ගියේ නිශාමනී ගේ පැමිණීමෙන් පසු, ඇය විසින් තන් හි තන් හි තබනා ලද විසිතුරු පත්‍ර සහිත ශාක වර්ග සිටවූ බඳුන් නිසා බව, මිදුලේ සිට බරාඳය දෙස බලා ගෙන ඉන්නා ආකාස ට සිහි කර ගත හැකි විය. ඉතා මැනෙවින් ඇය විසින් කලමණාකරණය කර ගෙන එන ලද ඒ කටයුතු හදිසියේ ම වෙනසකට ලක් වූ බව, දින කිහිපයක් තිස්සේ වතුර පොදක පහස නොලැබීමෙන් අර්ධ මැළවුම් තත්වයකට පත් වූ ඒ විසිතුරු ශාක නිහඬ ව කියා පායි. තුනී ශෝකයක් ආකාස ගේ පිරිමි සන්තානය පුරා වලාකුළක් සේ පා ව ගියේ ය. 

මේ ගෘහය ‘ශරදාකාස’ ලෙස නම් කරන ලද්දේ ඔවුන් ගේ මවු පියන් නැකැත් වැඩ කර ගත් ජ්‍යෝතිර්වේදියා විසිනි. ඒ අයියා මලෝ ගේ නම් වල කොටස් එකතු කිරීමෙනි. මෙතෙක් අභිමානවත් ලෙස විරාජමාන වූ ‘ශරදාකාසය’ අද කියා ගත නො හැකි සංවේගයකින් දැදිරි ව ගොස් ඇතැයි ආකාස ට සිතේ.

“තමුසෙ මාර කතාවක්නෙ කියන්නෙ. නිශාමනීවයි දරුවවයි අත් අරින්න අදහසක් තිබුණෙ නැත්තං මොන මගුලකටද ඕයි වෙන ගෑනු ආශ්‍රය කළේ…”

රැයෙහි ගුප්ත නිහැඬියාව දෙබෑ කර ගෙන ආකාස සිය ගැඹුරු හඬ අවදි කළේ ය. ශාරද මල්ලී දෙස ට හෙළුවේ අසරණ බැල්මකි.

“මං ඒකට හේතුවක් දන්නෑ. බැඳල ටික කාලයක් යනකොට එයාට මාව ටික ටික අත්ඇරිල ගියා කියල විතරයි මන් දන්නෙ. අනිත් එක ඕයි…පිරිමි එළියෙ තව කෙනෙක් ආශ්‍රය කරනවයි කියන එක මහ පුදුම දෙයක් නෙවෙයි ඒකෙන් කියවෙන්නෙ ඒ මිනිහා කසාදෙ කඩා ගන්න යනවයි කියන එක නෙවෙයි”

“ශේම් ඔන් යූ ඕයි. කොහොමද ඔය විදිහට කතා කරන්නෙ ආ…මේ ගෑනි හැම තත්පරයක්ම ගෙදර වෙනුවෙන් කැප කරද්දි…ගෙදර සුර පුරයක් කරල තියල හවසට මිනිහව පිළිගන්න බලං ඉද්දි…කොහොමද හලෝ බොරුවටවත් වෙන කෙනෙක් ගැන හිතුවෙ…”

“මල්ලි”

ශාරද ආකාස ගේ උරහිසෙහි අතක් තබා කතා කළේ ය. 

“කසාද බැන්ද කාලෙක ඔයා ඒක තේරුං ගනී. එතකල් නිශාමනීගෙ හිත හදනව. මට ඒ උදව්ව විතරක් කරනව”

“එයා මං කිව්වට අහන්නෑ”

“තව ටිකක් කියල බලනවකො. ප්ලීස්. කොහොමත් එයා ඔය මාව ටිකක් කරකවල අතාරින්නයි හදන්නෙ. ඒක නිසා මං වැඩිය ගණං ගන්න හොඳ නෑ”

මේ තරම් බරපතල තත්වයකදීත් සොහොයුරා එය මෙතරම් හෑල්ලුවෙන් සිතීම ගැන කිසිදු අදහසක් ආකාස ට නැත්තේ ය. ශාරද ගේ දෙසට ඇවිද යනු ඔහු බලා සිටියේ හද මඬල තුළ ම හිර කර ගත්තා වූ කම්පාවකිනි.

විදුලි පහනක් දැල්වෙන්නේ බරාඳයෙහි ප්‍රධාන දොරට ඉදිරියෙන් පමණකි. ඒ වට කොට ගෙන කෘමි සතුන් කිහිප දෙනෙක් ඉගිලෙමින් සිටිති. ආකාස නිකට පිරිමදිමින් ම ඉහළ ට හිස හැරවී ය. සඳ කිනිත්තක් අහස කොනක පාළු මකමින් සිටී. දැන්  ඉස්සර වගේ ආකාසය පුරා ඝණ තාරකා ඇතිරිල්ලක් දැකිය නො හැකි යයි ඔහු සිහිපත් කළේ ය. වායු දූෂණය නිසාවෙන් වායු ගෝලයේ පහල ස්ථරය වැසී ගොස් තිබේ. ඒ නිසා තාරකා දකිත හැකි පැහැදිලි අහසක් වන්නේ කලාතුරකිනි.

“මල්ලි මිදුලෙද…”

දොර වහන්නට ආ නිශාමනී ආකාස මිදුලෙහි සිටිනු දැක කතා කළා ය. ඊළඟට ඔහු ගේ ඇරයුමකින් තොරව ම ඔහු වෙතට ගියා ය.

“මන් දන්නව දැන් මට මේව අයිති නැති දේවල් කියල. දොරවල් වහලද බලල අන්තිමට ඇඳට යන්න….හැමෝටම කලින් ඇහැරිලා ගෙදර වැඩ පටන් ගන්න…දැන් මං මේ ගෙදරින් යන්න ඉන්න කෙනෙක්… මේ ගෙදරට අයිති නැති කෙනෙක්…කොටින්ම පිටස්තර කෙනෙක්…ඒත් පුරුද්දට ඒව කෙරෙනව…බැලෙනව…”

නිශාමනී බිම බලා ගෙන කෙඳිරුවා ය. ඒ දෙතොල් මත්තේ මඳහස් රැල්ලක් වූ බව ඇත්ත ය. නමුත් හදවත තුළ වූයේ වාවා ගත නො හැකි දුකකි. ඒ දුක ඇගේ හද කීරි ගැස්වී ය. ඉරිතලාලූයේ ය. 

ආකාස මේ සොඳුරු ගැහැනිය ගේ සඳ මුහුණට එබෙන්නට තැත් කළෙ ය. ඇය වූ කලී සඳක් ම ය. ලස්සන අහසක පායා තිබූ සඳක් ය. ඒ අහසින් ස්ව කැමැත්තෙන් ම ඇය බැස ආවේ ශාරද කෙරේ වන ප්‍රේමය හා විශ්වාසය පෙරදැරි කර ගෙන ය. නො එසේ වී නම් ශාරද ට වඩා බෙහෙවින් ධනවත් පුරුෂයෙකු ඇගේ සැමියා ලෙස සිය දෙමාපියන් විසින් තෝරා දෙනු ලබන්නට තිබිණි. 

නිශාමනී මුව මඳක් එසවූවා ය. ආකාස ගේ හීනි තියුණු ඇස් මත්තේ ඇය ට මහත් අසරණ හැඟීමක් දැනිණ.

“ඒ තමයි ඔයාගෙ අයිතිය..ඔයාගෙ උරුමය…ඔයාට අයිති තැන…ඒ පෙකණි වැල බලහත්කාරෙං කපල දාන්න හදන්නෙපා”

මුළු හද මඬල ම බර වෙනවා ඇයට දැනිණ. ඒ හුස්ම හිර කරවනා හැඟීම් සමුදායකි. මොනවා හෝ කියා ගත යුතු වූවත් ඇය ට කිසිත් කිව නො හැකි විණ.

“මේ ගෙදරට ඔයාව ඕන..අපිට ඔයාව ඕන..ඔයා නැති වුණොත්…අපිත් අපිට නැති වෙයි”

ඒ වාක්‍ය ද්විත්වයෙහි වූ හැඟීමට නිශාමනී ගේ ගැහැනු හිත හිරි වැටී ගියේ ය. වචනාර්ථයටත් වඩා ආකාස ගේ කට හඬෙන් ධ්වනිත වූ තමන්ගේ කියනා හැඟීම ඇය ව තව තවත් ඒ රැහැනින් ‘ශරදාකාස’ නිවහනට බැඳ දමනා එකකි. 

“ඒත්…මාව කසාද බැඳපු කෙනාට මාව ඕන නැතුව ගියාට පස්සෙ…”

“අයිය හරි කියල කොයි වෙලාවෙවත් මං කියන්නෙ නෑ. ඒත් මේ දැන් ටිකකට කලිනුත් එයා කිව්වෙ ඔයාගෙං ඩිවෝස් වෙන්න එයාට ඕන නෑ කියල”

“ඒත් මට ඕන මල්ලි”

“මං කියනවට එක සැරයක් එයාට සමාව දෙන්න. එකම එක වතාවකට ඔය සිද්දිය අමතක කරල ආපහු මුල ඉඳං ජීවිතේ පටං ගන්න බලන්න. ප්ලීස්…”

නිශාමනී යටි තොල සපා ගෙන ඇස් තද කොට පියා ගන්නා ගමන් හිස දෙපසට සැළුවා ය. ඇගේ ඇස් පියන් වලට තද වූ කඳුළු අහුරු දෙකක් සුදු මැළි වූ කම්මුල් දිගේ ගලා ගෙන ගියේ ය. සිය සුරතින් ඒ කොපුලක් දරා ගෙන මහපැට ඇඟිල්ලෙන් කඳුළ මිරිකා නො හැර ඉන්නට ආකාස ට නො හැකි විණ. නිශාමනී විශ්මිත දෑස් වහා විවර කොට ඔහු දෙස බැලුවා ය. ඒ ඇස් බැල්ම ළඟ පරාජිත නොවී ආකාස ඉවත බලා ගත්තේ ය.

“මට හිත හදා ගන්න බෑ. මට අප්පිරියයි. ඔයා හිතනවද මේක ලේසියි කියල…නෑ.. හුඟක් අමාරුයි. මං මෙහෙම ගලක් වගේ ඉන්නෙ පුළුවන් කමකට නෙවෙයි. ඒත් මාව රවට්ටපු කෙනෙක් ඉස්සරහ කඳුළු අවතක්සේරු කරන්න මට ඕන නෑ. සමාව දුන්නත් වැරදි කරපු කෙනෙක්ට ඒ වරද ආයෙ නොකර ඉන්න බෑ. පුරුද්දට වැරදි කරන්න ගන්නව. වැරදි වලට තිබුණ ලැජ්ජාව බයත් නැති වෙලා ගිහින් ඒක සාමාන්‍ය දෙයක් වෙනව. මට ආයෙත් මේ නාඩගම මුල ඉඳල නටන්න බෑ ආකාස”

අන්තිම වචනය මල්ලී ලෙස නිමා නො කොට ඇය ඒ ආකාස ලෙස නිරායාසයෙන් කියවෙන්නට හැරියා ය. සැබවින් මීට පෙර ද කිහිප වතාවක් නිශාමනී ආකාස ව නමින් අමතා නැතිවා නොවේ. නමුත් මල්ලී යන ආමන්ත්‍රණය ඇය විසින් භාවිතා කරනුයේ හිතා මතා ම ඔහු හා ඈ අතරේ සහෝදරත්වයක පරතරය තබා ගනු වස් ය. මේ මොහොතේ එවන් ආයාසයන් ගෙන් තොර නිදහස් හැඟීමක උණුහුම ඇගේ යටි හිත විසින් අපේක්ෂා කරමින් තිබෙන්නට ඇත. 

“අපි තව ටිකක් හිතමු. ම්…”

ඔහු ඇගේ පිට මත අත තබමින් ඇය ව ගෙතුළට යන්නට පෙළඹවීමක් කළේ ය. ඒ වෙලාවේ ඒ ඇස් දෙකෙහි වූ බැල්මත්, ඒ වචන කිහිපයෙහි වූ දයාර්ද්‍ර බවත් ඇගේ ළය පසාරු කොට යන තරම් විය. ඔහු ට අවනත කුඩා දැරියක සේ ඇය ගෙට ගියා ය. එදා දොර වැහුවේ ආකාස ය. මුළුතැන්ගේ පැත්තට ද ගොස් එහි දොර ජනෙල් වසා ඇත්දැයි විමසිලිමත් වූ ඔහු ගේ දෙතොල් මතට පිරිමිකාර සිනහවක් වැඩියේ ය.  ආකාස කාමරයට යත්දී නිශාමනී ඇගේ කාමරයේ දොරගුලු ලන හඬ ඇසිණ. ශාරද ගේ දොර අඩවන් කොට තිබුණේ ය.

එදා කාර්යාලයේ සිට ගෙදර ආ වෙලාවේ සිට පංචලී සිටියේ කල්පනාවේ ය. ඒ කල්පනාවෙහි ද කෙළවරක් වූවා නොවේ. ඇය සිරුරින් අප්‍රාණික ව බෝ වෙලාවක් යහන බදා ගෙන සිටියා ය. අම්මා රෑ කෑම කන්න යයි කිහිප වර කීව ද ඇඳෙන් නැගිට ගන්නට තරම් පණක් හිතට දැනුණේ නැත. අන්තිමට ඈ කුස්සියට ආවේ රෑ ජාමයක් වී වළං සේදිය නො හැකි යයි අම්මා කෑ ගසත්දී ය.

“හරි බත් ගොඩක්නෙ බෙදා ගෙන තියෙන්නෙ”

පංචලී අම්මා ගේ මූණ මගහැරියා ය. බඩ පිරෙන්න කෑම කන්නටත් හිත පිරී තිබිය යුතු වග ඕ අම්මා ට කියන්නට ගියේ නැත.

“අම්මෙ….”

පොඩි ලෑලි පුටුව මතින් වාඩි වී බත් පත උකුලෙහි තබා ගත් ඇය ඇඟිලි තුඩින් බත් කටක් අනන්නට වූවා ය. සින්ක් එකෙහි බහා ලූ මැටි වළඳක් සෝදන ගමන් අම්මා ඇදෙස හැරී බැලුවා ය. නමුත් පංචලී ගෙන් වෙනත් කිසිදු ප්‍රතිචාරයක් වූයේ නැත. ඉනිතින් ඕ තොමෝ යළිත් සිය කාරියෙහි නිරත වන්නට වූවා ය. 

“අම්මෙ”

මඳ වෙලාවකට පසු යළිත් ඇගේ මිමිණුම නැගිණ.

“මොකද ළමයො…අම්මෙ අම්මෙ ගගා කට පාඩං කරනවද නම…”

පංචලී ගේ ඇස් වල අසරණ බවක් විය. අත් හැර දැමීමක නිවී සැනසුන නිරාමිස බව අත් පත් කර ගන්නට ඇගේ හිත සන්සුන් බවෙහි කිමිදෙමින් තිබිණ.

“මං කැමතියි”

අම්මා හැරී බැලුවා ය. ඇගේ නළල මුළ මඳක් රැලි ගැන්වී ඇස් කුඩා වී තිබිණ.

“අහවල් එකටද…”

“අම්මල කැමති කෙනෙක් බලන්න”

“ආ…”

“මගෙ අකමැත්තක් නෑ”

අම්මා යන නමට උරුම දරු බර උහුලා දරා උන්, වයසට වඩා වයස්ගත පෙනුමකින් යුතු පීඩිත මුහුණ මත මස් පිඬු ගැස්සිණි. ඊළඟට ඒ මුහුණ මත සිනහ රේඛා කිහිපයක් සැලී ගියේ ය. අම්මා කාලයකට පසු හදවතින් ම සිනහ වූවා ය. නමුත් පංචලී ගේ පපුව පිච්චෙමින් තිබිණ. බත් පත මේසය මත අතැර අත සෝදා ගත් ඕ කාමරයට දිව ගොස් හඬාගෙන යහනේ වැටුණා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

(අ)හිමි සිහින -226

හත් දවසේ දානය නිමවූ පසු මගේ කල්පනාවේ තිබුණේ එක දෙයයි. ඒ තුන්මාසේ දානය මීටත් වඩා හොඳින් කළ යුතු බව සහ ඒ සඳහා...

නිබ්බුත ගීත -21

ඒ මින් පෙර කිසි දාක නො සිදු වූ දෙයකි. අපේ ගෙදර එහෙම රණ්ඩුවක් තබා උස් හඬින් කතා කිරීමක් හෝ සිදු වන්නේ නොවේ....

යෝනි මාර්ග දෙකක් සහ ගර්භාෂ දෙකක් සහිත එව්ලින්ගේ කතාව

Adult content creator කෙනෙකු වන Evelyn Miller වයස අවුරුදු 20 වන තෙක් ඇය යෝනි දෙකක් සහ ගර්භාෂ දෙකක් සහිතව උපත ලබා ඇති...

සුහදිනී -71

"මමයි අම්මයි ඔයාට බෝධි පූජා තියන්න යන්නේ" සකී එක්තරා උදෑසනක අහස්ව අවදි කළේ එසේ කියමිනි.තරගාවලිය ඇරඹෙන්නට වැඩි දවස් නොවේ.අහස්ගේ...

නිබ්බුත ගීත -20

ප්‍රේමයේ වියෝගය පිළිබඳ කල්පනා මා ආතුර කොට තිබිණ. මධාරා අක්කා ගේ විවාහ මංගල්ලයෙන් පස්සේ දෙතුන් දිනක් ගෙවී ගියේ ඒ ඔත්පල වීම තුළ...