ආදර මල්වල පාට කියන්නද? – 10

0
0

කවීන් ඒ ඩීල් එක කටින් විතරක් කරලා නතර කරන ජාතියේ මිනිහෙක් නෙවෙයි කියලා ආකර්ෂා දැනගෙන උන්නා.

මිනිහා තමන්ගේ මේසේ ලාච්චුව ඇරලා, නිල් පාට ලෝගෝ එකක් ගහපු ලීගල් බොන්ඩ් පේපර් එකක් එළියට ගත්තේ හරියට කලින්ම සේරම ප්ලෑන් කරලා වගේ. ඒ ලියවිල්ලේ උඩින්ම කළු අකුරෙන් “මාස හයක Contract Relationship ගිවිසුම” කියලා ලස්සනට ටයිප් කරලා තිබුණා කියන එක උන්න තැන ඉඳලම කියවගන්න ආකර්ෂට පුළුවන් වුණා.

මිනිහා ඒ පේපර් එක ආකර්ෂා ඉස්සරහට දිගඇරලා, තමන්ගේ සාක්කුවේ තිබ්බ මිල අධික පාකර් පෑනත් මේසේ උඩින් තිබ්බා.

“කටින් කියන කතා මට වැඩක් නෑ ආකර්ෂා. තමුසෙ හෙට මගෙන් ගේමක් ඉල්ලුවොත් මට නීතියෙන් ක්‍රියාත්මක වෙන්න මේක ඕනේ. මේකේ තියෙන්නේ මාස හයක් තමුසෙ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් විදිහට රඟපාන්න ඕනේ කියන එක විතරයි. කියවලා බලලා අත්සන් කරනවා.” කවීන් කිව්වේ හිට්ලර් වගේ අණ දෙන වොයිස් එකකින්.

ආකර්ෂාට ආවේ පුදුම කේන්තියක්. ඒත් තමන්ගේ හොස්පිටල් එකේ ඉන්න අසරණ තාත්තවයි, සින්න වෙන්න යන මහගෙදරයි බේරගන්න මේ වෙලාවේ වෙන කරන්න කිසිම දෙයක් නැති බව කෙල්ල හොඳටම දැනගෙන හිටියා. කෙල්ල දත් විකලා, මේසේ උඩ තිබ්බ පෑන අතට ගත්තා. පේපර් එකේ අන්තිමට තිබ්බ කවීන් වික්‍රමසිංහ කියන නමට කෙළින්ම යටින්, පෑන කොළේ උඩ හිල් වෙන්න වගේ පට්ටම ගැම්මෙන් තමන්ගේ අත්සන ගහලා දැම්මා.

අත්සන් කරලා ඉවර වෙච්ච ගමන් කෙල්ල පෑන මේසේ උඩට දමලා ගැහුවේ සද්දෙත් එක්කමයි.

“ඔන්න මං මගේ පැත්තෙන් ඩීල් එකට එකඟ වුණා. හැබැයි එකක් හොඳට මතක තියාගන්නවා මිස්ටර් කවීන් මිනිස්සු ඉස්සරහයි, පවුලේ අය ඉස්සරහයි මං තමුසෙගේ ළඟින් ඉඳියි. හැබැයි ඒ හැමදේම වෙන්නේ මගේ සීමාවන් ඇතුළේ විතරයි මගේ ඇඟට අත තියන්නවත්, මට නියෝග දාන්නවත් ලෑස්ති වෙන්න එපා. සීමාව පැනලා සෙල්ලම් කරන්න ආවොත්, මං මේ හැමදේම විනාස කරලා දාලා යනවා යන්න” ආකර්ෂා කවීන්ගේ මූණටම එබිලා තමන්ගේ රූල්ස් ටික ආයෙත් සැරයක් මතක් කරලා දුන්නේ කට කොනකින් රවන ගමන්.

කවීන් ඒකටත් පොඩි කිණ්ඩි හිනාවක් දැම්මා. “සීමාවන් ගැන මට උගන්නන්න එන්න එපා ආකර්ෂා. තමුසෙ මගේ රූල්ස් ඇතුළේ ඉන්නකම්, මං තමුසෙගේ සීමාවන් රකිනවා. අනික විනාස කරලා දාන්න දේවල් තියෙන්නෙ තමුසෙට මිසක් මට නෙවෙයි කියල අමතක කරන්න එපා. දැන් අත්සන් කරලා ඉවරනේ? එහෙනම් හෙට ඉඳන් වැඩ පටන් ගන්න ලෑස්ති වෙනවා,” කවීන් ඒ බොන්ඩ් පේජ් එක ආයෙම වතාවක් ෆයිල් එක ඇතුලට දාගන්න ගමන්.

මිනිහා සීට් එකෙන් නැගිටලා, මේසේ වටෙන් කැරකිලා ඇවිත් ආකර්ෂා හිටගෙන ඉන්න තැනටම ලං වුණේ කෙල්ලව තවත් මේසෙ අස්සට හිර කරන ගමන්

“හරි, සීමාවන් ගැන පස්සේ බලාගමුකො අපි. හැබැයි දැන් තමුසෙට කරන්න ලොකුම වැඩක් තියෙනවා. මේ මගුල් ඩීල් එකේ පළවෙනිම අදියර හෙටින් පටන් ගන්නවා” කවීන් තමන්ගේ කණ්ණාඩි කුට්ටම ඇඟිල්ලෙන් උඩට කරලා හරිගස්සන ගමන් කිව්වා.

ආකර්ෂා නළල රැලි කරලා මිනිහා දිහා බැලුවේ ඊළඟට එන්න තියෙන කරදරේ මොකක්ද කියලා හිතාගන්න බැරුව. “මොකක්ද තමුසෙ ඔය කියන වැඩේ? මං කරන්න ඕන දේවල් ඔය ලියවිල්ලේ තියෙනවනේ. මං ඒ විදියට කරන්නම්”

“තියෙනවා හැබැයි මේක ඊට වඩා ටිකක් සංකීර්ණයි,” කවීන් කැබින් එකේ ලොකු වීදුරු ජනේලයෙන් එළිය බලන ගමන් කතාව පටන් ගත්තා.

“අපේ මහගෙදරට අද උදේ ඉඳන් කෙනෙක් ඇවිත් ඉන්නවා. මගේ ආච්චි අම්මා. එයා මෙච්චර දවසක් ඉන්ග්ලන්ඩ්වල හිටියෙ. එයා මාස හයකට ලංකාවෙ නතර වෙන්න එනවා. එයා මේ තමුසෙ හිතන් ඉන්නවා වගේ නිකන් ආච්චි කෙනෙක් නෙවෙයි. මුළු වික්‍රමසිංහ පවුලම තනි ඇඟිල්ලෙන් නටවන්න පුලුවන් ලෙවල් එකේ බයානක මනුස්සයෙක්. මිනිස්සුන්ගේ මූණ දිහා බලලා මුන් කරන්නේ බොරුවක්ද ඇත්තක්ද කියලා එක බැල්මෙන් අඳුරගන්න පුළුවන් මරු චරිතයක් තමයි ලංකාවට බැහැලා තියෙන්නේ.”

“ඉතින් ඔහේගේ ආච්චි ආව එකට මං මොකක් කරන්නද?” ආකර්ෂා අත් දෙක බැඳගෙන ඇහුවේ නෝණ්ඩියට වගේ.

කවීන් එකපාරටම හැරිලා ආකර්ෂාගේ ඇස් දෙක දිහාම බැලුවා. “ආච්චි අම්මා ලංකාවට ආවේ නිකන් නෙවෙයි හලෝ. මට කසාදයක් බන්දන්න කෙල්ලෝ හොයන්න. හැමදාම මට බේරෙන්න බෑ. අන්න ඒකෙන් බේරෙන්න තමයි මං තමුසෙව මගේ පණ වගේ ආදරේ කරන ගර්ල් ෆ්‍රෙන්ඩ් විදිහට ආච්චි ඉස්සරහට දාන්න යන්නේ. තමුසෙට සිද්ධ වෙනවා ආච්චි අම්මව කන්වින්ස් කරන්න අපි දෙන්නා ඇත්තටම ලව් කරනවා කියලා”

මේක ඇහුවම ආකර්ෂාගේ මොළේ කූල් වෙලා ගියා වගේ වුණා. චිත්‍ර ඇඳගෙන තමන්ගේ පාඩුවේ හිටපු කෙල්ලෙක් කොහොමද මහ ලොකු සල්ලිකාර පවුලක ඉන්න, කට්ට කයිරාටික ආච්චි කෙනෙක් ඉස්සරහා කවීන්ගේ කෙල්ල විදිහට ඇක්ට් කරන්නේ? අනික ඇත්ත කෙල්ලත් නෙවි දඩාර බොරුවක්නෙ මේ අපි දෙන්නා කරන්නෙ.

“තමුසෙට පිස්සුද? මට බෑ ඕයි ඔය සල්ලිකාර ගැනු ඉස්සරහ එක එක ඩ්‍රාමා දාන්න යන්න. තමුසෙ මාව කුලියට ගත්ත නාටිකාංගනාවක් කියලද හිතන් ඉන්නෙ? වෙලාවකට කෙල්ල වෙන්නයි තව වෙලාවකට රඟපාන්නයි? මොන පිස්සුවක්ද මේ?  මාව දැක්ක ගමන් ඒ මනුස්සයා දැනගනියි මං කරන්නේ බොරුවක් කියලා. අනික මට තමුසෙව කොහොමත් ඇස් දෙකට පේන්න බැරි එකේ මං කොහොමද තමුසෙගෙ ආච්චි ඉස්සරහා තමුසෙට ආදරෙයි වගේ හැසිරෙන්නෙ?” ආකර්ෂා අසරණකම කේන්තියකට හරවලා කෑගැහුවෙ කරන්න දෙයක් නැතිම තැන.

කවීන් ආපහු මේසේ උඩ තිබ්බ තාත්තගේ ෆයිල් එකට තට්ටුවක් දැම්මෙ ආකර්ෂාගෙ සද්දෙ පොඩ්ඩක් අඩු කරන්න වගේ.

 “ඒක මට වැඩක් නෑ ආකර්ෂා. තමුසෙට තමුසෙගේ තාත්තවයි, මහගෙදරයි බේරගන්න ඕනේ නම් හෙට ඉඳන් මගේ ගෙදර ඇවිත් ආච්චි අම්මව කන්වින්ස් කරන්නම වෙනවා. හැබැයි මතක තියාගන්නවා, ඒ වයසක මනුස්සයට පොඩ්ඩක් හරි සැක හිතුණොත් තමුසෙයි මමයි දෙන්නම ඉවරයි. විශේෂයෙන්ම තමුසෙගේ තාත්තා” කවීන් කිව්වේ ආකර්ෂාගේ මුළු ලෝකයම ආයෙත් සැරයක් පොඩ්ඩක් හොල්ලලා දාන ගමන්.

මේක ඇහුවම ආකර්ෂාගේ මුළු මොළේම කුරුවල් වෙලා ගියා කියන එක ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. තමන්ගේ පාඩුවේ, බුරුසුයි පින්සලුයි අරන් කැන්වස් එකක් උඩ චිත්‍ර ඇඳගෙන හිටපු කෙල්ලෙක් කොහොමද දෙයියනේ මහ ලොකු සල්ලිකාර පවුලක මුළු සනුහරේම නටවන සැර ආච්චි අම්මා කෙනෙක් ඉස්සරහා කවීන්ගේ පණ වගේ ආදරේ කරන කෙල්ල විදිහට ඇක්ට් කරන්නේ? අනික ඉතින් එහෙම ආදරයක් නෑනෙ. මේක නිකන් හරියට කිසිම රංගන පුහුණුවක් නැති කෙනෙක්ව එකපාරටම ඔස්කාර් සම්මාන දිනන ෆිල්ම් එකක ප්‍රධාන නිළිය කරා වගේ වැඩක්නෙ යකෝ.

කෙල්ල බයටම ඔළුව දෙපැත්තට වනන ගමන්, පස්සට අඩියක් තිබ්බෙ පිස්සුවෙන් වගේ.

“මට බෑ ඕයි ඔය සල්ලිකාර, අහංකාර නාකි උදවිය ඉස්සරහා රඟපාන්න. තමුසෙට විකාරද?  තමුගෙ හත්මුතු පරම්පරාවටම පිස්සුද කොහෙද ඕයි. මාව දැක්ක ගමන් ඒ මනුස්සයා දැනගනීවි මං කරන්නේ පට්ටපල් බොරුවක් කියලා. තමුසෙගෙ ආච්චිනෙ. අනික සල්ලිකාරයන්ගේ ඔය ලොකු ලයින් මට අල්ලන්නේ නැහැ. මං ඕක කරන්න ගිහින් නාගත්තොත් එහෙම?” ආකර්ෂා තමන්ගේ අසරණකම වහගන්න කෑගැහුවා. වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.

හැබැයි කවීන් නෙවෙයි ඒවයින් සරෙන්ඩර් වුණේ. මිනිහා තමන්ගේ සාක්කුවට අත් දෙක දාගෙන, බොහොම තැන්පත් ඒ වගේම මාරම තුට්ටු දෙකේ බැල්මකින් ආකර්ෂා දිහා බලාගෙන උන්නා.

මිනිහගේ මූණේ තිබුණේ උඹට මීට වඩා වෙන ඔප්ශන් එකක් නැහැ” කියන ජාතියේ මහ දෙකයි පනහෙ හිනාවක්.

“ඒක මට වැඩක් නෑ ආකර්ෂා. ඒක තමුසෙගේ වැඩක්නෙ. තමුසෙට තමුසෙගේ තාත්තව වැලිකඩ යවන්නේ නැතුව බේරගන්න ඕනේ නම්,  මහගෙදර සින්න වෙන්න නොදී රැකගන්න ඕනේ නම් හෙට ඉඳන් මගේ ගෙදර ඇවිත් ආච්චි අම්මව කන්වින්ස් කරන්නම වෙනවා. රඟපානවාද, නැත්නම් තාත්තව හිරේ යවනවාද කියන එක තමුසෙම තීරණය කරනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here