මල් තුහින -46

නවීන්,

මීට අවුරුදු කිහිපයකට කලින් ඔයා එක්ක එක වහලක් යටට එන්න ගත්ත තීරණය ගැන පසුතැවෙනවා ද දුක් වෙනවද කියල හිතන්න මම මහන්සි වෙන්නේ නෑ. ජීවිතයේ අපි ගන්න හැම තීරණයක්ම අපිට පාඩමක් බවත් ඒවා ගැන පසුතැවෙන්න උවමනා නැති බවත් මට කියා දුන්නෙ මගේ තාත්තා. මම ඇත්තටම හිතෙනවා ඒක බොහොම ඇත්ත කතාවක් කියලා. මම මේ ලියුම ලියන්නේ සමුගැනීම ඔයාට කොහොම වෙතත් මට වේදනාකාරී වෙන්න ඉඩ තියෙන නිසා. ඇත්තටම මේ මොහොතේ මම ඔයාට ආදරේ නොකරන බව මට විශ්වාසයි. ආදරේ නොකරන මොහොතක පවා බැඳීමක් ගිලිහී යාමේ වේදනාව ගෑනියෙකුට තියනවා. ගැහැණු කම කියන්නේ ඒක ද මෝඩකම කියන්නේ ඒකද කියල හිතන්න මම මහන්සි වෙන්නේ නෑ. මම දන්නෙ එක දෙයයි. මට මේ සමුගැනීම වේදනාවක්. ඒත් මම මේ යා යුතුම ගමනක් බව මම විස්වාස කරනවා. ඔයා වෙනුවෙන් ලියපු ලස්සන ලියුම් ඕනෑ තරමට තිබුණට සමුගැනීමේ ලියුම ඒ වගේ ලස්සනට ලියන්න මට අමාරුයි. සමහරවිට අපි ආයෙම මුණගැහේවි. හිටියටත් වඩා ආදරයෙන් ජීවත් වෙන්න අපිට පුළුවන් වේවි. සමහරවිට මේ අපේ කතාවේ අවසානය වෙන්න ඇති. ස්තූතියි නවීන්! ආදරයෙන් හෝ අකමැත්තෙන් මාත් එක්ක ජීවිතේ බෙදා ගත්ත කාලයට ඔයාට ස්තුතියි! මං යනවා!”

මලිති ලිපිය ලියා තැබුවේ හැඬූ කඳුළිනි. මෙතැන රුවිනි සිටියා නම් තොරක් නැතුව බැන වදින බව හොඳින්ම දැන සිටියද ඇය සිත්සේ හැඬුවා ය. හඬන අතරම ඇය තුහිනට ඇමතුවා ය.මලිති තත්පර මිනිත්තු කරමින් බොහෝ වේලා හඬන අයුරු තුහින අසා සිටියේ ය.

“ඔයාට සහනයක් දැනෙනවද?”

අඬන්නේ කුමන හේතුවකට දැයි  නොවිමසා ඔහු එසේ ඇසුවේ ය. තමන් නිවසින් පිටව එන බව මලිති කියන්නට වූවා ය.

“උදව්වක් ඕනි වුනා නං ඔයාට අපට කතා කරන්න තිබ්බනෙ”

ඒ ගැන නවීන් දන්නේදැයි හෝ හඬන්නේ ඔහු අතැර එන්නට නොහැකි ශෝකයෙන් දැයි නො විමසා තුහින අසන ප්‍රශ්න ගැන මලිතිට දැනුණේ සහනයකි. වේදනාවෙන් සිටින මොහොතවල් වලදී ප්‍රශ්න නෑසිය යුතු බව ඇයට දිනක් ඉගැන්වූයේ රුවිනි ය. අති සමීපතමයන් පවා සමහර අවස්ථා වලදී ප්‍රශ්න ඇසීම කරදරයක් බව මලිති එදා තේරුම් ගත්තා ය.

“මට තනියම ගෙදරින් එන්නයි ඕන වුණේ තුහින.”

මලිති එසේ පවසන්නී ය. තුහින ඇය හා උත්පලාව තරාදියක දමා කිරා බලන්නට වූයේ ය. උත්පලා නිවස හැර ගියා ය. ඉන් අනතුරුව එය සම්බන්ධයෙන් විශාල නිවේදන නිකුත් කරමින් තුහින හෝ දියණිය ගැන කිසිවක් ම නො සිතා හැසිරෙන්නට වූවා ය. සැබෑවටම ඇය වේදනාවකින් පිටව ගියාදැයි යන්න පවා තුහිනට අපැහැදිලි ය. නමුත් මලිති ඇගේ කුල ගෙය හැර දමන්නේ උසුලා ගත නොහැකි තරමේ වේදනාවකිනි. ඇය වේදනාව ලෝකයට හඬගා කීම වෙනුවට සමීප මිතුරෙකු ඒ වෙනුවෙන් තෝරා ගත්තා ය. ඕනෑම කෙනෙකුට ජීවිතය සම්බන්ධයෙන් විවිධ තීරණ ඇති බව තුහින සිතන්නට වූයේ ය 

“මලී, ගෙදරින් එළියට බැස්සෙ පුදුම වේදනාවකින්. එයාව බලාගන්න හොඳේ.”

ඔහු රුවිනිට ඇමතුමක් ගෙන පැවසුවේ මලිතිගේ හැඬුම හන්දා හදවත නාය යමින් පැවති නිසා ය. ගැහැනු කඳුලකට හදවත මේ තරමට සෙලවෙන බව ඔහුට අමතක වෙමින් පැවතිණ. කුඩා ශේන්යාගේ කඳුළු හැරෙන්නට ප්‍රේමයෙන් බැඳුණු ගැහැනියක සම්බන්ධ දෑ තුහිනගේ හදවතෙන් පලායමින් තිබූ තරම් ය.

“අනේ ඔයාගේ ඕඩර්ස් අරගෙනනෙ මම වෙනදටත් එයාව බලා ගත්තෙ.”

රුවිනි උස් සිනාවක් නඟන අතර පැවසුවා ය. ඇය සරදමට ගත්තාට තුහිනට මලිති ගැන තිබුණේ බියකි.

“මට ඇත්තටම මලිති ගැන බයයි.”

ඔහු නැවත කියද්දී රුවිනිගේ හඬ මෘදු තානයකට මාරු විය.

“ජීවිතේ ගැන බරපතල තීරණයක් ගත්තට ඇත්තටම මලී හරිම බොළඳ කෙල්ලක් තුහින.බය වෙන්න එපා. මට ඇත්තටම එයාව බලාගන්න පුළුවන්. දැන් එයා ඔෆිස් එකේ එහා ටේබල් එකේ විතරක් නෙවෙයි.මගෙන් බිත්තියක එහා පැත්තෙ ඉන්නේ.”

මලිති නොකා නොබී ඉන්නට ඉඩ ඇති බවත්  කෙළවරක් නැතිව හඬන්නට ඉඩ ඇති බවත් තුහින කියද්දී රුවිනි මඳ සිනාවකින් අසා සිටියා ය.

“ඒවා ඔක්කොම හරි මං එයාව බලාගන්නම්. නවීන්ටයි උත්පලාටයි සන්ධාන හදාගන්න වෙන වැඩ නොකර ඉන්නකො ඔයා. ඕනෑම දේකට කාලයක් එනවා. ඒ කාලේ එනකං ඔයාට ඕනනම් මගේ අංකෙ ගන්න. හොඳම යාළුවා අංක දෙක වෙන්න මං ලෑස්ති. ඒත් මං ඔයාලා දෙන්නගෙම මේ වෙලාවේ ඉල්ලන්නේ රිලේෂන්ශිප්වලට නම් ලෑස්ති වෙන්න එපා. ලොකු වේදනාවකින් හිත හදාගන්න කාලෙ අපි ගන්න සමහර තීරණ පැහැදිලි නෑ කියලා අපට  තේරෙනකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඒ හන්දා මේ කාලේ පුළුවන් තරම් ඉවසීමකින් ගෙවාගන්න.”

රුවිනි සමහර දේ කියන්නේ කිසිම පැකිලීමකින් තොරව ය. අයිසින් තැවරීම් නැති ඇගේ කතා පැහැදිලි සේම සත්‍යය බව තුහින දනියි. ඔහු මේ මොහොතේ ඇයට අවනත වෙන්නට තීරණය කළේ ය.

(මෙතැනින් එහා මලිතිගේ තීරණ කොහොම වෙයි කියලද හිතන්නේ. මඳක් අසනීපයෙන් සිටින නිසා අද කතාව එතරම් දිග නෑ. දිගු කොටසකින් හෙට හමුවෙමු) 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles