පොල්කිරි මසාලා තේ හදමු

අතේ ඇති මුදලට පවුලේ පෝෂණ සහ රස අවශ්‍යතාව සපුරන්න නිරන්තරයෙන් වෙහෙසෙන අපේ smart කාන්තාවන් වෙනුවෙන්ම ඔන්න තවත් වෙනස් රසවත් සහ ගුණවත් පානයක් ගැන විස්තර අරගෙනයි අපි අද මේ ලිපියෙන් ඔබත් එක්ක එකතු වෙන්නෙ. 

පුරුදු තේ එක වෙනුවට හවසට උණුසුම් පොල්කිරි මසාල තේ එකක් පිළියෙල කරගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි අපේ මේ සූදානම.

මේ පානයේ තේ කොළ, ඉඟුරු, කරදමුංගු, කරාබුනැටි, කුරුඳුපොතු අඩංගු නිසා,

නිතරම ඇතිවෙන උදාසීන සහ නිදිමත ස්වභාවයෙන් තොරව ප්‍රබෝධමත්ව දවස ගත කිරීමට, 

උදරයේ විවිධ ආබාධ සමනය කරන්න, 

රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න වගේම 

ශරීරයේ සන්ධි,අස්ථි හා මාංශපේෂී වේදනා සමනය කරන්න වගේම හිසරදය ඇතිවීම වළක්වන්නත් උපකාරී වෙනවා. 

ඒ වගේම මෙහි අඩංගු පොල්කිරි නිසා, 

ශරීරයේ අනවශ්‍ය බර අඩු කිරීම, 

හෘදයේ නීරෝගී බව රැකගැනීමට, 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරමින් බෝවන රෝග වලින් ආරක්ෂාව ලබාදීම, 

වගේ බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාගන්න ඔබට පුළුවන්. 

එහෙනම් අපි දැන් බලමු, අපි කොහොමද මේ පොල්කිරි මසාලා තේ පානය පිළියෙල කරගන්නෙ කියල. 

අවශ්‍ය ද්‍රව්‍ය

  • වතුර කෝප්ප 02 ක් 
  • පොල්කිරි කෝප්ප 02 ක් 
  • ගම්මිරිස් ඇට 10 ක් 12 ක් 
  • කරදමුංගු ඇට 05 ක් 
  • කරාබුනැටි 05 ක් 
  • කුරුඳුපොතු කැබැල්ලක්
  • අඟලක ඉඟුරු කැබැල්ලක් 
  • සීනි මේස හැඳි 02 ක් 
  • තේ කොළ තේ හැඳි 02 ක් 

සාදාගන්නා ආකාරය

මුලින්ම පිරිසිදු භාජනයක් ලිපතබා වතුර කෝප්ප 02 ක එයට දමා මඳ ගින්නෙ රත්වීමට තබන්න. 

ගම්මිරිස් ඇට, කරදමුංගු සහ කරාබුනැටි සාමාන්‍ය ප්‍රමාණයට තලා ගන්න. 

කුරුඳුපොතු කැබැල්ලත් සාමාන්‍ය ප්‍රමාණයට තලා ගන්න. 

ඉඟුරු කැබැල්ලත් තලා ගන්න. 

දැන් රත්වූ වතුර භාජනයට මේ සියල්ල එකතු කර කලවම් කරගෙන විනාඩි 08 ක් 10 ක් පමණ රත්කර ගන්න. 

විනාඩි 10 කට පසු සීනි සහ තේ කොළ එකතු කර හොඳින් කලවම් කරගන්න. 

විනාඩි 02 ක් 03 ක් රත්වීමට තබන්න. 

දැන් එයටම පොල්කිරි එකතු කර පොල්කිරි බුබුළු නටන තරමට පත්වන තුරු හැඳිගාමින් රත්කර ගන්න. 

දැන් මේ සදාගත් මිශ්‍රණය හොඳින් පෙරාගෙන පිළිඟන්වන්න. 

එහෙනම් මේ විදිහට පිළියෙල කරගත්ත රසම රස පොල්කිරි මසාල තේ එකක් බීලා බලමුද? 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles