Vintage Eyes – 40

කිරි අම්මාවරුන් ගේ ආශීර්වාදයන් නිමා වූයේ මොහොතකට පෙර ය. ඒ අතරේ සියපත් ව එක තැනක රඳවා ගෙන සිටියේ අසීරුවෙනි. ඔහු දණ ගාමින් අප වෙතින් මිදී ඒ මේ අත යයි. කිරි මව්වරුන් ඉදිරියේ වන පඬරු පාක්කුඩම් වට්ටි පෙට්ටි අදින්නට සැරසෙයි. බුදුන් හා පත්තිනි දෙවියන් වෙනුවෙන් ඉදි කළ පහන් පැල් වල තිර රෙදි ඇද දමන්නට හදයි. ඒ සියලු දඟ වැඩ වලින් වලකා ගෙන කිරි අම්මාවරුන් ගේ ආශීර්වාදය ඔහු වෙත ලබා දීම සඳහා අපට වෙහෙසක් දරන්නට සිදු විය. ඒ වෙහෙස නංගී මත ම නො පැටවී බෙදී යනු වස් මට ද විහාර ට ද නූරි ට ද අම්මා ට ද වරින් වර සියපත් වඩා ගෙන ඔහු සමගින් ඔට්ටු වන්නට සිදු විය. දානය පිළියෙල කරනු පිණිස මුළු රාත්‍රියක් අවදිව සිටින්නට අපට සිදු වෙත්දී, සියපත් හා අසෙලියා ද වැඩිපුර සිටියේ නිදි වර්ජිතව ය. ඒ නිසා ම මේ රැය ඉතා දිගු හා වෙහෙසකර වූයේ ය. එසේ ම කතා කරමින් ද සිනහ වෙමින් ද විහිළු තහළු කරමින් ද මෙහෙම කටයුත්තක් වෙනුවෙන් නිදි වරනවා කියන්නේ ද සතුටකි.

කිරි අම්මාවරුන් වෙනුවෙන් දානයක් සූදානම් කළේ සියපත් ට වයස අවුරුද්දක් පිරීම නිමිත්තෙනි. එය නංගී ගේ ආශාව විය.

මගෙ ෆස්ට් බර්ත් ඩේ එකටත් කිරි අම්මලට දානයක් දුන්නද...”

පෙර දා රාත්‍රියේ අසෙලියා ඇසුවා ය.

යූඑස්ඒ වල එහෙම දෙයක් කරන්න ටිකක් අමාරුනෙ පුතේ. ඔයා ආසයිනං...අපි ඔයාගෙ ඊළඟ බර්ත් ඩේ එකට කිරි අම්මලගෙ දානයක් දෙමු”

ඇය ව උකුලේ තියා ගෙන මම කීවෙමි. අසෙලියා කැමැත්තෙන් හිස සැලුවා ය. දැන් ඇය ලංකාවේ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබයි. පාසල් යන්නේත් පාසල් කටයුතු වල නිරත වන්නේත් සතුටෙන් හා උනන්දුවෙනි. පාසල නිම වෙන වෙලාවට විහාර ඇයව විශ් යූ වෙත ගෙන එයි. විශේෂ වැඩක් නො තිබුණොත් ඒ වෙලාවට මම ඇය ද කැටිව ගෙදර යමි. වැඩක් තිබුණොත් අසෙලියාව එහි රඳවා ගමි. සෝදවා ඇඳුම් මාරු කොට කෑම කවා ඇයට පාසලේ ගෙදර වැඩ කරන්නට ඉඩ හරිමි. අසෙලියා වැඩිපුර ම කැමති හවස් වන තුරු විශ් යූ වල ඉන්නට ය. ඒ සියපත් සමගින් සෙල්ලම් කරන්නට ලැබෙනා බැවිනි.

අමේලි වරින් වර වීඩියෝ ඇමතුම් ඔස්සේ අසෙලියා ට කතා කරයි. දැන් අමේලි මගේ මිතුරියකි. අසෙලියා මා හා රැඳීම ගැන ඇය සතුටු වන්නී ය. අසෙලියා මට අම්මා කියත්දී ඇයට සංවේගයක් නො දැනෙතැයි කිව නො හැක. නමුත් ඒ රටේ සිටියා නම් අසෙලියා ට වැඩිපුර රැඳෙන්නට වන්නේ අමේලි ගේ මව් පියන් සමගින් මිස නව විවාහයකට එළඹ සිටින ඇය සමගින් නොවන නිසා, දියණිය ඇගේ පියා හා මා සමග සතුටෙන් හිඳීම ගැන ඇය සහනයෙන් සිටින්නී ය. විහාර සම්බන්ධයෙන් හෝ අසෙලියා ගේ ආදරය සම්බන්ධයෙන් අප දෙදෙනා අතරේ කිසිදු තරඟයක් ඇත්තේ නැත.

තමන්ට නො ගැලපෙන තැන් වලින් අයින් වුණත් ඒ විදිහට ෆ්‍රෙන්ඩ්ලි ජීවත් වෙන්න මිනිස්සුන්ට පුළුවන් කියන්නෙම මොන තරං දෙයක්ද නේද...ඒකට හුඟක් අය...වෙන් වුණාට පස්සෙ වෛරක්කාරයොනෙ”

නූරි ඒ ගැන දරන්නේ එහෙම අදහසකි. ඇය වසර ගණනාවක් තිස්සේ පෙම් කළ තේජන හෝ මාස කිහිපයක විවාහ බැඳීමක් තුළ සිටි මිගාර හෝ නූරි සමග කිසිදු ඇයි හොඳයියක් පවත්වන්නේ නැත. නූරි  සිය විවාහයෙන් නීත්‍යානුකූල ව වෙන් වූ බව දැන ගත් තේජන අපහාසයට සිනහ වී තිබිණ. ඇයට ඒ විපාක දුන්නේ ඔහු ට කළ දේයි මිතුරන් සමග පාරම් බා තිබිණ.

මනුස්ස වෙස් අරං ඉන්න අමනුස්සයන්ගෙන් බේරෙන්න සමහර වෙලාවට දෛවය එහෙම දේවල් කරනව ඇති”

නූරි මඳහසකින් එහෙම කියයි. නමුත් ඇගේ හිත යට සංවේගයේ සෙවනැලි තවමත් සෙලැවෙන බව මම ඉඳුරා දනිමි. එනමුදු ඇය තේජන ගැන සේ ම මිගාර ගැන ද තව දුරටත් කම්පා වන්නේ නැත. යළිත් විවාහයක් ගැන නො සිතමිය කියන්නේ ද නැත.

මාත් එක්ක ජීවිතේ බෙදා ගන්න පුළුවන් කියල දැනෙන විදිහෙ කෙනෙක් කවදක හරි හම්බ වුණොත්...බලමු ඉතිං...ගෑනියෙක්ට පිරිමියෙක් නැතුව ඉන්න බෑ කියල දෙයක් නෑනෙ. මේ මං හොඳට ඉන්නෙ. හැබැයි ඉතිං හොඳ පිරිමියෙක් ඉන්නවනං හොඳයි. විහාර ඔයා ළඟ ඉන්නව වගේ. හොඳ පිරිමියෙක් මුණ ගැහුණෙ නැත්තං තනියම ඉන්න එක හොඳයි පිරිමියෙක් නිසා හිතේ නිදහසත් නැති කර ගන්නවට වඩා”

ඒ නිසා දැන් ම ඇය හා යළි විවාහයක් ගැන කතා කොට පලක් නැත. ඇයට ම හිතුණ දිනෙක, ඇයට ම හිතුණ කෙනෙකු සමග ඇය එවන් තීරණයක් ගනු ඇත.

කිරි අම්මලා පඬුරු පාක්කුඩම් හිස තියා ගෙන ගෙන් පිට වූවාට පස්සේ, බඩු මුට්ටු වලින් හිස් වූ සාලයෙහි බිම සියපත් ව නිදහසේ අත් හැරිණි. අප ද සිටියේ තැන් තැන් වල බිම හිඳ, තවමත් පහ ව නො ගිය දානයේ බැතිබර බව හදවත දරා ගෙන ය. මඳ වෙලාවක් දණ ගාමින් හා අසෙලියා සමග කෙළි දෙලෙන් පසු වූ සියපත් උන් හිටි ගමන් නැගිට පියවර කිහිපයක් ඇවිද යන්නට වූයේ ය.

අනේ එයා ඇවිදිනව”

අන් සියල්ලන් මුව විවර කර ගෙන නමුත් ගොළු වී බලා සිටියදී මට අත්පුඩි ගැසී කෑ ගැසිණ. ඒ හඬින් කලබල වූ සියපත් වහා බිම ඉන්දවිණ. හැම කෙනෙකු ම අත්පුඩි ගසා ඔහු වෙනුවෙන් සතුට පළ කළේ ඒ වෙලාවේ ය. නංගී දිව විත් සිය ප්‍රාණ සම බිළිඳා වඩා සිප ගත්තේ ය.

හරියට ම අවුරුද්දක් පිරෙන දවසෙ ඇවිද්ද. ඒක අමතක නොවෙන දවසක්”

අම්මා කීවා ය. නංගී පුතා ගෙනැවිත් අම්මා අතට දුන්නා ය.

සියපත් අපේ පවුලේ සතුටු පෙත්ත ය. ඔහු නිසා අප කාටත් දවස පුරා සිනහ වෙන්නට කාරණා යෙදේ. වියළී කඨෝර වී ගිය අපේ ජීවන කතර මත කඩා වැටුණු අසෙණි වැස්ස ඔහු වූයේ ය. බලාපොරොත්තුවේ කොඳ කැකුළු පිපෙන්නට ගත්තේ ඉනික්බිති ය.

නංගී ට යන කල දසාවක් ගැන අම්මා කිහිප විටක් මා හා කීවා ය. දරුවෙකු ද සමග තනි වූ ගැහැනියක ගේ ඉරණම වූ කලී වෙනස් එකකි. මොන හේතුවක් මත හෝ සියපත් ගෙන් මිදෙන්නට නංගී ට ඕනෑ නැත. ඇගේ මව කිහිප වතාවක් ම ඇය විදෙස් රැකියාවකට කැඳවන්නට උත්සාහ කළ ද නංගී එකඟ නොවුණා ය. එක අතකට අම්මලා කියන්නේ එහෙම බැඳීමකින් බැඳුණු ගැහැනු ආත්ම ය. නංගී ගේ අම්මා ද තවමත් සිය දියණිය අමතක කොට නැත. වරින් වර ඇය දියණිය හා මුණුපුරා වෙනුවෙන් මුදලක් ගිනුම් ගත කරයි. ඔවුනොවුන් ගේ සීමාව තුළ මාතෘත්වයේ වගකීම් හා යුතුකම් විවිධ බව දැන් මම වටහා ගෙන සිටිමි. ඒ නිසා කිසිදු අම්මා කෙනෙකු එක මිම්මෙන් මනිමින් විවේචනය කරන්නට මම ඉක්මන් නො වෙමි. මගේ අම්මාත්, ඔසඳි ගේ අම්මාත්, අසෙලියා ගේ අම්මාත්, සියපත් ගේ අම්මාත් මේ මිහි මත නේකාකාරයෙන් මව් පදවිය හෙබවූ අම්මාවරුන් ය. ඔවුන් හැම කෙනෙකුට ම ඔවුන් ගේ ම වූ මාතෘත්වය පිළිබඳ කතාවක් තිබේ.

ළමයි දෙන්නට කිරිබත් බෙදල කවන්නකො අක්කෙ”

නංගී කීවා ය. අසෙලියාට හා සියපත් ට එක ම පතකින් බත් කවනා එක දැන් මට පුරුද්දට ගොසිනි. සියපත් ට කවන්නට දැරිය යුතු වෙහෙස මා මත පටවා නංගී ඒ කරදරයෙන් ගැලවී ගනී. නමුත් මා එය කරන්නේ ආශාවෙනි. ඔවුන් ගේ කුස් පිරුණු කල මට දැනෙනා සතුට වචන වලින් පැහැදිලි කළ නොහැක්කකි. ඉතින් මාත් වෙන ම ආකාරයක අම්මා කෙනෙකි!

අනේ එහෙනං එහෙමම මටත් කවන්නකො ශික්ෂා”

සියපත් ව ඔහු වෙත ගනිමින් විහාර කීවේ ය.

ආ...කොහොමද ඒක...ශික්කගෙ ලොකු ළමයනෙ මෙයා”

නූරි බොරුවට විරෝධය පෑවා ය.

එහෙනං ඔක්කොමල ඉක්මනට කන්නකො. කාල අහල පහල ගෙවල් ටිකට කිරිබත් කිරියා බෙදන්න ඕනෙ”

අම්මා නැගිට ගත්තේ ඇය නො නැගිට්ටේ වී නම් කිසිවෙකු ඉක්මන් නො වෙනා බව අත්දැකීමෙන් දන්නා නිසා ය. මම අසෙලියා වෙතට ද සියපත් වෙතට ද විහාර වෙතට ද යමින් ඔවුන් ට කිරිබත් කැව්වෙමි.

දැං බේබි සියපත් හැමදාම ඇවිදිනවදදැං එයාට පුළුවන්ද මාත් එක්ක දුවන්න...අපිට ගාඩ්න් එකට ගිහින් ප්ලේ කරන්න පුළුවන්ද අම්මි...”

අසෙලියා ට ප්‍රශ්න කප්පරක් තිබිණ. ඇය කී අම්මී යන වචනය අල්ලා ගෙන සියපත් අම්මි අම්මි කියමින් දඟ පාන්නට වූයේ ය.

ඔයා අම්මි කියන්න එපා. මේ ඉන්නෙ මගෙ අම්මි”

කියමින් අසෙලියා මගේ ගෙල වැළඳ ගත්තා ය. සියපත් එය වැටහුණා වාගේ මූණ බෙරි කර ගෙන හඬන්නට  කට හැදුවේ ය.

අනේ මල්ලිව අඬවන්න එපා පුතේ”

කියා කීවේ විහාර ය.

සියපත් අපේ අම්මාට අම්මා යි අමතන්නේ ය. ඒ මාත් නංගීත් විහාරත් ඇයට එසේ අමතන නිසා විය හැක. නංගී ට ඔහු නංගී කියන්නේ ය. ‘මං ඔයාගෙ අම්ම අනේ’ කියා ඇය පවසන විට ඔහු සිනහ වෙවී ඇයට අම්මා කියයි. අසෙලියා මට අම්මී කියන නිසා සියපත් ද මට අම්මී කියයි. මේ ආදර ලෝකය හරි සරල ය. එසේ ම සංකීර්ණ ය. එය කෙබඳු වී ද හදවත ආදරයෙන් පුරවා ලයි. ආදරය කියන්නේ හදවත් නිවා සනහා ලන ගනු දෙනුවකි.

අසල්වැසියන් ට කිරි දානය බෙදා, ගේ දොර නැවත යථාවත් කිරීමෙන් පස්සේ අපි ගෙදර යන්නට සූදානම් වෙමින් සිටියෙමු. නිදි වැරීමේ කෙඩෙත්තුවත්, දිගු නින්දක අවශ්‍යතාවයත් අප කා හටත් දැනෙමින් තියෙන්නට ඇත. ඒ අතරේ අසෙලියා ගෙදර යාම ප්‍රතික්ෂේප කළා ය.

අනේ ආයෙ හවසට එමු පුතේ. ටිකක් නිදාගෙන...වොශ් කාල...චේන්ජ් කර ගෙන...ම්...”

මා ආදරයෙන් කියත්දී අසෙලියා මුරණ්ඩු වූවා ය.

බෑ බෑ මට යන්න බෑ...මට සියපත් මල්ලි එක්ක සෙල්ලං කරන්න ඕනෙ”

හරි ඉතිං අපි හවසට ඇවිත් සෙල්ලං කරමු. නිදි මතනෙ අනේ”

මට බෑ..මං යන්නෑ”

විහාර ඇයට සැර වූයේ ඒ වෙලාවේ ය.

අසෙලි මොකද ආ මේ...ඩෝන්ට් බී ස්ටබර්න්...අම්මි දෙයක් කිව්වහම ඒක කරන්න...නරක ළමයෙක් වෙන්න හදන්නෙ නැතුව”

ඒ සැර කිරීමෙන්, අප කිසිවෙකු කිසි සේත් බලාපොරොත්තු නොවූ ලෙස අසෙලියා හඬන්නට පටන් ගත්තා ය. මීට පෙර කිසි දාක ඇය එහෙම හඬා නැත. මම ඇයව තුරුලු කොට ගනිමින් විහාර වෙතට නෝක්කාඩු බැල්මක් හෙළුවෙමි.

මොකද්ද අනේ...සැර කළාම ඒ ළමය බය වෙනවනෙ...ඔයත් පොඩි ළමයෙක් වගේනෙ වෙලාවකට”

හුරතල් කරන්න එපා ඕනවට වඩා. ඒකනෙ එයා දැං මුරණ්ඩු වෙලා තියෙන්නෙ”

අසෙලියා මගේ උරයේ මූණ ඔබා ගෙන ඉකි බිඳින්නට වූවා ය. ඇයට තාත්තා ගේ තරවටුව දැඩි ව දැනෙන්නට ඇත. දැරිය සිටියේ සෙල්ලම් කිරීමේ මානසිකත්වය තුළ ය. එය අහිමි වී යන බව දැනෙත්දී ඇයට හැඟුණ ලෙසට විරෝධය පාන්නට ඇත. එය මහා ලොකු වරදක් සේ මට නො පෙනිණ.

එහෙනං බේබි සියපත්ව අරං යං”

හඬමින් ම ඇය තරයේ  කීවා ය. විහාර ට කේන්ති ගියේ අසෙලියා ගේ ඒ මුරණ්ඩු ස්වරූපයට ය.

නෝ. වන්ස් අයි ටෝල්ඩ් යූ අසෙලී...මල්ලි දැං නිදියනව. ඔයත් නිදියල ඇවිත් සෙල්ලං කරන්න. එන්න යං”

අම්මී...”

එවර අසෙලියා මගේ ගෙලෙහි එල්ලී හයියෙන් ම හඬන්නට වූවා ය..

හරි පුතේ ඉතිං අපි එනවනෙ ආයෙ. දැන් පුතාට වීක් එන්ඩ් එකෙත් දිගටම සෙල්ලං කරන්න පුළුවන්නෙ මල්ලි එක්ක. අපි යං හොඳේ. නැත්තං තාත්තිට කේන්ති යයි

මම ඇය වඩා ගනිමින් නැගී සිටියෙමි. එවිට අසෙලියා දෝතින් ම මගේ කම්මුල් දෙක අල්වා ගෙන ඉකිලන්නට වූවා ය.

අම්මි...”

ඉකි ගහන්න එපා ඉතිං...දැං අඬන්නැතුව ඉන්න

අම්මි එහෙනං අපිත් ගේමුද බේබි කෙනෙක්...අපේ ගෙදර  තියා ගන්න...”

ඇය ඒ ඉල්ලීම කළේ කෙතරම් සුරතල් හා අසරණ ලෙස ද කිව හොත් මට දෙන්නට පිළිතුරක් සිතා ගත හැකි නො විණ. නූරි අතින් කට වසා ගෙන සිනහ වෙන්නට වූවා ය. අම්මාත් නංගීත් සිනහව ගිල ගෙන අසෙලියා ගේ පිට පිරිමදිමින් ඇය සැනසූහ. විහාර කිසිත් නෑසුණා සේ රිය වෙත ගියේ ය. එතැන වැඩිපුර ම අපහසුතාවයට පත් ව සිටියේ මා ය. කම්මුල් පුපුරු ගසන්නට එනවා සේ මට දැනිණ. මම දැරිය වඩා ගෙන ම ගොස් රියෙහි ඉදිරි අසුනට ගොඩ වීමි. අම්මාත්, නූරිත්, සියපත් වඩා ගත් නංගීත් රිය වෙත පැමිණ සිටියහ. නූරි මා සිටි තැන වීදුරුවට ඇඟිල්ලකින් තට්ටු කළා ය. මම එය පහත් කළෙමි.

ළමය කියපු දේ ගැන පොඩ්ඩක් සලකල බලනවල ඈ

මම දෙතොල් තද කර ගෙන ඉවත බලා ගතිමි. විහාර රිය පෙරට ගත්තේ  මගේ වෙලාවේ හොඳ කමට ය. රිය ටික දුරක් ඉදිරියට යන තුරුත් මා සිටියේ ඒ තද කර ගත් සිනහවෙන් ඉවත බලා ගෙන ය. ඒ අතරේ විහාර ගීයක් උරුහම් බාමින් සිටියේ ය. ඔහු වරින් වර හැරී මදෙස බලන බව දැනුණෙන් මම වඩාත් හිස පසෙකට හරවා ගෙන සිටියෙමි. අසෙලියා මගේ ළමැද මුහුණ හොවා ගෙන තුනී ව යන ඉකි ලෑමෙන් යුතුව සිටියා ය.

උරුහම් බෑම නවතා විහාර උගුර පෑදුවේ ය. මම ඔහු ට වඩා තත්පරයකට ඉස්සර වීමි.

කවි පොතේ වැඩේ ඉක්මන් කරන්න ඕනෙ. අතන මෙතන තිබුණ කවි ගොඩක් මං එකතු කරල ඇති. ඒවගෙන් පොතට දාන ඒව ටික තෝරගන්න ඕනෙ”

ඔහු සුරතින් සුක්කානම හසුරුවන ගමන් වමත මගේ උරහිස වටා දැමුවේ ය. මා තවමත් හිටියේ ඔහු ගෙන් මූණ ඉවතට හරවා ගත් වන ය.

අනේ බං...”

දෙතොල් තද කර ගත්, පුපුරා යන්නට නියමිත සිනහවෙන් මම විහාර දෙස බැලීමි. ඔහු සිය වින්ටේජමය දෑසින් මගේ ඇස් සිප ගත්තේ ය. එක ගැඹුරු අගාධ දෑසක්...පේපර් සර්වියට් එකක ලියවුණ කවියක්...පැබ්ලෝ නෙරූඩා ගේ කවි පොතේ පළමු පිටුවේ සිංහල හැඩැති අකුරෙන් විහාර වෛශාක්‍ය අමරසිංහ ලෙසින් තැබූ අත්සනක්...ඒ කවි පොතෙන් මූණ වසා ගෙන පරණ විශ් යූ හි කැටයම් මේසය යට රිංගා ගෙන සිටි ශික්ෂා කෙනෙක්...ඝණඳුරු පොල් වත්ත මැද කණාමැදිරි තිත් අතරේ ඔස්ටින් රිය පිටුපස සැකසුණු  සදා මතකයේ රැඳෙන උපන් දින සැමරුමක්...නොස්ටැල්ජියාවක හිත අතරමං වී පා වන්නට විය. මගේ අත දකුණු පාදයේ වළළු කර වෙත ගියේ අවිඥානකව ය. ඇන්ක්ලට් එක සුරක්ෂිත ව තිබිණ.

කවි පොත ලොන්ච් කරන්නෙ චූටි විහාර කෙනෙකුත් වඩාගෙනම යන්න පුළුවන් වෙන දවසක...”

ඔහු අඩැස් බැල්මකින් කීවේ ය.

හරි නරකයි අනේ ඔයා”

මගේ මුවින් කියවුණේ එසේ ය. නමුත් මගේ ඇස් වල දෝරෙ ගලමින් තිබුණේ ආදරේ ගැන කතාවකි.

-සමාප්තයි.

පෙම් සබඳකමක් ඇති වූවාට පස්සේ ඒ කතාව තව දුරටත් ලියා ගෙන යන්නට බැරි කමක් කාලයක් තිස්සේ මට විය. ඊට පස්සේ ලියන්නට දේවල් නැති වී යනවා යි මම ම මගේ හිතට කීවෙමි. නමුත් වින්ටේජ් අයිස් මගේ ඒ මානසික බාධක බිඳ දමමින් විවාහයෙන් පසුවත් ප්‍රේමය දරා සිටිය හැකි බව ලියා තබන්නට සමත් විය. ඉතින් මේ කොටස් හතළිහ පුරාවට ආදරයේ සීමා මායිම් අලුතෙන් හැඳින ගත් ඔබට ස්තූතියි කියමි.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles