Vintage Eyes -34

බිළිඳු පුතු වෙනුවෙන් පුංචි දෙව් ලොවක් සේ අපි කාමරය සරසා ගෙන බලා
සිටියෙමු. ලා නිල් පාටින් ඇඳ ඇතිරිලි දමා, තිර රෙදි එල්ලා, පුංචිවට මල් ද
කුරුල්ලන් ද ටෙඩී බෙයාලා ද මැසූ ලා නිල් කොට්ට උර දමා, පුළුන් කොට්ට යහනා
තනා ගෙන සිටියෙමු. අපේ පුතු ඒ යහනේ සතපා සුරංගනාවන් සමග ඔහු හුරතල්
පානා හැටි බලාන ඉන්නට පෙර මං බැලුවෙමු. ඔහු ගෙදර එන්නට පමා වෙත්දී අදිසි
බියක් අපේ ගැහැනු හදවත් වෙළා ගත්තේ ය. දුක හිතෙනා වෙලාවක වාරුවක්
වෙන්නට උන් එක ම පිරිමි ආත්මයත් දුර ඈතක වූයෙන්, උණුහුමක් නැති ශිශිරයක
සීතලේ වෙව්ලමින් සිටියෙමු. හදිසියේ අහම්බෙන් හිරු පායා එහිරු කිරණ විසිරී
පැතිරී ගියේ එහෙව් හිම පතනයක් අතරේ ය. ඔවුන් දෙදෙනා ම එක ම දවසක
ගෙදර පැමිණීම, කල් යල් බලා දෙවියන් විසින් දුන් තුටු පඬුරක් ම විය.
නමුත් බිළිඳු පුතු ගේ සපැමිණීම දෙවන ලෝක යුද්ධය ඇරඹීම සරි විය. ඔහු ට
කිරි පොවා ගන්නට බබා ගේ අම්මාත්, අපේ අම්මාත්, නූරිත් මාත් යුද්ධයක් කළ යුතු
විය. නමුත් බබා ගේ කුස පිරුණායි බලාපොරොත්තු තැබිය නො හැකි වූයේ ඔහු
වරින් වර උස් හඬින් හැඬූ හැඬිලි නිසා ය. නංගී බබා නලවා ගන්නට මුළුමනින් ම
අපොහොසත් වූවා ය. නමුත් අම්මා අතට ගෙන ඇයට ම ආවේණික වූ නැලවිලි
ගීයක් ගයන්නට පටන් ගත් සැනෙන් ඔහු සිය හැඬීම නතර කරයි.
අම්මා බිළිඳු ඇඳුම් බේසම් පුරවා සේදුවා ය. ලස්සනට නිල් පාටින් ඇඳුම් පොඩි
හා නැපි පෙළට වැනුවා ය. ඒවා සුළඟ සමග දඟ පා බිම නො වැටෙනු වස් නිල් පාට
ක්ලොත් පෙග්ස් ගැසුවා ය. බබා ඇඹරෙන නිසා ළදරු ඇඳුම් අඹරා මිරිකන්නේ නැති
යයි අම්මා කීවා ය. ඒ ඇඳුම් වේලුවේ මඳ පවනේ ය. මම කිරි සුවඳින් පිරී ගිය
හදකින් ඒ ඇඳුම් මැද්දෙමි. ලස්සනට පිළිවෙලට නවා ඇසුරුවෙමි. නමුත් නවා තබනා
සැනෙන් නැපි යළිත් බේසමට ම ගියේ ය.
සබන්, පවුඩර්, ඕඩිකොලෝන් සුවඳින් ගෙදර පිරිණි. කොහොඹ කොළ වලින්
උදේ හවස අලුත් අම්මාට දුම් ඇල්ලිණි. බිළිඳු හැඬුම් වලින් නිරන්තර වායු ගෝලය
සුසර විය. නිල් පාට දිග බේසමට නිවා ගත්, වෙනිවැල්ගැට හා රත් මල් දැමූ නැවුම්
පුසුඹැති දියෙන්, අලුත් හිල් පොල් කටුවකින් අම්මා බිළිඳු හිස නැහැවූවා ය. බබාගේ
මූණට වතුර නො එන සේ මම ඒ නළලත අත තබා සුරැකියෙමි. නමුත් ආයේමත් කිරි
පොවා ගැනීමේ යුද්ධය ය.
ඒ යුද්ධයෙන් ඇතැම් විට අපි තිදෙනා ම හෙම්බත් වුණෙමු. පුත් කුමරුන්
නැවත ද කහ පැහැ ගැන්වී එනවාය යන සැක බිය නිරන්තර මා හද තිගස්වමින්
තිබිණ.
“අනේ අපි පීඩියට්‍රීශන් කෙනෙක්ට පෙන්නමුද බබාව…”
එහෙම කලබල වුණ වෙලාවක මම විහාරට කතා කොට විමසීමි. මා කතා
කළ ගමන් ඔහු ආවේ ය. ඒ වෙලාවේ ළමා රෝග විශේෂඥවරයෙකු සම්බන්ධ කර
ගත හැකි ඕනෑ ම තැනකට දරුවා ගෙන යන්නට මට ඕනෑ විය. මා කියනා ඕනෑ ම
දෙයක් ප්‍රතික්ශේපයකින් තොර ව කරනා සූදානමක විහාර සිටියේ ය.
“මං නිසා ඕගොල්ලන්ට කරදරයි අක්කෙ”
බිඳුණු හඬකින් නංගී අසීරුවෙන් කියා ගත්තා ය.

“ඕගොල්ලො හිටියෙ නැත්තං මේ වෙනකොට මට මොනා වෙලා මං කොහේ
ඉඳියිද කියල හිතා ගන්න බෑ. තවත් කොහොමද මෙහෙම වද දෙන්නෙ…”
“පුතා අපි හැමෝගෙමනෙ නංගි…එයාව ඇස් දෙක වගේ බලා ගන්න ඕනෙ.
එයාට චූටි වෙනසක්වත් නොදැනෙන්න ඕනෙ. අපි කෝකටත් බබාව පෙන්නමු”
වඩාත් කලබල වී සිටියේ මා ය. එහෙට මෙහෙට දිව්වේ පැන්නේ මා ය. නමුත්
හිත හයිය කර ගෙන, කාටවත් වෙනසක් නො හඟවා සිටිනට ද මට ඕනෑ විය. අපේ
ගෙදරට වැඩමවූ සුරංගනා පැටියා ට අංශුවක උපද්‍රවයක් වෙනවා දකින්නට මට ඕනෑ
නොවී ය. වෛද්‍යවරයා ළඟට පුතු වඩා ගෙන ගියේ අම්මා ය. මමත් නංගීත් පසුපසින්
වීමු. බබා අවශ්‍ය තරමට කිරි නො උරනා බව කීවේ මා ය. ඒ කිසියම් ගැටළුවක
පෙරනිමිත්තක් දැයි විමසුවේ මා ය. ටෙවද්‍යවරයා බබා පිරික්සන අතරේ අටෝරාසියක්
ප්‍රශ්න ඇසුවේ මා ය.
“බබාගෙ අම්ම කව්ද…”
අන්තිමට වෛද්‍යවරයා මා හා නංගී දෙස මාරුවෙන් මාරුවට බලමින් විමසුවේ
ය. නංගී ඇගේ ළය මත අත තබා ඒ තමන් බව හැඟවූවා ය.
“එතකොට මේ පුංචි අම්මද…”
ඔහු මදෙසට ආදරණීය සිනහවක් පෑවේ ය. මම බිම බලා ගතිමි.
“මේ මගෙ අක්ක ඩොක්ටර්…”
නංගී මගේ අතකින් අල්වා ගත්තා ය.
“මට හුණුවටේ කතාවෙ ගෲෂා මතක් වුණා. පුංචි අම්මල ලොකු අම්මල
කාටත් කිරි එරෙනවලු අක්කලගෙ නංගිලගෙ බබාල නිසා…නේද…”
ඒ විහිළුව සමච්චල් සහගත එකක් නොවන බව ඒ ස්වරයෙනුත්, ඒ
බැල්මෙනුත්, ඒ මන්දස්මිතයෙනුත් පැහැදිලි ලෙස කියැවිණ.
“නංගිටත් වැඩිය අක්ක තමයි බය වෙලා ඉන්නෙ ඩොක්ටර්”
අම්මා මිමිණුවා ය.
“බය වෙන්න කිසිම හේතුවක් නෑ අම්මල…බබා සම්පූර්ණයෙන්ම නිරෝගී
බබෙක්. බර චුට්ටක් තව හදා ගන්න ඕනෙ තමයි. එයාට කිරි උරන්න පහසු විදිහට
කිරි දෙන්න. අම්මයි බබයි දෙන්නම ඒ වැඩේට හුරු වෙද්දි ඕක ඇරිල යයි. වැඩේ
තියෙන්නෙ ඒ වෙනකල් බබාගෙ බර අඩු කර ගන්න බෑනෙ. ඒ නිසා ටික ටික වාර
ගණන වැඩි කරල හරි එයාගෙ බඩ පුරවන්න බලන්න ම්…ලොකු අම්ම ඔන්න බය
වෙන්න ඕන නෑ හරිද…”
අන්තිමට වෛද්‍යවරයා විහිළුවක් ද කළේ ය. අප එතැනින් නික්ම ආවේ
සැනසුම් සුවයකිනි. ‘ඒකනෙ අපි කිව්වෙ කලබල වෙන්න ඕන්නෑ කියල’යි කිසිවෙකු
කීවේ නැත. දරුවා ට අනතුරක් ඇත ය යන බිය හිතෙන් පහ කර ගන්නට ලැබීමේ
නිදහස කාටත් දැනෙන්නට ඇත.

“ඒකෙත් හැටි…ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙදියි ප්‍රයිවට් චැනල් එකකදියි
ඩොක්ටර්ස්ලගෙ කරුණාවන්තකමේ වෙනස…”
අම්මා එහෙම නම් කීවා ය.
ඊට පස්සේ ගෙදර සුරංගනා ලෝකයක් ම විය. බිළිඳා ගේ ලාලන කූජන වලින්
ද සුරතල් සිනා සරින් ද දෙසවන් පිරී තිබිණ. මා ආසා ම වූයේ යහනේ ඔහු අසල
පහත් වී ගෙන ඒ සිඟිති මුව දෙස බලා ඉන්නට ය. ඇඟිල්ලක් දුන් විට ඔහු ඒ තදින්
අල්ලා ගෙන සිටී. සිහිනයෙන් සුරංගනාවන් සමග සිනහ වෙයි. කුරුලු මුව හැඩ
කරමින් මොන මොනවාද කියන්නට හදයි. මා උදේ විශ් යූ වෙත යන්නේ පමා වී ය.
දිවා ආහාරයට පැමිණි විට ද ඉස්සරට වැඩි වෙලාවක් ගෙදර රැඳෙමි. හැන්දෑවට ද
ඉක්මනින් වැඩ නිම කරමු. ‘කොල්ලව බලල එනව’ කියමින් නූරි ද නිරන්තර මා
සමග ආවා ය. හැන්දෑ වන විට විහාර වෛශාක්‍ය අමරසිංහ අනිවාර්යයෙන් අපේ
ගෙදර දී දැකිය හැකි විය. අම්මා එම්බ්‍රොයිඩර් වැඩ ගෙන යන දවසට මම නංගී
එක්ක ගෙදර රැඳුණෙමි. වෙනදා වාගේ ස්කූටරයේ නොයා අම්මා හන්දියෙන්
ත්‍රීවීලරයක් ගෙන්වා ගෙන ගිහින් ඉක්මනට එයි. එහෙම අම්මා ගිය දවසක මා
විහාරට ඇමතුමක් දී ගෙන්වා ගත්තේ නංගීට හා මට මොන විදිහටවත් නලවා ගත
නො හැකි ව ‘සියපත්’ හඬන්නට වූ නිසා ය. අප ඔහු ට නම් තැබුවේ සියපත් ලෙස
කියා මට ඔබට කිව නො හැකි විය!
විනාඩි කිහිපයක් තුළ විහාර අපේ ගෙදර සිටියේ ය.
“අයි මණික අඬන්නෙ අපෙ සුදු පුතා…”
ඔහු දෝතින් ගත්දී ම පුතු සිය හැඬුම නවතා චූටි තොල් උල් කරමින් විහාර
එක්ක කතා කරන්නට ගත්තේ ය. හරියට අපේ අම්මා අතට පැමිණි විටෙක මෙනි.
දරුවෙකු නලවා ගැනීමේ ඒ කුසලතාවය වර්ධනය වෙනු ඇත්තේ දරුවෙකු අත පත
ගෑමෙන් ම යයි ඒ වෙලාවේ මට සිතිණ.
අම්මා එන තුරු බබා සෝදන්නේ නැතිව ඉන්නට අප කතා කර ගෙන තිබුණේ
ඊට ඇති බිය නිසා ම ය. ඒ ගැන කී විට විහාර ‘වතුර එකක් දාන්නකො’ කියා කීවේ
ය. අම්මා වාගේ බිම හිඳ ගෙන නොව බේසම මේසයක් මත තබා ගෙන ඔහු කදිමට
බිළිඳු පුතු සේදුවේ ය.
“ඉස්සර අමේලිත් හරි බයයි අසෙලියාව නාවන්න. මං තමයි ඒක කළේ. දූ
අඬන වෙලාවට මං වඩා ගෙන සින්දුවක් කියන්න ගත්ත ගමං නැලවෙනව. එයා
වැඩිය ආස වුණේ මාත් එක්ක ඉන්න. සුරංගනාවොත් එක්ක එයා කතා කරන හැටි
කොච්චර වෙලා බලං හිටියත් මට එපා වෙලා නෑ. මගෙ ජීවිතේ වෙච්ච ලොකුම
වැරැද්ද තමයි දුවගෙන් ඈත් වෙලා ඉන්න වෙච්ච එක”
අතේ ම සියපත් නින්දට වැටුණ පසු ඔහු යහන මත සතපමින් විහාර කීවේ ය.
මට ඔහු ගේ අත් බාහුවෙන් ඇල්ලිණ. ඔහු තනි වී නෑ වාගේ බැල්මක් මගේ ඇස් මත
තියෙන්නට ද ඇත.
“දැන් ඉතින් එහෙම වෙන්නෑනෙ…එයා එනවනෙ..”
හරි බරි ගැසී යහන මත හිඳ ගත් විහාර මගේ මුහුණ මත සිය හිරු කිරණ
සදිසි බැල්ම වැතිරුවේ ය.

“එයා ආවත් මට තනියම බලාගන්න වෙයිද කියලයි මං මේ හිතන්නෙ…”
“ඇයි…”
“ඇයි ඉතිං එක්කෙනෙක්ට දැං අපිව මතකත් නෑනෙ…සියපත් ආවට පස්සෙ අපි
ඉන්නවද කියලවත් දන්නෑ. අපිව ඕනෙත් නෑ”
“ඔයා ඕව කියන්නෙ බොරුවට කියල මං දන්නව. මට ඕනෙ මේ දවස්
හරී….දිග වෙන්නයි විහාර. ඔයා නිසා එකතු වෙන මේ මතක කන්…දක් වෙන්නයි…මේ
ගෙවෙන තත්පරේකට පවා මං හරි ආදරෙයි. ඒක එක විදිහක ලෝබ කමක්.
තෘෂ්ණාවක්. ඔයා වගේම සියපත් ඒ තෘෂ්ණාව පුරාම ඉන්නව. ජීවිතේ කියන්නෙ
ගෙවෙනවට ලෝබ හිතෙන දෙයක් කියල මට කියල දෙන්නෙ ඔය දෙන්න. මීට වැඩිය
ඒ ගැන විස්තර කරන්න මං දන්නෑ”
විහාර ගේ දෙතොල් අතරේ සිප ගෙන බලන්නට ආස හිතෙනා විදිහේ වශීකෘත
බවක් විය. ඔහු දෙදණ මඬල මත දෙ වැලමිට බර කොට දසැඟිලි එකිනෙක පටලවා
ගන්නා අතරේ ඇස් බැම ඔසවා නළල රැලි නැංවූ බැල්මකින් මා මත නතර විය.
“සියපත්ගෙ කලබල ටිකක් අඩු වෙනකල් මං හිටියෙ. අම්මත් එක්ක කතා
කරන්න”
ඒ වෙලාවේ මගේ ඇස් පෙති බිමට හැරුණේ සිය සිය දහසක් හැඟුමන් හද
තුළ තෙරපෙන්නට ගත් බැවිනි. එහි ආශාවක් ද දුකක් ද ලෝභ කමක් ද ලැජ්ජාවක්
ද කියා වෙන් කොට හැඳින ගත නො හැකි හැඟීම් ප්‍රවාහයක් ම විය. විහාර ගේ
අතක් මගේ හිස මත පතිත වූයේ ඒ අධි පීඩන කලාපය අතරේ ය. මම හෙමිහිට
නෙතු ඔසවා බැලීමි.
“දැංවත් මට මේ ජීවිතේ විඳින්න ඕනෙ. ගෙවිල ගියේ අපරාදෙ කියල හිතෙන
කාලය ගැන සෆර් කරල තේරුමක් නෑ. ඉතුරු වෙලා තියන හැම තත්පරේකම ඔයා
ඉන්නයි ඕනෙ. ඔයා ගැන මතක පැටලෙන්නයි ඕනෙ. ඔයත් එක්කම හුස්ම ගන්නයි
ඕනෙ. ආදරයක් දැනෙන්නැති තැනකයි…තනිකම සාපයක් කියල හිතෙන තැනකයි
අවුරුදු ගාණක් වේස්ට් වෙලා ගියාට පස්සෙ…ඉතුරු වෙලා තියන ජීවිතේ හොඳටම මදි
කියල හිතෙන එක නතර කර ගන්න අමාරුයි ශික්ෂා”
එදා අප මුළුතැන්ගෙයි කෑම පිසිමින් සිටියදී නංගී සියපත් ව දෝතින් ගෙන විත්
මට පෑවා ය.
“මෙයාව ටිකක් තියා ගන්නකො අක්කෙ. මං බාජන ටික හෝදල දාන්න”
මා සියපත් ව සිප ගනිමින් මගේ දෑතට ගතිමි. කිති ගැන්වී ඔහු හයියෙන්
සිනහ වූයේ ය.
“දැං ඉතිං ඕව තනියම කර ගන්න පුරුදු වෙන්නවෙයි ගෑනු ළමයින්ට. අක්කව
මං අපේ ගෙදර අරං යන්න හදන්නෙ”
විහාර එහෙම කීවා ද? මට දැනුණේ ඈත දුර ඈත මන්දාකිනියක සිට කවුදෝ
එහෙම කීවා වාගේ ය. මොහොතකට මුළු විශ්වය ම නිහඬ වෙන්නට ඇත. ඒ නිහඬ
විරාමය කන් දෙක අගුළු වැට්ටීමට ආසන්නයි වාගේ දැනෙමින් තිබියදී අම්මා පිහිය
පැන්ට්‍රි මේසය මත තබන හඬ නැගිණ. මා ඇදෙස බැලුවේ අසීරුවෙන් වාගේ ය.

ලැජ්ජාශීලී බවක් මගේ සිරුරේ රුධිර ධාතුව හිරිවට්ටා තිබූ සෙයකි. සියපත් අතින්
ගිලිහේවියි බියෙන් මම ඔහු තදින් අල්වා ගතිමි. අම්මා ගේ ඇස් මත්තේ ප්‍රහර්ෂයක්
විය. ඒත් එක්ක ම ඉකියකුත් පැටලී තිබුණා වාගේ ය. ඇගේ තොල් කොනක් වෙව්ලා
ගියේ ය. මුහුණේ මස් පිඬක් ගැස්සිණි. මට අම්මා බදා ගෙන හඬන්නට ඕනේ වාගේ
දැනුණ ද සියපත් අතේ වන නිසා එසේ කළ හැකි නොවිණි. විහාර මේ ගැන අම්මා
එක්ක කතා කරන්නට නියමිත බව දැන සිටිය ද එය කොයි විදිහට කවර වෙලාවක
සිදු වනු ඇත්දැයි මා දැන සිටියේ නැත. මේ විදිහට හදිසියේ ඔහු එය ප්‍රකාශ කරාවියි
මා කොහෙත් ම සිතා තිබුණේ නැත.
පිහිය මේසය මත තැබූ අම්මා හැරී අඩියක් දෙකක් තබා විහාර වෙතට ආවා
ය.
“පුතා..”
සිහින් වූ ඇගේ ඇස් වල ප්‍රශ්නාර්ථය විය.
“අම්මෙ…මං…කියන්නම තමයි හිටියෙ. ඒත් පහුගිය ටිකේ සියපත් ගෙ වැඩත්
එක්ක කලබල වැඩිනෙ. ඒකයි ඒ ගැන කතා කරන එක පස්සට තිබ්බෙ. අම්ම
අකමැති නෑ නේද එහෙම වෙනවට…”
සිනහවකින් ම අම්මා උරහිස ඔසවා ඇසක තෙත මාත්තු කළා ය. මට කෑ
ගසා හඬන්නට ඕනා විය. නමුදු ඒ ඉකිය උගුරේ හිර වී තිබිණි.
“මට පුළුවන් හැටියට මං එයාව බලා ගත්ත මෙච්චර කල්. ඉස්සරහට එයාව
බලාගන්න ඔයා ඉන්නව කියල දැන ගත්ත එක තමයි පුතා මේ ජීවිතේ මට අරං ආපු
ලස්සනම ආරංචිය. බඳින්නෑ කවදාවත් අම්මව බලං ඉන්නව කියද්දි මං පිච්චුණ තරම
මං විතරයි දන්නෙ. අම්ම කෙනෙක්ට තියන ලොකුම සැනසීම දුවව ගෙදරදි වගේම
සතුටෙන් තියන්න පුළුවන් පුතෙක්ට බාර දෙන එක. නූරි ට වුණ දේ නිසා මං තව
විදිහක ගින්දරක හිටියෙ. ඔන්නොහෙ දරුව මං ළඟම හිටපුදෙන් කියල හිතුණ
වෙලාවල් තිබුණ. දැන් මට බයක් නෑ. අද මැරුණත්…හිතට බරකට තියෙන්නෙ
මෙන්න මේ කෙල්ල විතරයි. එයාවත් ඕගොල්ලො අත්අරින්නෑ කියල මං දන්නව.
මෙන්න මේ රත්තරං කෑල්ල ලොකු වෙනකල් අපි උදව් කරන්න ඕනෙ ඔසඳිට.
හැමෝම කියනව සියපත් ආනන්ද වගේ කියල. එතකොට මගෙ පපුව පැලෙන්න
එනව. හැම දේම මෙහෙම වුණ එක මට සතුටක්. පුතා ළඟ මගෙ හුස්ම ටික
තියනව කියන්නෙ…මං..මං…”
අම්මාට කියා ගත හැකි වූයේ එපමණකි. ඇයට ඉකි ගැසී හැඬිණි. විහාර
අම්මා ව සිය පපුවෙහි හොවා ගත්තේ ය.
“අඬන්නෙ ඇයි ඉතිං…අපි ඔක්කොමල හිනා වෙලා ඉන්නයි ඕනෙ අම්මෙ…”
ඔහු ඇගේ හිස පිරිමැද්දේ ය. මගේ කඳුළු වලින් සියපත් දෝවනය වෙමින්
සිටියේ ය. ඔහු සිය බෝල ඇස් කරකවමින් ද කට හදමින් ද මදෙස බැලී ද හැඬුවේ
නැත. මම තදින් අපේ සියපත පපුවට තුරුලු කොට ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles