fbpx

සඳක් කළ සක්මන් -01

දහසක් බුදුවරුන් බුදු වෙන පිනි බර හිමිදිරි පාන්දර නංගී දිය නෑවා ය. ඇය සීතලෙන් වෙව්ලත්දී  අම්මා අලුත් පැන් කළය නංගි ගේ හිස මත්තේ වත් කොට එය බිඳ දැමුවා ය.  මල්වර නැකතින් දිය නාන්නට ආච්චම්මා ගේ පරණ ජෝජට් සාරියක් වට කොට තැනූ, අපේ ළමා වියේ සෙල්ලම් ගෙයක් සිහිපත් කරන නාන ගෙයි පසෙක සිට වූ කොස් අත්තට කැත්තෙන් කොටත්දී, නංගි ගේ අත් වෙව්ලනු මම දුටිමි. ඇය සීතලයෙන් කට කට ගා වෙව්ලමින් සිටියා ය. පොඩි එකී පව් කියා මට සිතිණ.

සුදු ගවොමක් ඇන්ද වූ නංගී ව, ආච්චම්මා සිල් ගත්දී අඳින සුදු රෙද්දකින් හිස සිට පොරවා ගෙන අම්මා ඇගේ අතක් ගෙන පිළිකන්න පැත්තෙන් ඉස්සරහා ට කැටි ව ආවා ය. පඩිය උඩ තිබුණ මන්නා පිහිය ගන්නට අමුතුවෙන් ඇය ට කිව යුතු වූයේ නැත. නංගී මේ මල්වර චාරිත්‍ර සියල්ල ගැන දැන උන්නා ය. ඇගේ මල්වරය මෙතරම් පමා කිම් දැයි ඇය ඇඟිලි ගණිමින් ද සිටියා ය.

සීතල අමතක කළ නංගී දෑතට විරිය ගෙන මන්නා පිහියෙන් පොල් ගෙඩියට ගැහුවා ය. එය කුඩා කැබලිති වලට කුඩු පට්ටම් වී ගියේ ය!

ආච්චම්මා ගේ මූණේ හොඳක් වූයේ නැත. 

නංගී අත් පොඩි තලා පහන් නිවා, හිස වසා උන් සුදු රෙද්ද ඉවත් කළා ය. ඈ වෙනදාටත් වඩා බෙහෙවින් ලස්සන ට මට පෙනිණ.

“කෙල්ලගෙ මල්වර නැකත එච්චර හොඳ නැති බව මතක තියා ගනිං සුමියෝ…නැකැත් ගුරුන්නාන්සෙ මේ ගම් තුලානෙ එක කෙල්ලෙකුටවත් කියපු මල්වර ගුණ දොස් වැරදිලා නෑ. පොඩි එකීව ඇස් දෙකේ තියං රැකහං. ඇස් දෙකේ. වෙනනං උඹට කොරන්න දෙයක් නැති වෙයි”

නැකත් හෝ නක්ෂත්‍රය ගැන තක්කෙට ම කියන්නට තරම් ආච්චම්මා ප්‍රගුණ කළ විද්‍යාව කුමක් දැයි මම සිතුවෙමි. විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටින මා තුළ, එහෙව් විද්‍යාවන් පිළිබඳව ඒ හැටි විශ්වාසයක් වූයේ නැත. පරීක්ෂණයන් ට බඳුන් කොට, නිරීක්ෂණයෙන් නිගමනයන්ට පැමිණිය හැකි දේ පමණක් මා උගන්නා විද්‍යාවට අනුව සත්‍යය වන්නේ ය. නමුත් එකී විද්‍යාවට  හසු නො වෙන අපමණක් දෑ මේ විශ්වයෙහි පවතින්නට ද පුළුවන!

ඒ කෙසේ වෙතත් නංගි ගේ මල්වර නැකතෙහි කියැවුණ දොස් මත ඇගේ අනාගතය අඳුරු වෙතැයි සිතන්නට මට ඕනෑ වුණේ නැත.

තාත්තා ට ලොකු මල්වර මඟුලක් කන්නට ඕනෑ වුණේ ය. 

“ලොක්කිගෙ එක කරන්නත් බැරි වුණ එකේ මේකත් නිකංම යන්න ඇරල කොහොමද…කාට කාටත් බත් කටක් කාල යන්න එන්න කියන්න ඕනෙ”

නංගී මල්වර වූ බව දැන ගත් ගමන් ඔහු කීවේ එසේ ය.

“කොහෙ තියෙන සල්ලිද ඕව කරන්න…”

අම්මා නෝක්කාඩුවක් හැඟවූවා ය. නමුත් ඇගේ යටි හිතේ වූයේ ජයට ම මගුල් කෑමේ ආශාව බව මම දන්නෙමි. 

“අතේ නැතත් රටේ තියෙනවනෙ සල්ලි”

තාත්තා ගෙයින්  පිට වූයේ එහෙම කියමිනි. අම්මා ගේ ඉහේ මල් පිපිණි. අම්මා කෙනෙකු වශයෙන් එහෙව් සතුටක් ඇයට නො දැනුණා නම් පුදුම විය යුතු ය. ඒ, අම්මා ද අනෙත් බොහෝ සාමාන්‍ය ස්ත්‍රීන් සේ ම හිතන ගැහැනියක වන නිසා ය.

දැරියක මල්වර වීම වූ කලී රටේ තොටේ මිනිසුන් ට දැනුම් දී කා බී විනෝද වන්නට හේතුවක් ද?  එවන් සාදයකින් ප්‍රකාශ වෙන්නේ කුමක් දැයි සිතන්නට මම උත්සාහ කළෙමි. දැන් අපටත් දරුවන් බිහි කළ හැකි සේ ශරීර අවයව සහිත දියණියක හිඳී. කැමති කෙනෙක් සිටිත් නම් පැමිණ ඇය ගැන අපෙන් විමසපල්ලා යන්න ද?

සිදු විය යුත්තේ ඇගේ ශරීරයෙහි දැන් සිදු ව පවත්නා වෙනස ගැන අවබෝධයක් ලබා දී, අනාගතයේ දී එළඹිය හැකි අනේකාකාර අපයෝජනයන් ගෙන් වැළකී සිටිත හැකි ආකාරයන් ගැන ඈ දැනුවත් කිරීම නො වන්නේ ද?

මට හිතෙන දෑ ගැන කතා කරන්නට යාමෙන් පලක් නැත. තාත්තා ගේ පැවැත්ම කොහොමටත් මට රුස්සන්නේ නැත. ස්ත්‍රියක වශයෙන් අම්මා තාත්තා ට විරුද්ධ නොවී, දියණියන් දෙදෙනෙකු සිටින අම්මා කෙනෙකු වශයෙන් ඒ දියණියන් ගේ පියා ගේ චර්යාව වෙනස් කර ගන්නට උනන්දු නොවී, ඇල් මැරුණු වතුර සේ ඔහේ හිඳීම සියල්ලට වඩා මට රුස්සන්නේ නැත. මේ නිසා ම ඔවුන් සමග කෙරෙන කතා බහක් කෙළවර වන්නේ වචන හරඹයකිනි.

“අනේ උඹ ඉතිං මහ ලොකු උගතානෙ. උඹ තමයි ඔක්කොම දන්නෙ”

එහෙව් කතාවක කෙළවර නියත වශයෙන් ම තාත්තා එසේ පවසන්නේ ය. මගේ මව හා පියා අභියස උගතෙකු සේ පෙන්වන්නට මට උවමනා නැත. මා හැම විට ම උත්සාහ කළේ අපේ ගෙදර තිබෙන්නා වූ පසුබිම වෙනස් කර ගන්නට ය. අම්මා ට කරන්නට හයියක් නැති දේ මට හෝ කළ හැකි ද කියා බලන්නට ය. මගේ අදහස ඔවුන් වෙතට සම්ප්‍රේෂණය කළ හැකි ද කියා බලන්නට ය. නමුත් තවමත් මගේ උත්සාහයන් සාර්ථක වී නැත. 

“තමුසෙ ගිහිං නෑදෑයන්ටයි ගමේ කට්ටියටයි ඔක්කොටම මගුල් ගේ මතක් කරනවකො. මටත් ඉන්නව යාළුවො පණහක් විතර ඈ…”

එදා රාත්‍රියේ බත් පත හිස් කරන ගමන් තාත්තා කීවේ ය. අම්මා ගේ තොල් කොනක් සිනහවකට ඇද වෙන හැටි මම දුටිමි. මේ කරන්නට යන දේ ට එරෙහි ව කතා කළා ට පලක් නොවන බව මම දැන සිටියෙමි. මගේ මල්වරය නිමිත්තෙන් මඟුලක් නොකෑ ඊර්ෂ්‍යාව මත මා එසේ කියනවා යි එතකොට නංගී වුව සිතන්නට පුළුවන. ඒ නිසා මම කර බා ගෙන සිටියෙමි.

තාත්තා මුදල් සපයා ගත්තේ කෙසේ දැයි මා දන්නේ නැත.

“හම්බ වෙන සල්ලි වලින් ණය කවර් කරන්න පුළුවන්”

තාත්තා අම්මා ට කියනවා නම් මට ඇසිණි.

කෙසේ වෙතත් එදා දවල් කෑමට බෝ පිරිසක් අපේ ගෙදරට පැමිණ සිටියහ. ගෙයක් කීවාට අපට තිබෙන්නේ ගෙයක් නොවේ. ඒ කාමරයක් හා කුස්සි කෑල්ලක් පමණකි. ඒ එක කාමරය තුළ වැඩිවිය පත් දියණියන් දෙදෙනෙකු ද සමගින් අඹු සැමි යුවළක් ද ජීවත් විය යුතු ය. 

ගෙදර ට වන්නේ එක් කබල් ඇඳකි. මතක කාලයක ඒ මත නිදන්නේ මා හා නංගී ය. ඒ ඇඳ මුවහ වන ලෙස පරණ අල්මාරිය තබා තිබේ. අම්මා ත් තාත්තා ත් එතැන බිම නිදති. ආච්චම්මා පැමිණි කල ඇය නිදන්නේ කුස්සි කෑල්ලේ බූරු ඇඳ තබා ගෙන ය.

ඒ වගේ ගෙදරක දියණියක ගේ මල්වර වීමක් නිමිත්තෙන් ගමකට මගුල් කීම මට නම් විහිළුවක් සේ දැනිණ. ඒ මුළු ගමට ම අප විහිළු සපයන්නන් සේ නො පෙනෙනු ඇත්ද?

තාත්තා ගේ මිතුරු සමාගමය ම නංගිගේ මල්වර මගුල් ගෙදරට පැමිණ සිටියහ. එහි සියලු වැඩ කටයුතු නිදි වරා ගෙන කරන ලද්දේ ඔවුන් විසිනි. තාත්තා ට සියලු ආකාරයේ මිතුරන් සිටින බව මම දනිමි. ආහාර පිසුවේත් ඔහු ගේ මිතුරු කෝකියෙකි. අනිත් අය අත් උදව් දුන්හ.

ඒ වැඩ සියල්ල නො මිලයේ කෙරෙන්නට සැපයිය යුතු දේ ද තිබේ. එනම් මත් පැන් හා මත් ද්‍රව්‍ය ය.

“උඹේ මිනිහට කියහං ඔක්කොටම ඉස්සෙල්ල ගංජා පැකට් එක දිග ඇර ගන්න එපයි කියල”

ආච්චම්මා කල් ඇති ව ම අම්මා ට කියනු මා අසා ගෙන ය. ඇය සිහින් ව හිනැහුණා ය. මගේ සිතේ ඉසිහින් කේන්තියක් මෝදු විය. අම්මා කරන්නට දන්නේ එපමණකි. බිරිඳක වශයෙන් ඇය ඊට වඩා තාත්තා ගේ චර්යාවන් කෙරේ තදින් සිටියා නම්, ඔහු ගේ වැරදි මුලදී ම හදා ගන්නට නො තිබිණි ද?

“අම්මගෙ පුතානෙ ඉතිං. අම්මම ඕක කිව්වනං ඉවරයිනෙ”

අම්මා සිනහ වෙවී ම ආච්චම්මා ට කීවා ය. ආච්චම්මා උදහස් වූයේ එවිටයි. 

“මං අම්ම වුණාට උඹනෙ බොල ගෑනි. ඇයි උඹට කියන්න බැරි…උන්දට කියහං දැං මේ ගෙදර ඉන්නෙ ළමිස්සියො දෙන්නෙක්ය කියල. එයාට ඉලන්දාරියෙක් වගේ වැඩ කරන්න පුළුවන් කමක් නැතය කියපං”

ආච්චම්මා කියන්නේ ඇත්ත ය. තාත්තා ජීවත් වන්නේ ඔහු ගේ වයස ගැන අමතක කොට ද කියා මටත් සිතී ඇති වාර අනන්ත ය. ඔහු ගේ මිත්‍ර සමාගමය සියලු වයස් ඛාණ්ඩ නියෝජනය කරයි. මට වඩා වයසින් අඩු පිරිමි ළමයි ද තාත්තා ට අයියේ කියා ගෙන යාළුකම් පවත්වති. තාත්තා ද ඔවුන් ට මචං කියා ගෙන හැන්දෑවට ගෙදරට ගාල් කර ගෙන ගංජා ගසයි. ගංජා පමණකුදු නොවේ. අයිස්, හෙරොයින්, කොකේන්, මරිජුවානා, කංසා වැනි තවත් බොහෝ මත් ද්‍රව්‍ය වල නම් කුඩා සා වියේ පටන් මට ඇසී තිබෙන්නේ තාත්තා ඇතුළු සගයන් ගෙනි.

මත් පැන් වලින් සප්පායම් වන වෙන ම මිතුරු පිරිසක් ද ඔහු ට සිටිති. හැන්දෑවට ගෙදර මිදුලේ ඔවුන් එක් වූ පසු ඒ පැත්තෙන් හමන සුළඟක් හෝ හුස්ම ගන්නට බැරි තරම් අප්‍රසන්න ය. ඒ සුළඟේ මත් පැන් වල දුගඳ සේ ම සිගරට් දුමෙහි සැර දුගඳ ද වන්නේ ය.

තාත්තා ගේ රැකියාව ත්‍රීරෝද රථ රියැදුරෙකු ලෙස කටයුතු කිරීමයි. නමුත් ඔහු දිනකට කෙතරම් කුළී ගමන් ප්‍රමාණයක් යනවා දැයි අපි නො දනිමු. ඒ තරමට ඔහු ට මිතුරන් ගේ වැඩ ය. යන තරමක් යන්නේ මිතුරු හයර් ය. ඒවාට මුදල් ලැබුණා හෝ නැතා හෝ තාත්තා ඒ හැටි ගණන් ගත්තා යි නො සිතමි. ඒ සියල්ල විඳ ගන්නට වූයේ අපට ය. 

කුඩා කල පටන් අද අද වන තුරාවට අප කුස ගින්නේ සිටි වේල් ගණන, කිසිවෙකු හට කීවාට නො පිළිගන්නා තරම ය. නමුත් තාත්තා අනිවාර්යයෙන් දිනකට දුම් වැටි දහ – පහළොවක් දවයි. ගංජා යනු නීති විරෝධී මත් ද්‍රව්‍යයක් බව ද, ඒවා යේ මිල අධික බව ද මා දැන සිටියේ පැටි වියේ පටන් ම ය. නමුත් තාත්තා හැම හවසක ම වාගේ මිත්‍ර සමාගමය සමග ගංජා උරන බව නො රහසකි.

පොතක් ඉවර වූ පසු අලුත් පොතක් ගන්නට බැරි ව ළතැවුණ, ඇතැම් විට හැඬූ දවස් අපමණ මට තිබිණ. යමක් කමක් තේරෙන්නට ගනිත්දී මම ගේ ඇතුළේ අරගල කරන්නට පටන් ගතිමි. අප ට පොතක් ගෙන දෙන්නට මුදල් නැති නම් තාත්තා ඔය හැටි සිගරට් බොන්නේ කෙසේ දැයි කෑ ගැසුවෙමි. තාත්තා ට මා පෙනෙන්නට බැරිව ගියේ ඔහු ට මා පෙන්වූ විරෝධයට ප්‍රතික්‍රියා වශයෙනි. සෑම ක්‍රියාවකට ම ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇති බව නිව්ටන් ගේ නියමයක් ලෙස ඉගෙන ගත්දී,මට එය සාමාන්‍ය දෙයක් ලෙස භාර ගත හැකි විය.

 මා ව නො රිස්සූ තරමට ම තාත්තා නංගී ට ආදරය කළේ ය. ඇය ව හුරතල් කළේ ය. නංගී ඒ ගැන ආඩම්බර වූවා ය.  නංගි ගේ මල්වර මංගල්ලය, රටට ණය වී හෝ  ඉහලින් ම ගන්නට තාත්තා ට ඕනෑ වුයේ ත් ඔහු ඇය ට පෑ ආදරය නිසා විය හැක.

ගැහැනු ළමයෙකු ගේ ශරීරයෙහි සිදු වූ අතිශය පෞද්ගලික හෝමෝනමය වෙනස්කමක් සමරනු වස් ඒ තරම් පිරිමින් ප්‍රමාණයක් අවශ්‍ය දැයි මට සිතෙන්නට වූයේ, අපේ මිදුලේ රැස් ව සිටි තාත්තා ගේ මිතුරු පිරිවර සේනාව දුටු විට ය. මම නම් ඔවුන් පේන මානයකට හෝ නො ගොස් ගෙතුළට වී සිටියෙමි.

“ලොකු වෙලා ඉන්නෙ පොඩ්ඩි නෙවෙයි හරියට ලොක්කි වගෙයිනෙ”

අහල පහල අය පවා ඇවිත් මා ගැන එසේ විපරම් කළේ, වැඩි පුර මා එළි පෙහෙළියෙහි දක්නට නො ලැබුණ නිසා විය හැක. කොහොමටත් අසල් වැසියන් අතරේ “පූජා ආඩම්බරයි” යන කතාව පැතිරී තිබුණේ ය. 

“එයා ඉතිං අඟල් දෙක තුනක් උඩිං ඇවිදින ගෑනිනෙ”

මට ඇහෙන්නටමත් ගමේ කාන්තාවක් එසේ කියා තිබේ. ඒ මා උසස් පෙළට පන්ති ගොස් එමින් සිටි දවසක ය. මම ඇදෙස බලා යන්තම් තොල් ඇල කර පෑ සිනහවකින් බිම බලා ගතිමි.

“ඉන්න හිටින්න තියෙන්නෙ පැල් කොටයක්. තාත්තා ත්‍රීවීල් කාරය. ඒකට මොකද පූජා ඔච්චර සයිස් එකකිං ඉන්නෙ ශිෂ්‍යත්වෙ පාස් වෙලා කොළඹ ඉස්කෝලෙකට ගිය නිසා වෙන්න ඇති”

මා ඔවුන් පසු කර යත්දී ඔවුන් එසේ කතා වන්නටත් ඇත.

ආඩම්බර වෙන්නට තරම් මට ඇති දෙයක් නොවන බව මම දනිමි. අපේ පවුල් පසුබිම ගැන නො දන්නා කෙනෙක් නැත.  රූප සුන්දරියක බඳු කඩා හැලෙන ලස්සනක් මට ඇත්තේ ද නැත. එහෙම එකේ මොකට අහංකාර වෙන්න ද?සත්තකට මා ආඩම්බර කම් පෙන්වූවා නොවේ. ඒ මගේ ස්වභාවය කියා මම සිතමි. ගමේ අනිත් බොහෝ දැරියන් සේ මා ගෙවල් ගානේ මිතුරියන් සොයා ගියේ නැත. ගෙට වි පොතක් කියවා ගතිමි. වෙනත් බොහෝ යුවතියන් සේ පිරිමි ළමයින් සමග මුකුළු පාන්නට ගියේත් නැත. ඒ ගැන උනන්දුවක් කවදත් මට නොවිණි. ඒ හැරෙන්නට වෙන මා දන්නා ආඩම්බර කමක් ද නැතත්, ඔවුන් කැමති පරිදි සිතා ගන්නට හැර මම මගේ පාඩුවේ සිටියෙමි.

“එන්න එන්න. යමු ඇතුළට…ඉඳගන්න…”

අම්මා එසේ කියමින්, වඩාත් ගෞරවයෙන් යුතු ව කිසිවෙකු ගෙතුළට කැඳවන හඬ ඇසුණේ ය. මම කුස්සියට වී සවන් පෑවෙමි.

“ඉඳගන්න. අපේ ගෙවල්නං ඉතිං මෙහෙම තමයි. ආපු එකත් අපිට ලොකු සතුටක්”

ඇවිත් ඉන්නේ කවුදැයි බලා ගන්නට මට ඕනෑ විය. නමුත් බෙල්ල දැම්මොත් ඇවිත් ඉන්න කෙනාට මා පෙනෙන්නේ ම ය.

“කෝ ලොකු දුව…”

ඒ කාන්තා හඬකි. ඒ කවුදැයි අනුමාන කර ගන්නට මට ඕනෑ විය.

“ඇති. ඉන්නකො මං කතා කරන්න. ලොක්කී…ලොක්කී…පූජා…”

අම්මා අමතනු ඇසීත් මම තත්පර කිහිපයක් නිහඬ ව සිටියෙමි. අම්මා කුස්සියට ආවේ ඉනික්බිති ය.

“ලොකු පුතේ එන්නකො. අර මැඩම්ල ඇවිත්”

අම්මා මගේ අතකින් ද අල්ලා ගෙන චාටු හිනාවක් මවෙත පාමින් බැගෑපත් වූයේ මා ඇය ව ප්‍රතික්ෂේප කරතැයි බියෙනි.

Mini Stories

වෙනස

ළපෙති මල්

ළපෙති මල් -33

Mini Stories

පසුතැවීම

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 31 වන කොටස

Mini Stories

මතක අහුරු

ළපෙති මල්

ළපෙති මල් – 32

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

“කවුද…”

“අලුත් ගෙදර…”

මා උඩ ගොස් බිම වැටුණා සේ ය. අම්මා ඔවුන් ටත් මගුල් කීවා ද? අපේ ගිනි පෙට්ටියකටත් අන්ත ගෙට යාබද ව අලුතෙන් ඉදි වූයේ තෙමහල් මැදුරකි. ඒ ගෙදර මතු මහල් වල හිඳ බලනා කෙනෙකු ට අපේ නරකාදිය මැනවින් දැක ගත හැකි ය. අම්මා ඔය මැඩම් කියා හැඳින්වූ මැදි වියෙහි කාන්තාව ප්‍රසන්න තැනැත්තියකි. ඇය දෙතුන් දිනක් ම මතු මහලෙහි සිට මට සිනහ වී තිබේ. මම ඉක්මන් සිනහවකින් බිම බලා ගතිමි. සැබවින් අපේ ජීවිත වල කුරු කුහුඹු බව ඔවුන් ගේ මතු මහල් තල වල සිට බලත්දී කෙසේ පෙනෙනවා ඇත්දැයි ලැජ්ජාවක් එහැම විටෙක ම මට දැනී තිබේ.

අම්මා මගේ අතින් ඇද ගෙන වාගේ ඉස්සරහා කෑල්ලට ආවා ය. දෙවෙනි වරට මා උස්සා පොළොවේ ගැසුවා සේ වූයේ ඔවුන් ගේ මුළු පවුල ම අපේ කුඩා කාමර කැබැල්ලෙහි තබා තිබූ, කුළියට ගත් ප්ලාස්ටික් පුටු තුනක අසුන් ගෙන සිටිනවා දකිත්දී ය. මට සිනහ වී ඇති කාන්තාවත්, ඇගේ සැමියා යයි සිතිය හැකි මහත දෙහෙත ව්‍යාපාරික පෙනුමක් ඇති පුරුෂයා ත්, කිහිප වතාවක් ම මතු මහලේ සිට අපේ ගේ දෙස බලනවා මා දැක ඇති, දුටු තැන මා ඉවත බලා ඇති, පෙර කී යුවළ ගේ පුත්‍රයා යි සිතිය හැකි යෞවනයාත් යන තිදෙනා ගේ ම ඇස් මවෙත යොමු වී තිබිණ.මම පොදු සිනහවකින් බිම බලා ගෙන එකී කාන්තාව ළඟ සිට ගතිමි.

“කොහොමද දුව…”

ඇය මගේ අතකින් අල්ලා කතා කළා ය. 

“හොඳයි…”

මගේ හඬ මට ම හැඳින ගත නො හැකි තරමින් අහිංසක විය. අහිංසක කමක් සේ ඒ ප්‍රකාශ වූයේ අසරණ කම විය නො හැකි ද? අර විසල් මාළිගයේ වසන්නෝ මතු මහළින් බැස අපේ ගුබ්බෑයමට විත් ප්ලාස්ටික් පුටු තුනක අසුන් ගෙන සිටිති. එතැන් හි දී මගේ අසරණකම මට ම දරා ගත නො හැකි තරමින් ප්‍රබල ව නැගී මා යට කර ගනිමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x