දරුවන් සමඟ සිඟමනේ යෙදීම නීති විරෝධී ද?

වීදි දරුවන් කියන්නේ වර්තමානයේ සුලබ දර්ශනයක්.නමුත් මෙය දරුවන්ට යහපතක් වෙන දෙයක් නම් නෙවෙයි.වීදි දරුවන් සම්බන්ධ නීති සහ ඒ ගැන අද අපි කතා කරන්න හිතුවා.ළමාරක්ෂක අධිකාරියේ චන්දිමා දුනුවිල මහත්මියගෙන් අපි ඒ ගැන විමසුවා

දරුවන් රැකියාවක යෙදවීම සම්බන්ධයෙන් සහ සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් තියන නීති මොනවද?

දරුවන් සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ වෙනම නීතියක් තියනවා.දණ්ඩ සංග්‍රහයේ 288/1 වගන්තියේ කියැවෙන පරිදි “දරුවන් යොදාගෙන සිඟාකෑම අපරාධමය වරදක්” වීදියක් හෝ ප්‍රසිද්ධ ස්ථානයක දරුවන් යොදා ගෙන හිඟා කෑම,සින්දු කීම,ක්‍රීඩා කිරීම,රංගනයේ යෙදවීම ආදිය වරදක් බවයි කියවෙන්නේ.

ඒ සම්බන්ධයෙන් ලැබෙන දඬුවම මොකක්ද?

අවුරුදු පහකට නොවැඩි කාලයක් සිරගත කරන්න පුළුවන්. ඇටවිය නොහැකි වරදක් නිසා වරෙන්තු රහිතව වීදි දරුවන් සිඟමනේ යොදවන පුද්ගලයාව අත්අඩංගුවට ගන්නට පුළුවන්.

දෙමාපියෙකුට හෝ කිසිම කෙනෙකු සිඟමනේ යෙදෙනකොට තමා සමඟ දරුවන්ව රඳවා තබා ගන්න පුළුවන්ද?

කාටවත්ම එයට හැකියාවක් නෑ.

එවැන්නක් සිදු වෙද්දී අපි දැනුවත් කරන්න ඕනෑ කාවද?

ජාතික ළමාරක්ෂක අධිකාරිය එවැනි පැමිණිලි බාර ගන්නවා.ඊට අමතරව පොලිස් ස්ථානයකට හෝ ළමා හා කාන්තා කාර්යංශයට  එවැනි පැමිණිලි කරන්නට පුළුවන්. ජාතික ළමාරක්ෂක අධිකාරියේ 1998 අංක 50 දරන ළමාරක්ෂක පනතේ හතලිස් වෙනි වගන්තියේ කියවෙනවා මොන වගේ ළමා අපචාර සම්බන්ධයෙන් ද ළමා ආරක්ෂක අධිකාරියට මැදිහත් විය හැක්කේ කියලා.මේ වරද එහි කියැවෙනවා.ඒ නිසා 1929 දුරකථන අංකයට අපව අමතා දුටුමතින් දැනුවත් කරන්න.නිර්නාමිකව ඔබට පැමිණිලි කිරීමේ පහසුකම් තියනවා.

දරුවන් තනිව සිඟා කෑමේ අවස්ථාවක ක්‍රියාත්මක විය හැක්කේ කොහොමද?

දරුවන් තනිව ඒ වගේ දේකට යෙදවෙන්නේ නැහැ එහි පිටුපස කවුරුන් හෝ ඉන්නවා.ඒ ගැන සෙවිය යුතු අතර එයද නීත්‍යානුකූල නොවන වරදක්.

ළදරු වියේ පසුවන දරුවන් රැගෙන මව්වරුන් සිඟමනේ යෙදෙන අවස්ථා තිබෙනවා. ඔවුන් ඒ අවස්ථාවල පවසන්නේ දරුවාව දමා දමායන්නට නොහැකි බවක්.මේ වගේ අවස්ථාවල පවතින නීති මොනවද?

මේ අවස්ථාවල ළමයාව යෙදවීමක් සිදුවන්නේ නැති වුණත් දරුවාව රැගෙන ඒම සිදු වෙනවා.ඒත් එයත් වැරදි.එතැන ගැටළු සහගත තත්ව තිබුනත් දරුවාගේ සෞඛ්‍යයට හානි කිරීම හෝ ආරක්ෂාව සම්බන්ධ ගැටලු ගැන නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්.මෙතන ප්‍රධාන වශයෙන් ආර්ථික ගැටළු ඉස්මතු කරන්න පුළුවන්. ජීවත් වෙන්න ක්‍රමයක් නැති වීම තමයි ඔවුන් මතු කරන ප්‍රධානම කාරණාව.ඒ නිසා ඔවුන්ව යාචක තත්ත්වයෙන් මුදවා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමත් වැදගත් වෙනවා.මේ දරුවන් ළමා නිවාස වලට යොමු කරන්නටත් පුළුවන්.සුදුසු පුද්ගල භාරකාරත්වයට පත් කිරීමේ හැකියාව සම්බන්ධයෙනුත් අධිකරණය විමසා බලනවා.ලංකාවේ කැපකරු මාපිය ක්‍රමය ඇති කරන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.එය දැනට ක්‍රියාත්මක වන්නේ නම් නෑ.එවිට දරුවාගේ ආර්ථිකය නගා සිටුවන්නට කැපකාර මාපියන්ට මැදිහත්වීමේ හැකියාව පවතිනවා.

මේවා වළක්වා ගන්නට පුරවැසියන් විදියට අපි මැදිහත් වෙන්න පුළුවන් කොහොමද 

අපි සෑම විටම මහජනතාවට පවසන්නේ මේ වගේ දෙයක් දැක්කහම වහාම අපිව දැනුවත් කරන්න.මේවාට පවසන තරමට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා බොහෝ අය පවසනවා.ළමා රක්ෂණ අධිකාරියට පැමිණෙන්න පැමිණෙන පැමිණිලි ද විමර්ශනය කරන්නේ පොලිස් ස්ථාන මඟින්.සමහර වෙලාවට පොලිස් නිලධාරීන් එතනට යනකොට යාචකයන් එතැන නැති වෙන්නට පුළුවන්.එතකොට අපිට එය අපහසු විමර්ශනයක් වෙන්නට පුළුවන්.නමුත් අපි සියලුම බාධා මැඩ පවත්වමින් ළමයින්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්නටත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්නටත් වගබලා ගන්නවා.ඒ නිසා පැමිණිලි කරන්නට මැළි වෙන්න එපා.

1929 ට ඇමතුමක් දීම,ජාතික ළමාරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට පැමිණ පැමිණිලි කිරිම,ලිපි මඟින් හෝ ncca@childprotectiongov.lk ඊමේල් එකක් එවා දැනුවත් කරන්න. ඔබේ අනන්‍යතාව සම්පූර්ණයෙන් ම සඟවා කළ හැකි නිසා මේ සමාජ වගකීමට දායක වන්න

Related Articles

Don't Miss


Latest Articles