සමාජය පුරා ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය වලින් අපේ දරුවන් ආරක්ෂා කරගන්නේ කෙසේද?

මත්ද්‍රව්‍ය පිළිලයක් වී රටම වෙලා ගන්න කාලයක අපි ජීවත් වෙන්නේ.දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම ඒ අතර ප්‍රධාන ගැටලුවක්. මේ වෙනුවෙන් මව්වරුන්ට වගේම අනාගතයේ මවක් වෙන්න බලාපොරොත්තු වෙන ස්මාර්ට්ලේඩිස්ලාටත් බොහෝ ගැටලු ඇති. රජරට විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන පිලිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු මහතා සමඟ අපි මේ ගැන කතා බහ කරන්න හිතුවා.

මත්ද්‍රව්‍ය කියන්නේ මොනවාද? හොඳ සහ නරක මත්ද්‍රව්‍ය කියලා බෙදා වෙන් කිරීමක් කරන්න පුලුවන් ද?

හොඳ සහ නරක කියලා බෙදා වෙන්කළ යුතු නෑ.මත්ද්‍රව්‍ය කොහොමත් මිනිසාට අහිතකරයි. මේවායේ ඇති ඉතා සුළු සංයුතීන් වෛද්‍ය ක්‍රමවල භාවිතා වෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවේ සමහර ඖෂධ මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කරන්න පුලුවන්. නමුත් ඒ ඉතාම සුළු ප්‍රමාණයක් පමණයි. මත්ද්‍රව්‍ය දිගින් දිගටම ගැනීමෙන් මිනිස්සු ඒවාට ඇබ්බැහි වෙනවා. නමුත් හොඳින් තේරුම් ගත යුතු දේ එක වතාවක් දෙවතාවක් ගත්තට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ නෑ. මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙන්න කාලයක් තිස්සේ නොකඩවා ලබා ගන්න වෙනවා.එවිට ඒ මත්ද්‍රව්‍ය වල ඇති රසායනික ද්‍රව්‍යවලට සිරුර ඇබ්බැහි වෙනවා. එවිට තමා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ බව පැවසෙන්නේ.
මත්ද්‍රව්‍ය හැම එකක්ම වගේ අපේ සිරුරට හානි කරනවා. වෛද්‍ය ක්‍රමයක භාවිතා වෙන පෙති වර්ග වෛද්‍ය ක්‍රමවලත් භාවිතා වෙනවා නම් පාවිච්චි කළාට කමක් නෑ කියා සිතීම පවා වරදක්.

ගංජා සම්බන්ධයෙන් පැතිර ඇති මත වලින් කියවෙන පරිදි ඇත්තටම ගංජා වල ගුණයක් තියෙනවා ද?

ගංජා මත්ද්‍රව්‍යයක් බව ලෝකයේ පිළි අරන් තියෙනවා. සමහර රටවල මෙය තහනමෙන් ඉවත් කර තිබෙනවා තමයි. ඒ ඒ රටවලට අනන්‍ය වූ කාරණා නිසා සිදුවන්නක්. ගංජා නිසා රෝග ඇති වන බව තමයි පිළිගත යුත්තේ.මානසික රෝග ගණනාවක් ඇති වෙනවා. ගංජාවල ඇති ධනාත්මක ලක්ෂන ගැන පර්‍යෙෂණවල නිරත වීම් සිදු වෙනවා තමයි.නමුත් තාම ඔප්පු කිරීමක් වෙලා නෑ. දේශීය වෛද්‍ය විද්‍යාව ගංජා යොදා ගන්න නිසා ආදායම් ඉපයීමට ගංජා වගා කරමු කියන එකත් දේශීය වෛද්‍යවරුන්ගේ අදහසක් නෙවෙයි. ඒකත් වෙළඳ මතයක්. දේශීය වෛද්‍යවරු දුම උරන්න ලබා දෙන්නේ නෑ. විෂහරණය කර ගුලි, කල්ක ආදිය සැකසීමයි ඔවුන් කරන්නේ.
ගංජා ව්‍යාපාරය එක්වරම ලෝකය පුරා අළු ගසා දාලා නැගිටලා තියෙන හේතුව ගැන කතා කරොත්, ලෝකයේ සිගරට් ව්‍යාපාර තව අවුරුදු කිහිපයකින් කඩා වැටෙනවා. භූතානය දැනටමත් දුම්වැටි තහනම් කරලා අවසන්.අවුරුද්දට මිලියන අටක් මැරෙන වෙලඳ භාණ්ඩයක් තව බොහෝ කලක් පවතින්නේ නෑ කොහොමටත්. ඉතින් ගංජා සිගරට් හැදීමේ වෑයමක් ලෙස තමයි මේ හදිසියේ ගංජා ගැන හොඳ කතාන්දර පැතිරෙන්නේ. අබිං, ගංජා වෛද්‍යවරු සහ ඖෂධ වෙනුවෙන් වගා කරන්න උවමනා නෑ. බෙහෙත් වලට අවශ්‍ය ඉතා සුළු ප්‍රමාණ ඔවුන් සපයා ගනීවි.
ලෝකයේ පවතින වෙළඳ රැල්ල මුලින්ම වටහා ගන්න ඕන.නමුත් ලෝකයේ තියන සමහර වෙළඳ රැලි වලට සහ සමාගම්වලට අතිශය හානියක් ලෝකෙට කරන්න පුලුවන්. දුම්කොළ සමාගම් හය,හතයි ලෝකෙටම තියෙන්නේ. නමුත් ඒවගෙන් ලෝකෙටම හානියක් වෙනවා.
මේ වගේ මත්ද්‍රව්‍ය රැලි නිසා ලෝකේ පුරා ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා.රටේ සල්ලි බහුජාතික සමාගම් වලට යනවා.

මත්ද්‍රව්‍ය නිසා පවුලකට බොහෝ හානි වෙනවා.පවුලේ සමගිය බිඳ වැටීම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා කාන්තාවන් පීඩාවට පත් වීම අනන්තයි. මේ දේවල් ගැනත් අපි කතා කරමු.

මත්ද්‍රව්‍ය පාවිච්චි නොකර පීඩාවට පත් වෙන ප්‍රධාන පාර්ශව දෙක තමයි කාන්තාවන් සහ දරුවෝ..ලංකාවේ කාන්තාවන්ගෙන් 95% ට වඩා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නෑ. දරුවොත් එහෙමයි. බීමත් රියදුරෙක් නිසා අනතුරට ලක් වී මිය යන අය පවා අයත් මධ්‍යසාර මරණවලට.. අන්න ඒ වගේ මධ්‍යසාර නිසා හානියට පත් වෙන අය ඕනෑතරම්.
පවුල ගැන කතා කරොත් කොරෝනා සමයේ මධ්‍යසාර නිසා අනතුරු, ගෘහස්ථ හිංසන වගේම ගැටුම් නිසා රෝහල් ගත වුණු අය ශුන්‍ය වුණා. හේතුව ඒ කාලයේ බාර් වහලා තිබ්බේ. මේකෙන් පැහැදිලි වෙනවා මධ්‍යසාර වල කටුක පැත්ත.මධ්‍යසාර නිසා කොපමණ අනතුරු සහ ජීවිත හානි වෙනවද කියලා පැහැදිලි වෙනවා. මේ අයගේ මානව අයිතීන් රැක දීම අපේ යුතුකමක්.

දැන් කාන්තාවන් අතර මතයක් තියනවා සහකාරයා බියර් චුට්ටක් නම් බිව්වට කමක් නෑ කියලා. මේ මතය ගැන ඔබතුමා හිතන්නේ මොකක්ද?

ඇත්තටම මේවා කාන්තාවන් හිතනවා නෙවෙයි පවතින වෙළඳ ක්‍රමය ඔලුවට දමන ඒවා. ෆේස්බුක් වැනි සමාජ ජාලත් මේවාට උදව් කරනවා. මේවා කරන්නේ මත්පැන් සමාගම්.තරුණ ප්‍රජාව ඉලක්ක කරලා සිදුකරන මාකටිං වල උපක්‍රම මේවා. දැන් අගනුවර සහ තදාසන්න ප්‍රදේශවල බාලිකා පාසල්වලට පවා මත්ද්‍රව්‍ය උන්මාදයක් පැතිරයනවා..මේවා ඔලුවට වැටෙන්න සමාජයේ හැසිරීම් හේතු වෙනවා. කොල්ලො කෙල්ලෝ බේදයක් නැතුව බොන්න ප්‍රධාන හේතුව ඒකයි. තරුණ ප්‍රජාව ඉලක්ක කරගත් ඒ දේවල් ගැන හොඳ විශ්ලේෂණයක් කරොත් මේවා සමාගම් විසින්ම කළ බව අවබෝධ කරගැනීම අපහසු නෑ.

පාසල් ආශ්‍රිතව කූට ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු වෙනවා නේද? මේවා ගැන කතාබහ නොකිරීම ගොඩක් මව්වරු අතින් වෙන වරදක්. ඒ ගැන කතා කිරීම සහ දරුවා මේ ගැන දැනුවත් කිරීම කරන්නෙ කොහොමද?

ඇත්තටම දරුවාට සමීප වීම හරිම වැදගත්. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පසු දරුවාට සමීප වීම නම් අසීරුයි. මේ දේවල් ගැන විවෘතව කතා කිරීම හරි වැදගත්. රූපවාහිනියේ මත්ද්‍රව්‍ය ප්‍රචාරණ දැන්වීමක් දැක්කම මේ ගැන දරුවෝ එක්ක කතා කරන්න. ඒ ඉතා මෝඩ වැඩ බව පහදලා දෙන්න.ඔබ දරුවන්ට සමීප වුණාම කවුරුහරි දරුවාව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරගන්න හැදුවොත් දරුවා අනිවාර්යයෙන් ඒ ගැන ඔබට කියයි.
අනිත් කාරණය දරුවාගේ පෞරුෂය සකසන්න. එපා කියලා ප්‍රතික්ෂේප කරන්න, රැල්ලට නොයා ඉන්න දරුවා සකස් වෙන්නේ එතකොට.

පාටියකට ගිහින් නොබී කොන්ද කෙලින් තියාගෙන එන්න පුලුවන් දරුවෙක් හදන්න.

මේ ගැන වෛද්‍යතුමා වැඩිදුරටත් පළ කරපු අදහස් මේ වීඩියෝ එකෙන් ඔබට දැනගන්න පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles