දරුවෙක් සමග තනිවෙන්න වුනොත් ?

ඔබේ ජීවිතය හැමදාම එක ලෙසම පවතින්නේ නැහැ. දුක සහ සතුට විවිධාකාරයෙන් ලැබෙන ජිවිතයේ ඔබට පැමිණිය හැකි අභියෝග බොහොමයි. ඒ නිසාම අද තරමක වෙනස් මාතෘකාවක් ගැන කථා කරන්න අපි හිතුවා. වර්තමාන සමාජයේ ඕනෑ තරම් දරුවන් සමඟ තනි වූ මවුවරුන් සහ පියවරුන් ඉන්නවා. දික්කසාද , අනපේක්ෂිත ගැබ් ගැනීම් , සහකරු හෝ සහකාරිය මියයාම වැනි විවිධ සාධක මත Single parent කෙනෙක් බිහි වෙන්නට පුළුවන්. ඔවුන්ට ජීවිතයේ පැමිණිය හැකි අභියෝග ජය ගන්නේ කොහොමද ? ඒ ගැනයි මේ ලිපිය 

සහයට කිසිවෙකු නොමැති වීම 

මෙය දරුවකු සමග තනිවන ඕනෑම කෙනෙක් මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක්. ඒ නිසාම ඔබ ඉක්මනින් විඩාවට පත්වීම , කෝපයට පත්වීම , තීරණ ගැනීමේදී පසුබෑමට ලක් වීම සහ මානසික වශයෙන් ඉතාම දුර්වල වීම සිදුවන්නට පුළුවන්. මෙවැනි හේතුන් ඔබේ සම්පූර්ණ ජීවන රටාවම බිඳ දමන්නට හේතුවක් වනවා.

ඒ  නිසා , 

ඔබට යම් උපකාරයක් අවශ්‍ය බව පිළිගන්න. ඔබේ පවුලේ අයගෙන් ,සහෝදර සහෝදරියන්ගෙන් සහ මිතුරන් ගෙන් සහය පතන්න. ඔබේ දවස වඩාත් හොඳින් සැලසුම් කර ගෙන ඵලදායි ජීවන රටාවකට හුරු වෙන්න. 

ආර්ථික අපහසුතා

මෙය ඔබට මග හරින්නට බැරි ම කාරණාවක්. ඔබේ ජීවිතයේ වර්තමාන තත්ත්වය කුමක් වුවත් ඔබට ඔබේ දරුවාගේ ජීවිතය අවදානමක හෙළන්නට බැහැ. දරුවාගේ වර්ධනයේ සිට අනාගතය සැලසුම් කිරීම සහ ඒ වෙනුවෙන් වැඩ කිරීම දක්වාම ඉතා විශාල වගකීමක් ඔබ සතුව තියෙනවා. ඒ සියල්ලම ජය ගන්නට නම් ඔබ ආර්ථික වශයෙන් ශක්තිමත් විය යුතුයි. 

ඒ නිසා , 

ඔබේ සුදුසුකම් වලට සරිලන, ඔබේ වියදම් සපුරාගත හැකි තරමේ වැටුපක් ලැබෙන  රැකියාවක් තෝරා ගන්න. දරුවා පාසල් වල වයසේ අයෙක් නම් ඔබේ රැකියා කටයුතු අවසන් වන තුරු , පාසල් වේලාවෙන් පසුව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් වෙත දරුවා යොමු කරන්න. එසේත් නැතිනම් ස්වයං රැකියාවක් හෝ වෙනත් කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පියවර ගන්න .

මානසික කඩා වැටීම් සහ නින්ද නොයාම 

දරුවෙක් සමඟ තනි වූ ඔබට මානසික ගැටලු ඇතිවීම සහ නින්ද නොයාමේ ගැටලු ඇතිවීම ඉතාම සාමාන්‍ය දෙයක්.නමුත් මේ තත්වය ඔබගේ එදිනෙදා කටයුතු වලට සෘජුවම බලපානවා. ඒ වගේම එය ඔබගේ දරුවාගේ කටයුතු කෙරෙහි ද බලපෑම් එල්ල කරනවා. ආර්ථික වශයෙන් වගේම ඔබ අනිවාර්යයෙන්ම මානසික වශයෙන්ද ස්ථාවර විය යුතුයි.

ඒ නිසා , 

උපදේශනයට යොමු වෙන්න. එයින් ඔබ සෑහීමකට පත්නොවන බව දැනෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. ඔබේ මනස සැහැල්ලු කරන ක්‍රියාකාරකම් වල නිරත වන්න. ව්‍යායාම කිරීම, යෝග අභ්‍යාස කිරීම ,භාවනා කිරීම හෝ පොත් කියවීම වැනි දේ සඳහා කාලය වෙන් කරන්න.

පෙර මතක සමඟ ගැටීම

ඔබ දරුවකු සමඟ තනි වූ කාරණාව දික්කසාදයක් හෝ සහකරු හෝ සහකාරියගේ වෙන් වීමක් හෝ මරණයක් විය හැකියි. ඒ මතක වරින්වර ඔබගේ මනස අවුල් කිරීම , ඔබව වේදනාවට සහ කනස්සල්ලට පත් කිරීම සාමාන්‍ය දෙයක්. කෙසේ වුවත් ඔබේ ජීවිතය ඒවා නිසා නිමා වන්නට හෝ නොසන්සුන් වන්නට බැහැ. 

ඒ නිසා , 

හැකිතාක් පෙර මතකයන් සමඟ ගැටීම පාලනය කරගෙන නතර කර ගන්නට උත්සාහ කරන්න. අතීතයේ ඔබේ ජීවිතයේ යම් බරපතළ සිදුවීමක් සිදුවූවා නම් ඒවා නැවත නැවත මතක් කිරීම , ඒවා පිළිබඳව අන් අය සමග කතා කිරීම නතර කරන්න. ඔබ මුහුණ දුන් දෙයින් පිටතට පැමිණීමට උත්සාහ කරන්න. 

ඔබේ දරුවාගේ මානසිකත්වය 

ඔබ දරුවකු සමග තනිවීම ඔබේ මානසිකත්වයට පමණක් බලපාන්නේ නැහැ. එය අනිවාර්යයෙන්ම ඔබේ දරුවාගේ මානසිකත්වයටද ඉතා තදින් බලපානවා.ආතතියෙන් සහ කනස්සල්ලෙන් සිටින දෙමව්පියන් ,ආතතියෙන් සහ කනස්සල්ලෙන් සිටින දරුවන් නිර්මාණය කරනවා. මෙය ඔබ විසින් අනිවාර්යයෙන්ම ඉතා සංවේදීව තේරුම් ගත යුතු කාරණාවක්. ඔබට මුහුණ දීමට අපහසු වන සත්‍යය දරුවාට කුමන ආකාරයකින්වත් තේරුම් ගැනීමට අපහසු වන බව ඔබ වටහා ගත යුතුයි. දරුවාගේ එම මානසිකත්වය ඔහුගේ වර්ධනයට සහ අනාගතයට අනිවාර්යයෙන්ම බලපානවා.

ඒ නිසා , 

හැකි සෑම විටම දරුවා සමග ඉතා ඉවසීමෙන් කටයුතු කරන්න. ඔබ මුහුණ දුන් දෙය කුමක් වුවත් නිසි වයසේදී හැකි අයුරින් දරුවාට ඒ දෙය වටහා දීමට උත්සාහ කරන්න. ඔබ තනිවූයේ දික්කසාදයක් නිසා නම් පෙර සහකරු හෝ සහකාරිය සමඟ සාකච්ඡා කර අනිවාර්යයෙන්ම ,දරුවාට මව සහ පියා යන දෙදෙනාම ඇසුරේ වැඩීමට ඉඩ හරින්න. 

දරුවෙක් සමග තනි වීමට සිදුවුවහොත් ඔබට මුහුණ පාන්නට සිදුවන අභියෝග කිහිපයක් පිළිබඳවයි මේ ලිපියෙන් අපි කතා කලේ. ඔබට මුහුණපාන්නට සිදුවන අභියෝග වක්‍රාකාරයෙන් හෝ ඔබේ දරුවාට බලපාන බව සිහි තබාගෙන ඒවාට ඉතා ඉවසීමෙන් මුහුණ දෙන ලෙස අපි ඔබට සිහිපත් කරනවා.

Related Articles

Don't Miss


Latest Articles