ඔබේ දරුවා බිලි ගන්නා සැඟවුණු මරුවෙක් නිවස තුළම ? ප්‍රවේශමෙන්

ලොවක් වෙලා ගත් දරුණු වසංගත තත්ත්වය හමුවේ දරුවන් ගේ අධ්‍යාපනය දුරස්ථ මට්ටමින් හෝ පවත්වා ගැනීම ඉතාම හොඳ ප්‍රවණතාවයක්.ඒ අනුව මේ වන විට සෑම දරුවෙක්ටම අන්තර්ජාලය වෙත පිවිසීමට ඉඩ කඩ ලැබී තිබෙනවා.මේ වන විට මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවා online අධ්‍යාපන ක‍්‍රියාවලියේ ඍජු සහ අතුරු අහිතකර ප‍්‍රතිඵල පිළිබඳව අනාවරණය කර තිබෙනවා. මේ එහි අතුරු අහිතකර ඵලයක්.මේ online games.අද අපි කතා කරන්නේ මේ ගැනයි.

මාර්ගගත අධ්‍යාපන ක‍්‍රියාවලිය තුළ පාලනයකින් තොරව දීර්ඝ වේලාවක් දරුවන් දුරකථනය හෝ පරිඝනකය සමග රැදී සිටීම මගින් ඔවුන්ට ඇතිවන මානසික සංකූලතාවලට අමතරව අන්තර්ජාලය හරහා ඉදිරිපත් කෙරෙන ‘‘වීඩියෝ ගේම්ස්’’ ලෙස හැඳින්වෙන විවිධ විනාශකාරී පරිගණක වැඩසටහන් නිසා බරපතළ අගතියක් දරුවන්ට සිදුවන බව අනාවරණය වී තිබෙනවා.ඒ වගේමයි මේ ගැන සිදු කරපු විවිධ පරීක්ෂණ හරහා සොයා ගෙන තිබෙනවා online gamesවලට ඇබ්බැහි වීම හරහා මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හා සමානවම මොළයට හානි සිදු කරන බව.

මේ ගැන අසන්න ලැබුණු ආසන්නතම සිදු වීම තමයි online games වෙත ඇබ්බැහි වුණු කුඩා පිරිමි දරුවෙක් තම ස්මාර්ට් දුරකථනය මව ගත් නිසා එය දරා ගත නොහැකිව සියදිවි නසා ගැනීම.ඒ විතරක් නොවෙයි මෑතකාලීනව එවැනි පරිගණක ක්‍රීඩා මගින් මානසික පීඩාවට පත්වූ දරුවන් තම ජිවිතයම අඳුරු කර ගත් අවස්ථා ඕනෑ තරම් අසන්න දකින්න තිබෙනවා.

මේ විනාශකාරී තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසම වෙත ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ “ලක්මව දියණියෝ” ජාතික සංවිධානය ඉල්ලීම් ලිපියක් පවා යොමු කළා.

ඔවුන් ඉල්ලා සිටින්නේ අන්තර්ජාලයෙන් ඉදිරිපත් කෙරෙන දරුවන්ට අහිතකර ‘‘වීඩියෝ ගේම්ස්’’ ඔවුන්ට ලබාගත නොහැකි වන ලෙස තාක්ෂණික බාධා පමුණුවන ලෙසයි .

එසේම මෙම විනාශකාරී තත්වයෙන් දරුවන් බේරා ගැනීම සඳහා දෙමාපියන් සහ දරුවන් ඉලක්ක කරගත් අධ්‍යාපන සහ ප‍්‍රචාරක වැඩසටහනක් දියත් කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා.

ඇත්තෙන්ම මෙවැනි තත්ත්වයක් හමුවේ අපි දරුවන් තාක්ෂණයෙන් ඈත් කළ යුතුද එසේ නැති නම් අපේ නිරන්තර අවධානය යටතේ දරුවන් තාක්ෂනයේ නිවැරදි මාවත් වෙත පමණක් සමීප කළ යුතුද ? තීරණය ඔබ සතුයි.

Related Articles

Don't Miss


Latest Articles