කුඩා දරුවන් හිතුවක්කාර ගති ලක්ෂණ පෙන්වීම සහ දෙමව්පියන්ට ඇහුම්කන් නොදීම කියන්නේ බහුතරයක් දෙමාපියන් මුහුණ දෙන ගැටළුවක්. දරුවෙකුගෙන් යමක් කිරීමට ඉල්ලා සිටින විට ඔවුන් එය නොසලකා හැරීම, ඒ වෙනුවට හිතුවක්කාර ලෙස හැසිරීම සහ මගහැර යාම හෝ වෙනත් හැසිරීමකින් ඒවා ප්‍රතික්ෂේප කිරීම කාලයත් සමඟ දෙමව්පියන්ව පීඩාවට සහ කලකිරීමට පත් කරවනවා. බොහෝ විට මේ තත්ත්වයට මුහුණපාන්නේ මව්වරුන්. දරුවන්ගේ මෙවැනි ආකාරයේ හැසිරීම් නිසා දවස අවසානයේදී මව්වරුන් බොහෝ වෙහෙසට පත් වෙනවා.
නමුත් මේ තත්ත්වය බොහෝවිට ඇතිවන්නේ ඇත්ත වශයෙන්ම දරුවන් සහ දෙමව්පියන් අතර ඇති සන්නිවේදනයේ ගැටලුකාරී තත්ත්වයන් නිසා මිස දරුවන්ගේ අකීකරුකම නිසා නොවේ. එම නිසා එවැනි පීඩාකාරී අවස්ථාවන් වලදී ඔවුන්ගේ හැසිරීම පිටුපස ඇති හේතුව තේරුම් ගැනීම ඒ වෙනුවෙන් කළ හැකි දේ තේරුම් ගැනීම දෙමව්පියන් වන ඔබට ගත හැකි පළමු පියවරයි.
සන්සුන්ව හා ඉවසිලිවන්තව සිටින්න

දරුවෙකු සවන් නොදෙන විට, ඔබේ හඬ වඩා උස් කිරීම හෝ කෝපයට පත් වී ප්‍රතිචාර දැක්වීම පහසුය. නමුත් කෝපයෙන් ප්‍රතිචාර දැක්වීම බොහෝ විට තත්වය වඩාත් නරක අතට හරවනවා. එවැනි අවස්ථාවල් වලදී අනාරක්ෂිත බවට පත්වෙන දරුවන්, බියට පත් වී වඩාත් මුරණ්ඩු විය හැකිය. ඒ වෙනුවට, මොහොතක් නතර වී ගැඹුරු හුස්මක් ගෙන දරුවා සමඟ සන්සුන්ව කතා කරන්න. ඔවුන් තුළ බිය ඇති නොකරවන ස්ථාවර ස්වරය ඔබේ පෞරුෂය සහ ආධිපත්‍යය ඔවුන් හට නිරායාසයෙන්ම වැටහෙනවා.
පළමුව ඔවුන්ගේ අවධානය ලබා ගන්න
සමහර විට දරුවන් දෙමව්පියන්ට සවන් නොදෙන්නේ ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු වී තිබෙන නිසයි. එම නිසා ඔවුන් හට උපදෙස් දීමට පෙර, ඔවුන්ගේ සම්පූර්ණ අවධානය ඔබ වෙත ලබා ගැනීමට වග බලා ගන්න. ඔවුන්ගේ නම අමතන්න, නැතහොත් මෘදු ලෙස ඔවුන්ගේ උරහිස ස්පර්ශ කරන්න. මෙම කුඩා පියවර ඔවුන් ප්‍රතිචාර දක්වන ආකාරයෙහි විශාල වෙනසක් ඇති කළ හැකිය.
පැහැදිලි සහ සරල උපදෙස් දෙන්න
දිගු හෝ සංකීර්ණ උපදෙස් බොහෝවිට දරුවන්ට එකවරම තේරුම් ගැනීමට අපහසු නිසා එවැනි උපදෙස් දරුවන් ව්‍යාකූල කළ හැකියි. එම නිසා, සෑම විටම ඔබේ උපදෙස් කෙටියෙන් හා නිශ්චිතව ඔවුන්ට ලබා දෙන්න. උදාහරණයක් ලෙස, “ඔබේ කාමරය නිසි ලෙස පිරිසිදු කරන්න” යැයි පැවසීම වෙනුවට, “කරුණාකර ඔබේ සෙල්ලම් බඩු පෙට්ටියේ තබන්න” යැයි පවසන්න. පැහැදිලි උපදෙස් දරුවන්ට අපේක්ෂා කරන දේ නිසි ආකාරයෙන් තේරුම් ගැනීමට උපකාරී වේ.
නීතිරීතිවලට අනුකූල වන්න
නීති අනුකූල වන විට දරුවන්ට ආරක්ෂිත බවක් දැනෙන්නට පටන් ගන්නවා. ඔබ එක් දිනක් යම් දෙයකට ඉඩ දී ඊළඟ දින එය තහනම් කළහොත්, ඔවුන් සීමාවන් ගැන අවිනිශ්චිත නිසා ඔවුන් ඔබව නොසලකා හැරිය හැකියි. පැහැදිලි නීති සකසා ඒවා පිළිපැදීමට දරුවන් හට හුරු කරවන්න. අනුකූලතාව කාලයත් සමඟ දරුවන් තුළ විශ්වාසය සහ විනය ගොඩනැගීම සිදු කරනවා.
ධනාත්මක ශක්තිමත් කිරීමක් භාවිතා කරන්න
දරුවා වැරදි කරන දේ කෙරෙහි පමණක් අවධානය යොමු කරනවා වෙනුවට, ඔවුන් සවන් දෙන විට එය අනිවාර්යෙන්ම ඉතා අගය කරන්න. එවැනි ප්‍රශංසා ඔවුන්ව දිරිමත් කරනවා. ඒ වගේම එවැනි ප්‍රශංසා නිසා ඔවුන් දිගින් දිගටම ඒවාට අනුකූලව හැසිරීමට පටන් ගන්නවා. විශේෂයෙන්ම විනය සම්බන්ධ ගැටලු වලදී සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔවුන්ගේ කුඩා කාරණාවක් හෝ ප්‍රශංසාවට ලක් කරන්න. නිරන්තර විවේචනවලට වඩා ධනාත්මක ශක්තිමත් කිරීම සහ ප්‍රශංසා කිරීම වඩාත් ඵලදායී වනවා
හැකි විට තේරීම් ඉදිරිපත් කරන්න
ළමයින් බොහෝ විට දෙමව්පියන්ට විරුද්ධ වන්නේ හෝ ඇහුම්කන් නොදෙන්නේ ඔවුන්ට පාලනය පිළිබඳ හැඟීමක් අනවශ්‍ය නිසාය. එවැනි අවස්ථා වලදී ඔවුන්ට සරල තේරීම් ලබා දීමෙන් අරගලකාරී තත්ත්වයන් අඩුකර ගත හැකි වෙනවා. උදාහරණයක් ලෙස, ” ඔබ දැන් ඔබේ ගෙදර කරනවාද නැත්නම් කෑමෙන් පසුව එය කරනවාද ? ” යනුවෙන් විමසන්න. මෙමගින් උන් කොයි මොහොතේ හෝ ගෙදර වැඩ කළ යුතු බවට සංඥාවක් ඔවුන්ගේ මොළයට ලබා දෙනවා.ගෙදර වැඩ කිරීම සඳහා ඔවුන්ට විධානයක් ලබාදීම වෙනුවට ඔවුන්ට තේරීමක් ලබා දෙන්න.
ඔවුන්ගේ හැඟීම් තේරුම් ගන්න

සමහර විට දරුවන් වෙහෙසට පත්ව, කුසගින්නෙන්, ආතතියෙන් හෝ කලබලයෙන් සිටින නිසාත් දෙමව්පියන්ට ඇහුම්කන් දීම සිදු කරන්නේ නැහැ. ඒ නිසා නිරන්තරයෙන් ඔවුන්ව විවේචනය කිරීම වෙනුවට හෝ වහාම ඔවුන්ව නිවැරදි කරනවා වෙනුවට, ඔවුන්ට හැඟෙන දේ සහ ඔවුන් ඒ මොහොතේ සිටින තත්ත්වය තේරුම් ගැනීමට උත්සාහ කරන්න. ” ඔබට බඩගිනිද ?” ” ඔබට නිදිමතද ? ” යනුවෙන් අසමින් සන්නිවේදනය විවෘත කළ හැකි අතර ඔවුන්ගේ කලබලකාරී හැසිරීම් වලට හේතුව තේරුම් ගැනීම සඳහා ඔබට එය උපකාරී වනු ඇත.
දඬුවම් නොව ප්‍රතිවිපාක සකසන්න
දරුවන් හට විනය ඉගැන්විය යුත්තේ බිය ගැන්වීමෙන් නොවේ. ඔබ ඔවුන් හට පනවා ඇති සරල නීති කඩ කරන විට ඔවුන්ට ලැබිය සාධාරණ ප්‍රතිවිපාක සකසන්න. නිදසුනක් වශයෙන්, ඔවුන් තම සෙල්ලම් බඩු අස් කිරීම නොකරන්නේ නම්, පසුව ඒවා සමඟ සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන බව ඔවුන් හට පවසන්න . මෙය දරුවන්ට දැඩි දඬුවම් විඳීමෙන් තොරව වගකීම තේරුම් ගැනීමට උපකාරී වනවා.
ආදර්ශමත් වන්න
ළමයින් බොහෝ විට තමා වටා සිටින වැඩිහිටියන් නිරීක්ෂණය කිරීමෙන් ඉගෙන ගන්නවා. ඔබේ දරුවා ගෞරවාන්විතව සවන් දීමට ඔබට අවශ්‍ය නම්, ඔවුන් ඉදිරියේ ඔබේ හැසිරීම ආදර්ශවත් කරන්න. ආචාරශීලීව සන්නිවේදනය කරන ආකාරය, නීති රීති අනුගමනය කරන ආකාරය සහ හැඟීම් කළමනාකරණය කරන ආකාරය ඔවුන්ට පෙන්වන්න. ඔබේ ක්‍රියාවන් බොහෝ විට ඔබේ වචනවලට වඩා උස් හඬින් කතා කරන බව මතක තබා ගන්න.
ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගන්න

ආදරය, සවන් දීම සහ අගය කිරීම දැනෙන දරුවෙකු ඔවුන්ගේ දෙමව්පියන් හට සවන් දීමට වැඩි ඉඩක් ඇත. එම නිසා ඔබට හැකි සෑම විටම ඔවුන් සමග ගුණාත්මක කාලයක් ගත කරන්න, ඔවුන්ගේ දවස ගැන කතා කරන්න, සහ ඔවුන්ගේ සිතුවිලි කෙරෙහි උනන්දුවක් දක්වන්න. ශක්තිමත් චිත්තවේගීය බැඳීමක් ඔවුන්ගේ හැසිරීම සහ හුරු පුරුදු යහපත් කරවනවා.
දරුවෙකු සවන් නොදෙන විට, එය සැමවිටම අකීකරුකම නොවන අතර එය ඔවුන්ගේ ඉටු නොවූ අවශ්‍යතා, ව්‍යාකූලත්වය හෝ වෙනත් හේතුවක් විය හැකියි. ඉවසීම, අවබෝධය සහ ස්ථාවර මග පෙන්වීම සමඟ, ඔබට ඔබේ දරුවාට වඩා හොඳ සවන්දීමේ පුරුදු වර්ධනය කර ගැනීමට උපකාර කළ හැකිය.ධනාත්මක සන්නිවේදනය සහ ශක්තිමත් සම්බන්ධතාවයක් දරුවන් තුළ හොඳ හැසිරීම් වර්ධනය කිරීමේ පදනම වෙනවා.










