දඟකාර රාජකීය පොඩිත්තන් බලාගන්න, කේට් කුමරිය අනුගමනය කරන උපක්‍රම.

අලුත් පරම්පරාවේ අම්මලාට බබාලා සම්බන්ධයෙන් උපදෙස් දෙන්න ඕනෑතරම් අය ඉන්නවා.හැමෝගෙම උපදෙස් අහන්න ගිහින් හැමදෙයක්ම අවුල් කරගන්න අවස්ථාත් අලුත් අම්මලාට ඕන තරම් සිද්ධ වෙනවා.ඉතින් සමහර වෙලාවට අපේ අම්මලා නැන්දම්මලාගේ උපදෙස් අපේ කාලෙට නොගැලපෙන බව අපිට හිතෙනවා.ඔව්.ඇතැම් වෙලාවට අප්ඩේට් වෙලා හැමදෙයක් දිහාම බලන්න ඕන.අලුත් විදියට දරුවෝ වුණත් හදන්න ඕනෑ.හැබැයි අපිට ගැළපෙන නිවැරදි දේවල් තෝරා ගන්න අපි ප්‍රවේසම් වෙන්න ඕන.

බ්‍රිතාන්‍යයේ කේට් කුමරිය එහෙම තමන්ගෙම ක්‍රමයකට දරුවෝ හදන තරුණ අම්මා කෙනෙක්.බ්‍රිතාන්‍යයේ වුණත් ලංකාවේ වුණත් දරුවෝ දරුවොම නිසා රජ කුමරියකගෙන් වුණත් ප්‍රායෝගික ජීවිතය වෙනුවෙන් ඔබට ගත හැකි දේවල් ඕනෑ තරම් තියනවා.අද අපි කේට් කුමරිය දරුවන් හැදීම සම්බන්ධයෙන් අනුගමනය කරන කාරණා ඔබට කියන්න හිතුවේ ඒ නිසා.

දරුවන්ගේ මට්ටමට පහත් වී කතා කිරීම.

කේට් දරුවන් එක්ක කතා කරන්නේ ඔවුන්ගේ මට්ටමට පහත් වෙලා. මේ ක්‍රමය දරුවන්ට ආරක්ෂාවක් සහ ඔබ ගැන විශ්වාසය දැනෙන ක්‍රමයක්.අම්මාගේ සම්පූර්ණ අවධානය තමන්ට හිමි බව තේරුම් යාම පුංචි පැටියෙක්ට ලොකු හැඟීමක් අරන් එන දෙයක්.ඒ නිසා ඔවුන් එක්ක කතා කරද්දී පහත් වෙලා දරුවාට නැඹුරුව කතා කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.

දරුවන් පරිසරයට නැඹුරු කිරීම.

දරුවන්ට වැස්සේ තෙමෙන්නට ඉඩ දීම,එළිමහනේ ඇවිදිමින් පරිසරය විඳින්නට දීම ඔවුන්ට සතුට ලැබෙන කාරණා බව කේට් ඇගේ ළමා කාලයේ අත්දැකීම් වලින්ම දන්නවා.ඒ නිසාම ඇය ඇගේ දරුවන්ට එයට ඉඩ දෙනවා.ඒ වගේම ඔවුන් ගෙවතු වගාවටත් යොමු වෙලා ඉන්නේ හරිම උද්‍යෝගිමත් විදියට.කැරට්, බෝංචි, බීට් රූට් වගාවක් දරුවන් තුන් දෙනා පවත්වාගෙන යන්නේ හරිම ආසාවෙන් කියලයි කේට් කුමරිය පවසන්නේ.

හැකි සෑම විටම දරුවන්ට කාලය දීම.

රාජකීය කාන්තාවක් ලෙස කාර්යබහුල දෛනික රාජකාරි තිබියදී පවා කේට් කුමරිය තමන්ගේ දෛනික රාජකාරි අතරට දරුවන් පාසලට රැගෙන යාම ගෙන ඒම ඇතුළත් කරගෙන තියෙනවා. වාහනය පදවාගෙන පෙර පාසලට යන කේට් කුමරිය ලන්ඩනයේ සුපුරුදු දර්ශනයක්.
අපිට මොනතරම් කාර්යබහුල වුණත් දරුවන්ව උදෑසන සූදානම් කර ඔවුන්ව පාසලට රැගෙන යාම.ඔවුන් සමඟ උදෑසන ආහාර ගැනීම එහෙම නැත්නම් රාත්‍රියේ ඔවුන් සමඟ ඇඳට වෙලා කතන්දර පොතක් කියවීම දරුවන්ට මහමෙරක් වගේ ආදරය දැනෙන කාරණා. අපි ඉන්නේ බිසී වෙලා තමයි.ඒත් දරුවන්ට ආදරය අත්‍යවශ්‍ය දෙයක්.

Home schooling

ලොක්ඩවුන් කාලයේ ඇය දරුවන්ට ගුරුතුමියක වූ බවත් ඇත්තටම එය වෙහෙස දැනෙන කටයුත්තක් වූ බවත් කේට් කුමරිය පවසනවා.

“දරුවෙක්ට උපත දුන්නම ඔබට අනිවාර්යයෙන් මවක් වෙනවා. ඒත් ඒ පදවියට අමතරව අපට විවිධ හේතු නිසා විවිධ රැකියා ලැබෙනවා. ඔබ ඒවා බාරගන්න ඕනා”කොරෝනා වසංගතයට ලෝකය බිලිවූ කාලයේ ඇය දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වෙන්න ඉඩ දීලා නැහැ.

එහෙම කියන කේට් කුමරිය පවසන්නේ ඇය ලොක්ඩවුන් කාලයේ දරුවන්ගේ Hairdresser ත් වූ බවක්.

හැම වෙලාවෙම දරුවන්ට ඇත්ත කියන්න.

විශේෂයෙන්,මේ වගේ වසංගත කාලයක ලෝකය ඇත්තේ අනතුරක බව දරුවන්ට සඟවන්න එපා.

“දරුවන් බය වෙන්න පුලුවන්. ඒ නිසා ඇත්ත ප්‍රවේසමෙන් කියා දෙන එක ඔබේ වැඩක්.

කේට් කුමරිය ඒ ගැන එසේ පවසනවා. අපි වසංගතයකින් ආරක්ෂා විය යුතු ආකාරය, නිවෙස් තුළ ඉන්නට වෙන්නේ අපි බාහිර පරිසරයට නිරාවරණයෙන් ලෙඩ රෝග ඉක්මනින් බෝ වෙන නිසා බව ඔවුන්ට කියලාදෙන්න අපිට පුලුවන්.

ඒ වගේම මේ කාලයේ දරුවන්ට ඥාතීන් දකින්නට නොලැබීම පාලුව දැනෙන දෙයක් වෙන්නත් පුලුවන්.ඒ නිසා ඔවුන්ට අන්තර්ජාලය හරහා නෑදෑයන් මුණ ගැස්වූ බව කේට් කුමරිය පවසනවා. ඔබත් මේ කාලයේ ගමන් බිමන් පාලනය කරලා ඇති.ඒත් වීඩියෝ ඇමතුමකින් සීයා, ආච්චිව මුණ ගස්වන්න.එය දරුවන්ට සතුටක් වේවි.

දරුවන්ගේ විලාසිතා වලදි එකගතා වලට ඒම

ඔබේ කුඩා දියණිය කොණ්ඩයට කිසිම ලෙසකින් නොගැලපෙන කොණ්ඩ කටු පැළද නර්සරි යාමට අවශ්‍ය බව කියමින් අරගල කරන්නියක් ද? එය ඔබට පමණක් ඇති ගැටලුවක් නෙවෙයි.කුඩා රජ කුමරියක වන චාලට් කුමරිය හැසිරෙන්නේ ද ඒ ආකාරයෙන්.ඇය පාසල් යාමට පෙර සිදු කරගන්නා බොහෝ කොන්ඩා විලාසිතා ගැන “කතාබහ කර තීරණ ගන්නට” වෙන බව කේට් කුමරිය පවසනවා.ඒ නිසා දරුවන් සමඟ සංවාද කරමින් ඔබට අවශ්‍ය තැනට දරුවාව රැගෙන එන්න.

ඔබ මවක්. රාජකීය කාන්තාවක් ඇතුළේ වගේම ලෝකයේ ඉන්න ඕනෑම සාමාන්‍ය ගැහැනියක් ඇතුළෙත් ඉන්න අම්මා කියන චරිතයට දැනෙන හැඟෙන හැඟීම් සමානයි. අම්මා කෙනෙක් බවට පත් වුණාට පස්සේ ඔබට ඔබ එක්කම සටන් කරන්න වෙනවා. විවිධාකාර ප්‍රශ්න මතු වෙනවා.ඒ වගේ ප්‍රශ්න කිහිපයක් ගැනත් කේට් කුමරිය සඳහන් කරලා තියෙනවා.

මවකට වුණත් වරදකාරී හැඟීම් එන්න පුලුවන්.

පෙබරවාරියේදී ජියෝවානා ෆ්ලෙචර් විසින් සත්කාරකත්වය දුන් හැපි මම් හැපි බේබි පෝඩ්කාස්ට් සඳහා සම්මුඛ සාකච්ඡාවකදී කේට් කුමරිය හෙළි කරන්නේ දරුවන්ට සම්‍යක් ප්‍රයෝග කරන්නට සිදුවීම සහ අහිංසක බොරු කියන්නට ඕනෑම අම්මා කෙනෙක්ට සිදු වන බවත් එය තමන්ට නම් වරදකාරී හැඟීම් ඇති කරන්නක් බවත්.

“ඒත් ඔබ හැමතිස්සෙම දරුවෝ වෙනුවෙන් උපරිමය කරන්නත් අමතක කරන්නම එපා.
ඇය නැවත එසේ පවසනවා.

දරුවන් සම්බන්ධයෙන් වැඩ මඟ හැරුණු විට හෝ අතිශය කාර්යබහුල වූ විට දරුවන්ට බොරුවක් කියන්න සිදු වෙන්න පුලුවන්.

“සෑම විටම ඔබේම තීරණ, ඔබේම විනිශ්චයන් සහ ඒ වගේ දේවල් ගැනත් ඔබෙන්ම ප්‍රශ්න කරන්න. මම හිතන්නේ එය ආරම්භ විය යුත්තේ ඔබට දරුවෙකු ලැබුණු මොහොතේ ඉඳලමයි” කේට් කුමරිය ඒ ගැන ඔබට වැඩිදුරටත් මතක් කරනවා.

අලුත උපන් දරුවෙක් සමඟ පටන් ගන්නා ජීවිතය

කේට් කුමරිය දරු උපත් තුනකට මුහුණ දුන් කෙනෙක්.ඇය පවසන්නේ නොදැනුවත්කම සහ විශ්වාසය නොමැතිකම අලුත් මව්වරුන්ට සෑහෙන ගැටලුවක් බව. ඒ වගේම දරුවා ඉපදී වසරක් පමණ ගත වෙන තුරු අම්මා කෙනෙක්‍ට බාහිර සමාජයේ උදව් ලැබුණත් ඉන්පසු තත්ත්වය එතරම් සහයෝගාත්මක නොවන බවත් ඈ ඇගේ අත්දැකීම් ඇසුරින් පවසනවා.

නමුත් විශ්වාසයෙන් එයට මුහුණ දෙන්න. ඔබට බැරි නෑ.

කේට් කුමරිය පවසනවා.

අම්මා කෙනෙක් වීම නිසා අපිට ඉගෙන ගන්න දේවල් ලැබෙනවා.

කේට් කුමරිය පවසන්නේ අම්මා කෙනෙකු වීම නිසා ඇය සංවිධානත්මක ලෙස වැඩ කරන්නත්, වැඩකටයුතු ඉක්මනින් කරන්නත් ඉගෙන ගත් බවයි. දරුවන්ගේ අනාගතය ගැන තීරණ ගැනීම සම්බන්ධයෙන් ඇය ඕනෑ තරම් බොළඳ වී ඇති බවත් කේට් පවසනවා. හරි තීරණ ගන්න ඇය ඉගෙන තිබ්බේ කාලය එක්ක.කාලය බොහෝ පාඩම් උගන්වන බවයි ඇය පවසන්නේ.

ඔබව කාලය විසින් පරිණත කරාවි.

එහෙම කියන්නේ කේට් කුමරිය.

සැබෑවටම ඔබේ වයස අවුරුදු විසිපහක් ,තිහක් හෝ තිස් පහක් වෙන්න ඇති. කාන්තාවක් ලෙස ඔබ මොන වයසක හිටියත් ඔබේ මව් පදවියේ වයස ඔබේ පුංචි පැටියාගේ වයසමයි.

ඉතින්,ඔබත් ගොඩ නැගිය යුත්තේ හෙමින්. වැරදෙමින් සහ ඒවා විසඳා ගනිමින්. ඔබට කාලය තිබෙනවා.රාජකීය කාන්තාවකගේ ඉඳන් ඔබ දක්වාම ඉන්නේ එකම සටනක.

විශ්වාස කරන්න! ඔබ ඔය සටන දිනනවාමයි.

Related Articles

Don't Miss


Latest Articles