ගර්භනී කාලයේ විටමින් ගැනීම අත්‍යවශ්‍ය ද?

බොහෝ ගර්භනී මව්වරු නිතරම අහන ප්‍රශ්නයක් තමයි “මේ කාලයේ විටමින් ගන්න එක අත්‍යවශ්‍ය දෙයක් ද? ” කියලා.

ඒ නිසා ඒ ගැන විශ්‍රාමික හෙද නිලධාරිනි සුධර්මා උයන්හේවා මහත්මියගෙන් අහන්න අපි හිතුවා. ඔබේ බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු මේ ලිපියෙන් ඔබට දැන ගන්න පුලුවන්.

ගර්භනී කාලයේ ලැබෙන මේ විටමින් පෙති මොනවා ද?

මවගේ සිරුරේ ඇති විටමින් සහ පෝෂක වලින් තමයි කළලයට අවශ්‍ය පෝෂක ලැබෙන්නේ. බහුතරයක් මව්වරුන්ගේ සිරුරේ මේ අවශ්‍ය පෝෂණය නිසි සංයුතියකින් නැහැ. ඒ නිසා පිටතින් හෝ පෝෂණය ලබා ගැනීම අත්‍යවශ්‍යම දෙයක්..
අපි ගන්න ආහාර වලින් අපට අවශ්‍ය පෝෂණය නිවැරදිව ලැබෙනවාද කියලා දැන ගන්න ක්‍රමයක් නෑ.ඉතින් ගර්භනී කාලයේ බබාගේ සංවර්ධනයට විටමින්, කැල්සියම් සහ යකඩ අවශ්‍ය නිසා පෙති ලෙස මේවා ගැබිණි මව්වරුන්ට ලබා දෙනවා.

මවගේ හිමොග්ලොබීන් ප්‍රමාණය බලලා යකඩ පෙති අවශ්‍ය ද යන්න වෛද්‍යවරයා තීරණය කරනවා. අවශ්‍ය නම් එය සහ යකඩ පෙත්ත අවශෝෂණය කර ගැනීමට විටමින් සී පෙත්ත සහ ෆෝලික් ඇසිඩ් ලබා දෙනවා.

මවගේ අස්ථිවල නිරෝගී බව සහ මව්කිරි දීමේ ක්‍රියාවලිය සංවර්ධනයට කැල්සියම් පෙත්ත ලබා දෙනවා. මල්ටි විටමින් පෙත්තත් මවට ලබා දෙනවා.

මේ පෙති වර්ග වමනය නිසා බොන්න බෑ කියන අම්මලාට දිය හැකි පිළියම මොකක්ද?

ආහාරයත් එක්කම පෙති වර්ගත් ගන්න. කෑම ගන්න ගමන් පෙත්ත අරන් ආයේ ආහාර ටිකක් ලබා ගන්න.එතකොට වමනය ඇති වෙන්නේ නෑ. මළ බද්ධය වගේ ගැටලු ආවම කෙඳි සහිත ආහාර ලබා ගන්න.

විටමින් වැඩිපුර ලැබුණොත් ගැටලු ඇති වෙනවා ද?

එහෙම ගැටළුවක් ඇති වන්නේ නෑ.වැඩි ප්‍රමාණ මල මුත්‍රා සමඟ පිට වෙලා යනවා.ඒත් අඩු වුණොත් ගැටලුවක් වෙනවා. ඒ වගේම මේ පෙති ගත්තා කියලා සමබල ආහාර නොගෙන ඉන්න එපා. එය අනිවාර්යයෙන් ලබා ගන්න ඕන. ඔබ ගර්භනී නිසා වැඩි පෝෂණයක් දෙන්න තමයි පිටතින් විටමින් සහ සෙසු පෝෂක අඩංගු පෙති ලබා දෙන්නේ.

Related Articles

Don't Miss


Latest Articles