දරුඵල ප්‍රමාද මවුවරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන IUI ප්‍රතිකාරය ගැන නිවැරදිව දැන ගනිමු.

විවාහ වූ බොහෝ අඹුසැමියන්ගේ ඊළඟ සිහිනය වන්නේ දරුවෙක්. බොහෝ කල් මඟ බැලීම් සහ බලාපොරොත්තු ඇති කරගැනීම් සුන්ව යද්දී දරුවෙක් අවශ්‍ය ඕනෑම ගැහැනියක් මානසික කම්පනයකට ලක් වෙනවා. නමුත් දරුවන් ප්‍රමාද ඔබ කම්පනයට පත් වී බලාපොරොත්තු අත හැරිය යුතු නැහැ. දියුණු තාක්ෂණයක් සහිත ලෝකයක ජීවත් වන අපට වෛද්‍ය විද්‍යාවේ නවීන ක්‍රම නිසා බොඳව යන සිහිනය යථාර්ථයක් කර ගැනීමේ හැකියාව ඇත්තටම තිබෙනවා. ගැහැනියක් කියන්නේ සටන්කාමිනියකට. මේ කිරි සිහිනයක් වෙනුවෙන් කැප වන ඔබට සටන් කළ හැකි ක්‍රමයක් ගැන තොරතුරුයි.

IUI අවශ්‍ය වන්නේ කාටද?

ඔබට හෝ සැමියාට මඳසරු භාවයක් ඇති බව මුල්ම වෛද්‍ය පරීක්ෂණ වලින් හඳුනා ගත යුතු වෙනවා. ඉන්පසු ඒ කුමක්දැයි තීරණය කරනවා.

  1. පිරිමියාගේ ශුක්‍රාණු වල චලනයේ මදිකම හෝ ප්‍රමාණයේ මදිකම
  2. ගර්භාෂයේ ගැටලු
  3. යෝනි මාර්ගයේ තරලවල ඇති ගැටලු- ශුක්‍රානු වලට පීනා යාමේ නොහැකියාව
  4. යෝනි මාර්ගයේ ශල්‍යකර්ම කළ ඇති සමහර අය.

IUI නොගැළපෙන අය

  1. පැලෝපීය නාලවල අවහිරතා ඇති අය
  2. දැඩිලෙස endometriosis ඇති කාන්තාවන්
  3. ලිංගිකව සම්ප්‍රේෂණය වූ රෝග නිසා pelvic inflammatory disease ඇති අය.
  4. ඩිම්බ කෝෂයේ ප්‍රමාණවත් ලෙස ඩිම්බ නිපදවන්නේ නැති අය.

IUI වලින් වෙන්නේ මොකක්ද?

Intra Uterine Insemination ‍හෙවත් IUI වලින් සිදු කරන්නේ පියාගේ ශුක්‍රාණු මවගේ ඩිම්බ සමග කෘත්‍රිම ලෙස සංසේචනය කිරීමයි.

කොහොමද IUI එක සිදු වන්නේ?

  • කාන්තා ඔබේ ඩිම්බ මේරීම ගැන මූලික පරීක්ෂාවකට ලක් වෙනවා.ඉන්පසු ඩිම්බ මේරීමට ඖෂධ ලබා දෙනවා.Clomiphene Citrate යන ඖෂධය තමයි බොහෝ විට ලැබෙන්නේ.ඔසප් වීම ආරම්භ වූ දිනට පසු දින සිට දින පහක් හෝ හයක් ලබාගන්නට ඔබට වෛද්‍ය උපදෙස් ලැබෙනවා.
  • ඉන්පසු දින දොලහකින් ස්කෑන් පරීක්ෂණයකට ඔබව යොමු කෙරෙනවා. ඩිම්බවල මේරීම ගැන ඉන් දැන ගන්න පුලුවන්
  • ඩිම්බ පිට වීම නියමිත වේලාවට සිදු වන්නට HCG (Human Chorionic Gonadotropin) හෝමෝනයත් එන්නතක් ලෙස ලෙස ලබා දෙනවා .
  • ඉන් පැය 36 ට පසු ඩිම්බ කෝෂවලින් ඩිම්බ පිට වෙනවා.
  • ඒ කාලය සහ ඩිම්බයේ මේරීම මත IUI සිදු කරන දවස තීරණය වෙනවා.

ඊටපසු ඔබේ සැමියාට දින තුනක් ලිංගික ක්‍රියාවල නොයෙදී සිට ශුක්‍රාණු සාම්පලයක් ලබා දීමට උපදෙස් ලබා දෙනවා.
එය රසායනාගාර තත්ව වලට ලක් කර වැඩි volume එකකට ලබා ගන්නවා.(තරලයෙන් ශුක්‍රාණු පමණක් වෙන් කර ගැනීම)

ඉන්පසු මේ හොඳ තත්වයේ ශුක්‍රාණු ඩිම්බයේ තැන්පත් කිරීම සිදු වෙනවා ඉතා සිහින් නාලයක් භාවිතා කර ගැබ් ගෙල හරහා ශුක්‍රාණු ගර්භාෂයේ තැන්පත් කිරීම මඟින් IUI ක්‍රියාවලිය අවසන් වෙනවා.මෙය කිසිදු වේදනාවක් සිදු නොවන ක්‍රියාවලියක්. තැන්පත් කර මඳ වෙලාවක් වැතිර සිටීම ප්‍රමාණවත්. විශේෂයෙන් ආරක්ෂා වීමක් අවශ්‍ය නැහැ.

සමහර කාන්තාවන්ට සුළු උදරයේ වේදනාවක් ඇති විය හැකියි. අධික වේදනාවක් ඇතිනම් වෛද්‍යවරයා මුණ ගැසෙන්න. වෛද්‍ය නිර්දේශය මත පමණක් ඔසු ලබා ගන්න.

මේ ප්‍රතිකාරයෙන් සති තුනකින් පසු ඔසප් නොවූයේ නම් ඔබට මුත්‍රා පරීක්ෂාවක් මඟින් ගර්භනී බව තහවුරු කර ගන්න පුලුවන්.

IUI සාර්ථක නොවුණොත්?

අවස්ථා කිහිපයක්ම උත්සාහ කළ හැකියි. එක් වතාවක සාර්ථක වීමේ හැකියාව 15% පමණ බව ඔබ අමතක නොකළ යුතුයි.නමුත් සාර්ථක නොවුණොත් අධෛර්යමත් වෙන්න එපා. අපට පුලුවන් ivf තාක්ෂණයට යොමු වෙන්න.ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් කතා කරමු.

ඔබේ සිහිනය ගැන විශ්වාසයෙන් ඉන්න. ලංකාවේ දීම ඔබට IUI සඳහා යොමු වීමේ හැකියාව තිබෙනවා. කාසල් රෝහල, ශ්‍රී ජයවර්ධනපුර රෝහල සහ තවත් පෞද්ගලික රෝහල් කිහිපයකදී මේ ප්‍රතිකාර කිරීම් සිදු වෙනවා

කිරි සිහිනය ඉක්මනින් ඉටු කරගන්නට ඔබට සුබ පැතුම්!

Related Articles

Don't Miss


Latest Articles