ඔබේ දරුවාගේ මුල්ම ගුරුවරයා ඔබයි


ඔබේ දරුවගෙ මුල්ම ගුරුවරයා ඔබයි කියල එක්වරම ඇහෙද්දි ඔබට මොනවද හිතෙන්නෙ ? 

සමහරවිට ඔබ හිතන්න පුළුවන් ඔබ දරුවගෙ දෙමව්පියන් මිසක් ගුරුවරයෙක් නෙමෙයි කියල. තවත් සමහර වෙලාවට ඔබට ඔබේ දරුවට මව හෝ පියා මිස ගුරුවරයෙක් වෙන්න අවශ්‍යතාවයක් හෝ දැනීමක් නැතුවත් ඇති.

ඒත් ඔබ දන්නවද? ඔබ පිළිගන්න කැමති වුනත් නැතත් ඔබේ දරුවගේ පළමු ගුරුවරයා වෙන්නෙ ඔබම තමයි කියල.

ඔබට ගුරුවරයෙක් සතු වෘත්තීය පුහුණුව සහ මනෝවිද්‍යාත්මක දැනුම නොමැති වුනත් එය ඔබේ දරුවාට අදාළ කාරණාවක් වෙන්නෙ නැහැ. දරුවො ඔබව දකිනව, දරුවො ඔබව අධ්‍යනය කරනව සහ දරුවො ඔබව අනුකරණය කරන්නත් පෙළඹෙනව. 

අන්න ඒ නිසාම දෙමාපියන් වීමේ සහ පළමු ගුරුවරුන් වීමේ වගකීමෙන්  මිදෙන්න ඔබට හැකියාවක් නැහැ.

ඉතිං අද අපි ඔබට කියල දෙන්න සූදානම් වෙන්නෙ ඔබේ දරුවගේ පළමු ගුරුවරයා වෙන්නෙ කොහොමද සහ ඒ මඟින් ඔබේ පොඩිත්තාගෙ පෞරුෂය සංවර්ධනය කරන්නෙ කොහොමද කියලයි.

කතා කරන්න

දරුවෙක් ඉපදුණු මොහොතෙ ඉඳන්ම දරුවො එක්ක කතා කිරීම ඔබේ දරුවට ලොකු බලපෑමක් ඇති කරන කාරණාවක් කියල ඔබ දන්නවද? කුඩා ශබ්ද වල ඉඳන්ම දරුවා සහ ඔබ අතර වන ශබ්ද සහ වචන ගණුදෙණුව දරුවගෙ භාෂා සංවර්ධනය සඳහා ඉතාම වැදගත් වෙනවා.

ඔබේ පොඩිත්තගෙ ලෝකය සමඟ වඩා සමීප දේවල්, ඔබේ නිවසෙ දකින්න ලැබෙන දේවල්, දරුවත් එක්ක වාහනයක ගමන් කරද්දි දරුවට දකින්න ලැබෙන දේවල් වගේම සාප්පු සවාරියකදි දරුවට දකින්න ලැබෙන දේවල් වල නම් දරුවට ඇහෙන විදිහට කියන්න ඔබට පුළුවන්. 

දරුව වචන උච්චාරණය කරද්දී ඒ සඳහා උදව් වීමත් හරිම වැදගත්.

උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු.

ඔබේ දරුව ඔබේ සුරතලාව පෙන්නලා “බල්ලා / බව්වා / dog” කියල කීවොත් ඔබට පුළුවන්, “දුඹුරු පාට බූල් පිරිණු බව්වෙක් / the fluffy brown dog” කියල තවදුරටත් බල්ලව දරුවට විස්තර කරල දෙන්න. 

හැකි සෑම විටම දරුවාට කතා කිරීමට අවස්ථාවක් හදල දෙන්නත් ඒ සඳහා දරුවාව දිරිමත් කරන්නත් අමතක කරන්න එපා. 

ඒ සඳහා මෙන්න මේ වගේ ක්‍රම අත්හදා බලන්න ඔබට පුළුවන්. 

පොඩ්ඩගෙ කැමතිම සෙල්ලම් බඩුව ටිකක් ඈත තැනකින් තියන්න. 

එතකොට ඒ සෙල්ලම් බඩුව කොහෙද කියල පොඩ්ඩ ඔබෙන් අහයි. දරුව හොයන සෙල්ලම් බඩුව මොකක්ද කියල විස්තර කරල ඔබට කියන්න උත්සහ කරයි. 

එකම විදිහට ශබ්ද වෙන වචන ටිකක් එහෙමත් නැත්නම් ගීත ටිකක් (rhymes)  දරුවට ඇහෙන්න නිතරම කියන්න.

ඒ අතරේ ඔබ වචනෙන් වචනෙ අඩුවෙන් කියන්න පටන් ගන්න. එතකොට දරුව ඒ වචන ශබ්ද කරන්න පටන් ගන්නව.

ඉලක්කම් පිළිබඳ අවබෝධය ටිකෙන් ටික දරුවට ලබා දෙන්න.

එක නාසයක්, අත් දෙකක්, කන් දෙකක් (one nose, two hands) වගේම ඇපල් ගෙඩි දෙකක්, මිදි ගෙඩි තුනක් වගේ සංඛ්‍යා සහ වචන යන දෙකම පොඩිත්තට කියල දීම සංඛ්‍යා සහ වචන යන දෙකම පිළිබඳ අවබෝධය එක්වර ලබාගන්න දරුවට උපකාරී වෙනවා. 

ඔබ ඔබේ දරුවාගෙ හොඳ රසිකයෙක් සහ ඔබේ දරුවාට හොඳ සවන්දෙන්නෙකු වීම අනිවාර්‍ය බව නම් ඔබ මතක තබාගත යුතුමයි. 

කියවන්න

දරුවත් එක්ක පොතක් කියවද්දි නම් ඔබ තෝරගන්න පොත, පොතේ පින්තූර සහ පොතේ අන්තර්ගතය පිළිබඳ අපි ඉතාම සැළකිලිමත් වෙන්න ඕන. 

පින්තූර පෙන්වමින් දරුවත් එක්ක පොත් කියවද්දි දරුවට පින්තූර, පාට සහ කතාවක ස්වරූපය පිළිබඳ ටිකෙන් ටික අවබෝධ වෙන්ඩ පටන් ගන්නව.  

නමුත් දරුවො එක්ක පොත් කියවද්දි මෙන්න මේ කාරණා පිළිබඳ නම් ඔබ සැළකිලිමත් වෙන්නම ඕනෙ. 

දරුවා කැමති තරම් කියවන්න

සමහර විට ඔබේ පොඩ්ඩා වැඩි වෙලාවක් පොත බලන්න කැමති නැතිවෙයි. ඒ වගේම පොතට කොච්චර ආසද කියනව නම් ඔබට දෙපාරක්, තුන්පාරක් එහෙමත් නැත්නම් හතර පාරක්වත් පොත කියවන්නත් වෙයි. මේ කොයි විදිහටත් ඔබ සූදානම් වෙලා ඉන්නම ඕනෙ.

පොතේ මුල පිටුව අමතක කරන්න එපා

ඕනෑම පොතක මුල් පිටුව හරිම ආකර්ෂණීයයි. පාට වලින් පිරිල තියෙනව. ඒ නිසා මුල් පිටුවෙන්ම පටන් ගන්න.

පින්තූර විස්තර කරන්න

පොතේ පින්තූර එකිනෙක පෙන්වමින් ඒ පින්තූර දරුවට විස්තර කරල දෙන්න. සමහර විට පොතේ වචන ගොඩාක් වැඩිනම් ඔබේ විදිහට කතාව සරල කරල පින්තූර වලට වැඩි අවධානයක් දීල පොත කියවන්න පුළුවන්.

සිදුවීම් සිදුවෙන අනුපිළිවෙල පිළිබඳ අවබෝධයක් ලබාදෙන්න කතන්දර කියවීම හරිම වැදගත්.

ඒ වගේම ඔබේ දරුව ඉංග්‍රීසි හෝ සිංහල අකුරු ගැන කැමැත්තක් දක්වනවා නම් අකුරු ලියන විදිහ හැර එකම අකුරු වලින් එකම ශබ්ද වලින් පටන් ගන්න වචන ගැන අවබෝධයක් ලබාදෙන මුද්‍රිත කාඩ්පත් සහ පින්තූර කාඩ්පත් යොදාගෙන දරුව එක්ක විවිධ ක්‍රියාකාරකම් කරන්නත් පුළුවන්.

උදාහරණ  –  කපුටා, කතුර

Cat, Mat, Rat 

ආදරේම බෙදාගන්න

සත්තුන්ට ආදරේ කරන්න, ගස් වලට මල් වලට ආදරේ කරන්න දරුවට කියල දෙන්න. සත්තුන්ට හිංසා කරන්න, ගස්වල මල්, අතු කඩන්න දරුවන්ට කියල දෙන්න හෝ දරුවො දිරිමත් කරන්න එපා.

දොරක් අරින් වහන විදිහ, වතුර කරාමයක් අරින වහන විදිහ, සෙල්ලම් බඩු නියමිත තැන තබන විදිහ, දත් මදින විදිහ, අත සෝදන විදිහ වගේ සරල ක්‍රියාකාරකම් කරන්න දරුවොත් සහභාගී කර ගන්න එක හරිම වැදගත්.

දරුවන් අකමැති දේවල් කරන්නත් සහ දරුවො ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් ඇසුරු කරන්නත් දරුවන්ට බල කරන්න එපා. එය ඔබ සහ දරුවා අතර විශ්වාසය පලුඳු වෙනව වගේම දරුවාගෙ පෞරුෂ සංවර්ධනයටත් දැඩි බාධා ඇතිකරන්න හේතුව වෙනවා. 

දරුවා ඉන්න තැන ඔබ භාවිතා කරන වචන ගැන ඔබ වඩා ප්‍රවේශම් සහගත වෙන්නම ඕන. තව කෙනෙක් විවේචනය කරන, තව කෙනෙක්ට බනින, ඊර්ෂ්‍යා සහගත සහ හානිකර වචන දරුවො ඉදිරියෙ කතා කරන්නම එපා. 

දරුව වටින කෙනෙක් බව, ඔබ දරුවට ආදරේ බව, දරුවව විශ්වාස කරන බව වචන වලින් වගේම ක්‍රියාවෙනුත් දරුවට දැනෙන්න ඉඩදිය යුතුමයි.

පාසලට යනතුරු ඔබේ තුරුලෙ හැඳී වැඩෙන ඔබේ පොඩිත්තට හොඳ ගුරුවරයෙක් වෙන්නෙ කොහොමද කියල ඔබට වැටහීමක් ලැබෙන්න ඇති කියල අපි විශ්වාස කරනවා.

එහෙම නම්, මේ වගේම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles