Bedtime Story – මාෂා සහ වලහා.

ඔබේ පොඩිත්තාගේ පරිකල්පන ශක්තිය දියුණු කරන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි කතන්දර කියා දීම. රෑට නිදා ගන්න වෙලාව තමයි මේකට වඩාත් සුදුසු.එහෙමත් නැත්නම් කෑම කවාගන්න අපහසු පොඩිත්තන්ට කෑම කවාගන්න වගේම නිතරම දඟ කරන පොඩිත්තන් එක තැන රඳවා ගන්නත් අම්මලාට මේ කතන්දර වැදගත් වේවි.
ඉතින් කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති

අද කතාව පුංචි ගෑනු ළමයෙක් ගැන.

පුංචි මාෂා ජීවත් වුණේ ආච්චි සහ සීයා එක්ක. දවසක් එයාගේ යාලුවෝ කැලෑවට යන්න සූදානම් වෙලා එයාවත් එක්ක යන්න ආවා.

“ආච්චි, සීයේ.. මමත් යන්නද?”

මාෂා අවසර ඉල්ලා සිටියා.

ආච්චි සහ සීයා යාලුවො සමඟම ඉන්න පොරොන්දුව මත එයාට යන්න ඉඩ දුන්නා. ඒත් කැලේ ලස්සන බලන්න ගිය මාෂාට යාලුවො මඟ ඇරුණා.

මාෂා එහාට ගියා.මෙහාට ගියා. යාලුවන් සෙව්වා.

එයා අතරමං වෙලා කැලෑවේ මැද්දටම ආවා.

ඒ අතරේ මාෂා කැලෑව මැද පුංචි පැලක් දුටුවා. ආචාරශීලි ළමයෙක් වෙලා මාෂා ඒ පැලේ දොරට තට්ටු කළා..

කවුරුත්ම නෑ.

ඉතින් ඇය පැළ ඇතුළට ගිහින් ඉඳ ගත්තා.

මේ පැළ කාගෙද දන්නව ද?

වලහෙක් ගේ. එයා කෑම හොයන්න කැලේ ඇතුළට ගිහින්.

වලහා ආවේ රෑ වෙලා.

“අද ඉඳන් ඔය ළමයා මගේ ගෙදර කෑම උයන්න ඕන. “
වලහා මාෂාට නියෝග කළා.

පුංචි මාෂා වලහාගේ කෑම උයන්නිය බවට පත් වුණා.පැලෙන් එළියට ගියොත් මාෂාව අල්ලාගෙන කන බවට වලහා කිව්වා.

මාෂා කරන්න දෙයක් කල්පනා කළා.

“වලහෝ, මට ආච්චිටත් සීයාටත් රස කෑමක් ගෙනියන්න ඉඩ දෙන්න.”

ඇය ඉල්ලා සිටියා.

“නෑ.. මාෂා කොහෙවත් යන්නේ නෑ. මම කෑම එක අරන් යන්නම්.ඔය ළමයා කෑම හදන්න.”

වලහා කියා සිටියා.

මාෂා රසවත් කැවිලි සූදානම් කරා. ලොකු කූඩයකට ඒවා ඇසිරුවා.

“මේ තියෙන්නේ කැවිලි… අරන් යන්න.හැබැයි මගදි කූඩය අරින්නවත් ඒවා කන්නවත් බෑ.මම අර ලොකු ගහ මුදුනට නැගලා වලස් හාමි කරන දේ බලාගෙන ඉන්නේ..”

වලහා ගමන පටන් ගත්තා. මගදි කැවිල්ලක් කන්න හිතුවා. “මම කැවිල්ලක් කනව..” වලහා කිව්වා..

“ඒයි.. වලස් තඩියෝ. මට පේනවා ඔයා කරන දේ.. මගේ කැවිලි කන්න එපා.”

මාෂාගේ හඬ ඇහුණා. ඉතින් වලහා බඩගින්නේම ගමට ගියා. මාෂා ගහ මුදුනේ ඉඳන් බලාගෙන ඇති..වලහා එහෙම හිතුවා.

වලහා මහන්සියෙන් ගමට ආවා..

“මම මාෂාගෙන් තෑග්ගක් ගෙනාවා..”

වලහා ආච්චිටත් සීයාටත් කිව්වා.

සීයා කූඩය විවෘත කර බැලුවා.

පුංචි මාෂා සනීපෙට කූඩය ඇතුළේ ඉන්නවා.

එයා බොහොම නුවණක්කාර ළමයෙක් නේද?

තැනට සුදුසු නුවණ ඇතිව වැඩ කරොත් ඕනෑම අභියෝගයක් ජයගන්න පුලුවන් කියලා මේ කතාවෙන් දූලා පුතාලාට ඉගෙන ගන්න පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles